Skip to content

නිර්මාණයක්ද?

ගල්පර එක්ක හැප්පෙන්න තරම් හයිය ඇති කාවාටියාගේ දත්

ගල්පර එක්ක හැප්පෙන්න තරම් හයිය ඇති කාවාටියාගේ දත්

 කාවාටියා (තුන්තුඹුවා, චීන තොප්පියා) කියන්නේ කේතුවක හැඩැති කටුවක් තියෙන, ජලාශ්‍රිතව ජීවත් වෙන ගොළුබෙලි විශේෂයක්. උගේ දත් වෙන කිසිම සතෙකුගේ දත්වලට වඩා හුඟක් ශක්තිමත්. ඒවා හැදිලා තියෙන්නේ ගොතයිට් කියන ගන ඛනිජ ද්‍රව්‍යයකින් හැදුණු සිහින් තන්තු විශේෂයකින්. එක පොදියට තියෙන ඒ තන්තු තරමක් මෘදු ප්‍රෝටීනයකින් ආවරණය වෙලයි තියෙන්නේ.

 මේ ගැන හිතන්න: රැඩියුලා කියලා හඳුන්වන අවයවයක් කාවාටියාට තියෙනවා. ළඟ ළඟ පිහිටලා තියෙන මිලිමීටරයකටත් වඩා කුඩා (අඟල් 3/64) වක් හැඩැති දත් පේළිවලින් පිරුණු ඒ අවයවය හරියට දිවක් වගේ. ගල්පරවල බැඳිලා තියෙන ඇල්ගී ලේසියෙන්ම සූරන් කන්න පුළුවන් ශක්තියක් ඇතුවයි උගේ හැම දතක්ම හැදිලා තියෙන්නේ.

 කාවාටියාගේ දත් කොච්චර පීඩනයකට ඔරොත්තු දෙනවාද කියලා බලන්න පර්යේෂකයන් කණ්ඩායමක් අනුක පීඩන අන්වීක්ෂයක් යොදාගෙන පරීක්ෂණයක් සිදු කළා. වෙන කිසිම ස්වාභාවික ද්‍රව්‍යයකට වඩා පීඩනයකට ඔරොත්තු දීමේ හැකියාවක් කාවාටියාගේ දත්වලට තියෙනවා කියලා ඒකෙන් ඔප්පු වුණා. ඒ කියන්නේ මකුළුවන් නිපදවන සිල්ක් කෙඳිවලටත් වඩා කාවාටියාගේ දත් ශක්තිමත් බවින් වැඩියි කියන එකයි. පර්යේෂක කණ්ඩායමේ ප්‍රධානියා සඳහන් කළේ “අලුතින් දේවල් නිපදවද්දී උගේ දතේ සැකැස්ම අනුකරණය කරන එක ප්‍රයෝජනවත් වෙයි” කියලයි.

 කාවාටියාගේ දතේ සැකැස්ම අනුකරණය කරලා නිෂ්පාදනය කරන කෘත්‍රිම අමුද්‍රව්‍යවලින් කාර්, බෝට්ටු, ගුවන් යානා සහ කෘත්‍රිම දත් නිපදවන්න පුළුවන් වෙයි කියලා පර්යේෂකයන් විශ්වාස කරනවා.

 ඔයාගේ නිගමනය මොකක්ද? කාවාටියාගේ දත්වලට ඒ තරම් ශක්තිමත් සැකැස්මක් ලැබුණේ පරිණාමයෙන්ද? නැත්නම් එය නිර්මාණයක්ද?