Skip to content

“මරණීය පාප හතක්” තියෙනවාද?

“මරණීය පාප හතක්” තියෙනවාද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 බයිබලයේ “මරණීය පාප හතක්” ගැන විශේෂයෙන් සඳහන් කරලා නැහැ. ඒත් කෙනෙක් දිගටම බරපතළ පාපයක් කරනවා නම් එයාට සදාකාල ජීවිතය අහිමි වෙනවා කියලා බයිබලයේ කියනවා. උදාහරණයකට “පව්කාර ආශාවන්” වන වේශ්‍යාකම, රූප වන්දනාව, භූතවාදය, හදිසි කෝපය සහ බේබදුකම වගේ බරපතළ පාප කරන අයට ‘දෙවියන්ගේ රාජ්‍යය උරුම වෙන්නේ නැහැ’ කියලා බයිබලයේ සඳහන් වෙනවා.—ගලාති 5:19-21. a

බයිබලයේ දෙවියන් පිළිකුල් කරන පාප හතක් ගැන සඳහන් වෙනවා නේද?

 ඔව්. බයිබලයේ හිතෝපදේශ 6:16 මෙහෙම සඳහන් වෙනවා. “යෙහෝවා දෙවි ද්වේෂ කරන දේවල් හයක් තිබේ. එසේය, ඔහු පිළිකුල් කරන දේවල් හතක් ඇත.” b ඊළඟ පදවල ඒ හත මොනවාද කියලා සඳහන් වෙලා තියෙනවා. (හිතෝපදේශ 6:17-19) ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ දෙවියන් පිළිකුල් කරන පාපවලට අයිති වෙන්නේ ඒවා විතරයි කියලා. ඒ පාප හතෙන් දෙවි අකමැති හැම පාපයක්ම නියෝජනය වෙනවා. ඒකට අපේ සිතුවිලිවලින්, වචනවලින් සහ ක්‍රියාවලින් කරන හැම වැරදි දෙයක්ම ඇතුළත් වෙනවා.

“මරණීය පාපයක්” කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

 1 යොහන් 5:16 පරිවර්තනය කරද්දී සමහර බයිබල්වල “මරණීය පාපයක්” කියන යෙදුම පාවිච්චි කරලා තියෙනවා. (The New American Bible) තවත් පරිවර්තනවල මේ යෙදුම “මරණය ලැබිය යුතු පාපයක්” කියලත් පරිවර්තනය කරලා තියෙනවා. “මරණය ලැබිය යුතු පාපයක්” කියන්නේ මොකක්ද?—1 යොහන් 5:16.

 අපි පව්කාරයන් වුණත් යේසුස්ගේ ජීවිත පූජාව නිසා අපිට පාපයෙන් සහ මරණයෙන් ගැලවීම ලබාගන්න පුළුවන්. (රෝම 5:12; 6:23) ඒත් බයිබලයේ “මරණය ලැබිය යුතු පාපයක්” ගැන කතා කරනකොට ඒකෙන් අදහස් කරන්නේ ඒ වගේ පාපයක් කරන කෙනෙක්ට යේසුස්ගේ ජීවිත පූජාවෙන් සමාව ලැබෙන්නේ නැහැ කියන එකයි. මොකද ඒ කෙනා මුරණ්ඩු විදිහට තම සිතුවිලි සහ හැසිරීම වෙනස් කරගන්නේ නැතුව දිගින් දිගටම වැරදි දේ කරනවා. ඒ වගේ වැරදි කරන කෙනෙක්ට “කිසි සමාවක් නැහැ” කියලා බයිබලයේ සඳහන් වෙනවා.—මතෙව් 12:31; ලූක් 12:10.

a බරපතළ පාප හැටියට ගණන් ගැනෙන්නේ ගලාති 5:19-21 සඳහන් වෙන පාප 15 විතරක් නෙමෙයි. මොකද ඒ පාප සඳහන් කරාට පස්සේ “යනාදි දේවල්” කියලා සඳහන් වෙනවා. ඒකෙන් පැහැදිලි වෙන්නේ ඒ පාප 15ට ඇතුළත් නැති දෙවියන් අකමැති බරපතළ පාප තවත් තියෙනවා කියලයි.

b ඉලක්කමක් සඳහන් කරලා ඊටපස්සේ පළවෙනි ඉලක්කමට වඩා වෙනස් ඉලක්කමක් සඳහන් කරන එක හෙබ්‍රෙව් භාෂාවේ දේවල් ලියද්දී පාවිච්චි කරපු ක්‍රමයක්. ඒකේ අරමුණ දෙවෙනියට සඳහන් ඉලක්කමේ වැදගත්කම කාවැද්දවීමයි. හිතෝපදේශ 6:16 වගේම තවත් බයිබල් පදවලත් මේ ක්‍රමය දකින්න පුළුවන්.—යෝබ් 5:19.