Skip to content

වෙනිසියුලා අර්බුදය මැද හිඟයක් නැති ආදරය

වෙනිසියුලා අර්බුදය මැද හිඟයක් නැති ආදරය

 පහුගිය අවුරුදු කීපය ඇතුළත වෙනිසියුලාව ඉතිහාසයේ වෙන කවදාවත් ඇති වුණේ නැති විදිහේ ආර්ථික අර්බුදයකට මුහුණ දෙනවා. ඒ නිසා ඒ රටේ අපරාධ, කලකෝලහල වෙනදාටත් වඩා වැඩි වෙලා තියෙනවා. සාක්ෂිකරුවෙක් වන එඩ්ගර් කියන දේ බලන්න. “අවුරුදු දෙක තුනක් ඇතුළත හිතාගන්නවත් බැරි විදිහට ජීවන වියදම අහස උසටම නැඟලා. අපේම ගෙදර ජීවත් වුණත් අපිට දැනෙන්නේ අපි වෙනම රටක ඉන්නවා වගේ.”

 ඒකට මුහුණ දෙන්න එයාට උදව් වුණේ මොකක්ද? එයා මෙහෙම කියනවා. “මායි, මගේ නෝනා කාර්මෙනුයි මිෂනාරිවරු ගැන මතක් කරගත්තා. එයාලටත් දුෂ්කර පැතිවල සේවේ කරන්න වෙනවා. ඒ පැතිවල අත්‍යවශ්‍යම දේවල් වුණත් හොයාගන්න අමාරුයි. හැබැයි එයාලා පුරුදු වෙනවා තියෙන දේවල්වලින් සෑහීමට පත් වෙන්න. අපිත් කරන්න ඕනෙ ඒකමයි කියලා අපිට හිතුණා. ඒත් ඒකට සමහරවිට අපි කලින් කරපු නැති දේවල්වලට වුණත් හුරු වෙන්න වෙනවා. අපිත් ඒ වගේ දේවල් කළා. උදාහරණෙකට අපි අපේ වත්තේ එළවළු වවන්න පටන්ගත්තා.”

කාර්මන් සහ එඩ්ගර්

 එඩ්ගර් සහ කාර්මෙන් එතනින් නතර වුණේ නැහැ. එයාලා ඊටත් වඩා වැඩි දෙයක් කළා. සහෝදරයන්ව, විශේෂයෙන්ම අධෛර්යය වෙලා ඉන්න අයව සනසන්න එයාලා ගොඩක් මහන්සි වුණා. (1 තෙසලෝනික 5:11) එඩ්ගර් මෙහෙම කියනවා. “අපි අනිත් අයව නිකං වචනවලින් විතරක් සනසලා නතර වුණේ නෑ. අපි එයාලට මතක් කළා ‘අනිත් අය වෙනුවෙන් තාමත් උදව් කරන්න ඔයාලට පුළුවන්, එහෙම කළොත් ඔයාලට ලොකු සතුටක් දැනෙයි’ කියලා.”—ක්‍රියා 20:35.

දරපු වෑයම් මල්පල ගැන්වෙයි!

 කොරෝනා වසංගතය පටන්ගත්ත මුල් කාලේ ආගෙනිස් නෑදෑයන්ට සාක්ෂි දැරුවා. එයාලගෙන් සමහරු ෆෝන් එකෙන් බයිබලේ ගැන ඉගෙනගන්නත් කැමති වුණා.

ආගෙනිස්

 ආගෙනිස්ට ඕනෙ වුණා සමහර නෑදෑයන්ට 2020 තුන්දින සමුළුව පෙන්නන්න. හැබැයි එයාලට ඉන්ටර්නෙට් පහසුකම් තිබ්බේ නැහැ. ඒ නිසා ආගෙනිස් ඒ ළඟ පාත හිටපු සාක්ෂිකරුවෙක් ලවා රෙකෝඩ් කරපු සමුළු වැඩසටහන එයාලට යැව්වා. එයාගේ නෑදෑයෝ ලොකු TV එකකුයි, ස්පීකර් සෙට් එකකුයි දන්න කෙනෙක්ගෙන් ඉල්ලගත්තා. සමුළුව බලන දවසේ වැඩසටහන පටන්ගන්න කලින් ආගෙනිස් ෆෝන් එකෙන් එයාලත් එක්ක යාච්ඤාවකුත් කළා. ආගෙනිස්ගේ මේ මහන්සිය නිසා ඒ වැඩසටහන අහන්න එයාගේ නෑයෝ 4දෙනෙකුයි, තව 15දෙනෙකුයි සම්බන්ධ වුණා.

විශ්වාසෙන් සහ ආදරෙන්

 හයිරෝ සහ ජොහානා කියන්නේ විවාහක යුවළක්. එයාලගේ සභාවේ ඒ දෙන්නාට විතරයි කාර් එකක් තියෙන්නේ. ඒ නිසා කාර් එකෙන් ගිහින් සහෝදරයන්ට උදව් කරන්න එයාලා ගොඩක් මහන්සි වුණා. හැබැයි රටේ තෙල් හිඟයක් තිබ්බ නිසා එයාලා ලොකු අභියෝගෙකට මුහුණ දුන්නා. ඒ ගැන හයිරෝ මෙහෙම කියනවා. “සමහර දවස්වලට තෙල් ටික ගහගන්න රෑ එළි වෙන කල්ම පෝලිමේ ඉන්න වුණා.”

ජොහානා සහ හයිරෝ

 සහෝදරයන් වෙනුවෙන් ඒ මොන කැප කිරීම කළත් අපරාදේ කියලා එයාලට හිතුණේ නැහැ. බලන්න ඒ ගැන හයිරෝ කියන දේ. “සහෝදරයන්ට ඕනෙ දේවල් ගිහින් දෙද්දී එයාලා අපිට නෙවෙයි යෙහෝවා දෙවියන්ටයි ස්තුති කළේ. ඒක දැකලා අපිටත් සතුටුයි. මොකද එයාලට විශ්වාසයි යෙහෝවා එයාලව බලාගන්නවා කියලා.”—2 කොරින්ති 9:11, 14.

උදව් කරන්න හැමෝටම පුළුවන්

 සහෝදර නොරියානිට අවුරුදු 28ක් වුණත් එයාට හිතුණේ අනිත් අය වෙනුවෙන් ලොකු දෙයක් කරන්න තරම් එයා ළාබාල වැඩියි කියලා. හැබැයි පස්සේ එයා 1 තිමෝති 4:12 කියෙව්වා. එතන මෙහෙම කියනවා. ‘ඔබ තරුණයෙකු වූ පමණින් කිසි කෙනෙකුට ඔබව සුළු කිරීමට ඉඩ නොදෙන්න. දෙවිට විශ්වාසවන්තව සේවය කරන අයට ආදර්ශයක් වන්න.’

නොරියානි

 ඒ බයිබල් පදේ නොරියානිව පෙලඹෙව්වා සභාවේ ඉන්න වයසක අයට උදව් කරන්න. ඒ නිසා එයා එයාලට ලියුම්වලින් සාක්ෂි දරන්න උදව් කළා. එයාගේ පාඩම්වලටත් එයාලව සම්බන්ධ කරගත්තා. ඒ විතරක් නෙවෙයි පොඩි ෆෝන් කෝල් එකක් දීලා, මෙසේජ් එකක් දාලා එයාලව දිරිගන්වන්නත් නොරියානි අමතක කළේ නැහැ. බලන්න එයා කියන දේ. “මං හිතුවාටත් වඩා මට අනිත් අය වෙනුවෙන් දේවල් කරන්න පුළුවන් කියලා යෙහෝවා මට පෙන්නුවා.”

 වෙනිසියුලාවේ ඉන්න අපේ සහෝදර සහෝදරියන් මේ ගෙවන්නේ ගොඩක් අමාරු කාලයක්. හැබැයි ඒ වගේ තත්වෙක හිටියත් එයාලා දිගටම උද්‍යෝගයෙන් සේවේ කරනවා. මොන දේවල් හිඟ වුණත් එයාලා අනිත් අයට පෙන්නන ආදරෙන් නම් කිසිම හිඟයක් නැහැ. ඒ නිසයි එකිනෙකාට “ඉමහත් ශක්තියක් හා ධෛර්යයක්” වෙන්න ඒ සහෝදරයන්ට පුළුවන් වෙලා තියෙන්නේ.—කොලොස්සි 4:11; 2 තිමෝති 4:2.