Skip to content

මිනිසුන්ව පාලනය කරන්න යක්ෂයාට පුළුවන්ද?

මිනිසුන්ව පාලනය කරන්න යක්ෂයාට පුළුවන්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 යක්ෂයාගේ හා භූතයන්ගේ බලපෑම කොච්චර ප්‍රබලද කියනවා නම් බයිබලේ කියන්නේ ‘මුළු ලෝකයම දුෂ්ටයාගේ බලපෑමට යටත්ව තිබෙනවා’ කියලයි. (1 යොහන් 5:19) යක්ෂයා මිනිසුන්ව තම අණසක යටතට ගන්න ක්‍රම කීපයක් බයිබලේ සඳහන් වෙනවා.

  •   රැවටීම. බයිබලේ දිරිගන්නලා තියෙන්නේ ‘යක්ෂයාගේ උපායන්වලට විරුද්ධව නොසැලී ස්ථිරව සිටින්න’ කියලයි. (එෆීස 6:11) යක්ෂයාගේ කැමැත්ත කරන අය දෙවිගේ නියෝජිතයන් කියලා පෙන්නලා මිනිසුන්ව රැවටීම යක්ෂයාගේ එක උපායක්.—2 කොරින්ති 11:13-15.

  •   භූතවාදය. මන්තර ගුරුකම් කරන්නන්, සාත්තර කියන්නන්, පේන කියන්නන් හා ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් මාර්ගයෙන් යක්ෂයා මිනිසුන්ව නොමඟ යවනවා. (ද්විතීය කතාව 18:10-12) මත්ද්‍රව්‍ය භාවිත කරන කෙනෙක්ට, මෝහනයට ලක් වුණු කෙනෙක්ට තම මනස පාලනය කරගන්න බැරි නිසා ලේසියෙන්ම භූතයන්ගේ බලපෑමට අහු වෙන්න පුළුවන්. ඒ වගේම භාවනා කරලා මනස සම්පූර්ණයෙන්ම හිස් කරගත්තම භූතයන්ට ලේසියෙන්ම මනසට ඇතුල් වෙලා අණසක පතුරුවන්නත් පුළුවන්.—ලූක් 11:24-26.

  •   අසත්‍යය උගන්වන ආගම්. අසත්‍යය උගන්වන ආගම් නිසා මිනිසුන් නොමඟ ගිහින් දෙවිට අකීකරු වෙනවා. (1 කොරින්ති 10:20) එවැනි අසත්‍ය ඉගැන්වීම් බයිබලේ විස්තර කරලා තියෙන්නේ “භූතයන්ගේ ඉගැන්වීම්” හැටියටයි.—1 තිමෝති 4:1.

  •   ආවේශ වීම. භූතයන් මිනිසුන්ට ආවේශ වෙලා ඔවුන්ව තම අණසක යටතට ගත්ත සිද්ධීන් කීපයක් බයිබලේ වාර්තා වෙලා තියෙනවා. භූතයන් සමහර අයව අන්ධ කළා. තවත් සමහර අයව ගොළු කළා. භූතයන් ආවේශ වුණු සමහරු ඒගොල්ලන්ගේ සිරුරු කපාගෙන තුවාල කරගත්තා කියලත් බයිබලේ සඳහන් වෙනවා.—මතෙව් 12:22; මාක් 5:2-5.

යක්ෂයාගේ උපායන්ට අහු නොවී ඉන්නේ කොහොමද?

 යක්ෂයාගේ බලපෑමට අහු නොවී ඉන්න පුළුවන් විදිහ බයිබලේ පෙන්නලා තියෙන නිසා යක්ෂයාටවත් භූතයන්ටවත් අපි භයේ ජීවත් වෙන්න ඕනෙ නැහැ.

  •   යක්ෂයාගේ උපායන් හොඳින් හඳුනගන්න. ‘යක්ෂයා කොච්චර කපටි විදිහට ක්‍රියා කරනවාද කියලා දැනගෙන ඉන්න’ පුළුවන් වෙන්නේ එතකොටයි.—2 කොරින්ති 2:11.

  •   බයිබලේ තියෙන දේවල් ඉගෙනගෙන ඒ උපදෙස් ජීවිතේට අදාළ කරගන්න. එහෙම කරද්දී යක්ෂයාගේ බලපෑම්වලින් ආරක්ෂා වෙලා ඉන්න පුළුවන්.—එෆීස 6:11-18.

  •   භූතයන්ට සම්බන්ධ කිසිම දෙයක් ළඟ තියාගන්න එපා. (ක්‍රියා 19:19) සමහර පොත් පත්, ගීත, පෝස්ටර්, වීඩියෝ වගේ දේවල් ඒකට අයිතියි.