Skip to content

ශුද්ධව ඉන්නවා කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

ශුද්ධව ඉන්නවා කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 අපවිත්‍රකමින් වෙන් කරපු දෙයකට ශුද්ධ දෙයක් කියලා කියනවා. “ශුද්ධ” කියලා පරිවර්තනය කරලා තියෙන හෙබ්‍රෙව් වචනයට “වෙන් කර තැබීම” කියන අදහස තියෙනවා. ශුද්ධ දෙයක්, පිරිසිදු නොකැළැල් දෙයක් වන නිසා ඒක පූජනීය දෙයක් ලෙස සලකනවා. ඒ නිසා පොදු භාවිතයෙන් ඒක වෙන් කරලා තියෙනවා.

 දෙවි අතිශුද්ධ කෙනෙක්. “යෙහෝවා දෙවියනි, ඔබ තරම් ශුද්ධ වෙන කිසිවෙක් නැත” කියලා බයිබලයේ සදහන් වෙනවා. a (1 සාමුවෙල් 2:2) ඒ නිසා ශුද්ධකම ගැන ප්‍රමිතියක් නියම කරන්න දෙවිට අයිතියක් තියෙනවා.

 දෙවිත් එක්ක කෙළින්ම සම්බන්ධ වෙන ඕනෑම දෙයකට, විශේෂයෙන් නමස්කාරයට විතරක් පාවිච්චි කරන්න වෙන් කරලා තියෙන දේවල්වලට, “ශුද්ධ” කියන වචනය පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයකට බයිබලයේ ඒ වචනය මේ විදිහට පාවිච්චි කරනවා:

  •   ශුද්ධ තැන්: ඇවිළෙන පඳුර ළඟ දෙවි මෝසෙස්ට මෙහෙම කිව්වා. “ඔබ සිටගෙන සිටින්නේ ශුද්ධ භූමියකය.”—නික්මයාම 3:2-5.

  •   ශුද්ධ අවස්ථා: ඊශ්‍රායෙල්වරුන් යෙහෝවා දෙවිට නමස්කාර කරන්න නිතිපතා උත්සව පැවැත්වුවා. ඒවාට කිව්වේ “ශුද්ධ එක්රැස්වීම්” කියලා.—ලෙවී කතාව 23:37.

  •   ශුද්ධ උපකරණ: යෙරුසලමේ තිබුණ දේවමාලිගාවේ නමස්කාරයට පාවිච්චි කරපු උපකරණවලට “ශුද්ධ උපකරණ” කියලා කිව්වා. (1 රාජාවලිය 8:4) ඒ ශුද්ධ උපකරණ ගෞරවාන්විත විදිහට පාවිච්චි කරත් කවදාවත් ඒවාට නමස්කාර කළේ නැහැ. b

පාපය උරුම කරගෙන ඉන්න කෙනෙක්ට ශුද්ධ කෙනෙක් වෙන්න පුළුවන්ද?

 පුළුවන්. මොකද දෙවිම මෙහෙම ආඥා කරනවා. “මා ශුද්ධව සිටින නිසා ඔබද ශුද්ධව සිටිය යුතුයි.” (1 පේතෘස් 1:16) ඇත්ත, පාපය උරුම කරගෙන ඉන්න අපිට ශුද්ධකම සම්බන්ධයෙන් දෙවි නියම කරලා තියෙන ප්‍රමිතිය සීයට සීයක් පවත්වන්න බැහැ. ඒත් දෙවිගේ ධර්මිෂ්ඨ නීතිවලට කීකරුව ජීවත්වන අය “ශුද්ධ මෙන්ම දෙවිට පිළිගත හැකි” අය වෙනවා. (රෝම 12:1) ශුද්ධව සිටින්න උත්සාහ කරන කෙනෙක්ගේ වචනවල සහ ක්‍රියාවල ඒක පේනවා. උදාහරණයකට, ‘ඔබ ශුද්ධව සිට, වේශ්‍යාකමින් වැළකී සිටිය යුතුයි’ සහ “ඔබත් ශුද්ධව සිටින්න. එය ඔබේ මුළු ජීවිතය තුළින්ම පිළිබිඹු විය යුතුයි” කියලා බයිබලයේ තියෙන උපදෙස් ඔහු හෝ ඇය පිළිපදිනවා.—1 තෙසලෝනික 4:3; 1 පේතෘස් 1:15.

ශුද්ධව සිටින කෙනෙකුට ඒ තත්වය නැති වෙන්න පුළුවන්ද?

 පුළුවන්. කෙනෙක් දෙවිගේ සදාචාර ප්‍රමිති නොසලකා හැරියොත් ඒ කෙනා දෙවි ඉදිරියේ තවදුරටත් ශුද්ධ තත්වයක සිටින්නේ නැහැ. උදාහරණයකට හෙබ්‍රෙව් පොත ලියවුණේ ‘ශුද්ධ සහෝදරයන්ට.’ ඒත් ඒකේ ඔවුන්ට මේ විදිහට අනතුරු අඟවලා තියෙනවා. “ජීවමාන දෙවිව අත්හැරියොත් ඔබේ හදවත විශ්වාසයක් නැති දුෂ්ට තත්වයකට පත් විය හැක.”—හෙබ්‍රෙව් 3:1, 12.

ශුද්ධව සිටීම ගැන විරදි වැටහීම්

 වැරදි මතය: තම ශරීරයට වධ දීමෙන් ශුද්ධකම අත්කරගන්න පුළුවන්.

 ඇත්ත: “තම ශරීරයට නොයෙකුත් වධ හිංසා පමුණුවාගැනීමෙන් කිසි ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ” කියලා බයිබලයේ තියෙනවා. (කොලොස්සි 2:23) ඒ වෙනුවට අපි ජීවිතයෙන් සතුටක් ලබනවාටයි දෙවි කැමති. “මිනිසා තමන් වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති විඳ, කා බී සතුටින් සිටීමත් ඉතා යහපත් දෙයකි. එය දෙවිගෙන් ලද ආශීර්වාදයකි.”—දේශනාකාරයා 3:13

 වැරදි මතය: විවාහ නොවී සිටින කෙනෙක් ශුද්ධ කෙනෙක්.

 ඇත්ත: කෙනෙකුට කැමති නම් විවාහ නොවී සිටින්න පුළුවන්. ඒත් එහෙම වුණා කියලා එයාට විශේෂ ශුද්ධකමක් ලැබෙන්නේ නැහැ. තනිකඩ අයට නමස්කාර කටයුතුවලට එයාලගේ සම්පූර්ණ අවධානය දෙන්න පුළුවන් බව ඇත්තයි. (1 කොරින්ති 7:32-34) ඒත් විවාහක අයටත් ශුද්ධව ඉන්න පුළුවන් කියලා බයිබලයේ පැහැදිලිව පෙන්නනවා. යේසුස්ගේ ගෝලයන් අතර අඩුම තරමින් එක්කෙනෙක් හරි, ඒ කියන්නේ පේතෘස් හරි විවාහ වෙලා හිටියා.—මතෙව් 8:14; 1 කොරින්ති 9:5.

a යෙහෝවා කියන්නේ දෙවිගේ පෞද්ගලික නමයි. බයිබල් පද සිය ගාණක ඒ නම “ශුද්ධ” සහ “ශුද්ධකම” යන වචන එක්ක එකට භාවිත කරලා තියෙනවා.

b ඒ වගේ දේවල්වලට නමස්කාර කිරීම බයිබලයේ හෙළාදකිනවා.—1 කොරින්ති 10:14.