Skip to content

එයාලගේ ඇඳුම්වල දම්පාට ත්‍රිකෝණයක් අල්ලලා තිබුණා

එයාලගේ ඇඳුම්වල දම්පාට ත්‍රිකෝණයක් අල්ලලා තිබුණා

 ප්‍රංශයේ ජීවත් වෙන මෝඩ් විශේෂ අවශ්‍යතා තියෙන දරුවන්ගේ පාසැලක පන්ති සහායිකාවක් විදිහට වැඩ කරනවා. දවසක් එයා හිටිය පන්තියක ගුරුවරයෙක් නාට්සි පාලකයන් කරපු යුදෙව් සමූලඝාතනය ගැනත් නාට්සි ගාල් කඳවුරු ගැනත් ළමයින්ට ඉගැන්නුවා. කඳවුරේ හිටිය හිරකරුවන්ට අඳින්න දුන්න නිලඇඳුම්වල විවිධ පාටවලින් විවිධ හැඩයේ ලාංඡන අල්ලලා තිබුණා. හිරකරුවන්ව සිරගත කරලා තිබුණු හේතු හඳුනගන්න ඒවා උදව් වුණා.

 දම්පාට ත්‍රිකෝණයක් තිබුණු ඇඳුම් ඇඳන් හිටිය හිරකරුවන් ගැන ඒ ගුරුවරයා කිව්වේ “එයාලට හිරදඬුවම් ලැබෙන්න ඇත්තේ එයාලා සමලිංගිකයන් වුණු නිසා වෙන්න ඇති” කියලයි. පන්තිය ඉවර වුණාට පස්සේ මෝඩ් ගුරුවරයා ළඟට ගිහින් පැහැදිලි කළා නාට්සි පාලකයන් දම්පාට ත්‍රිකෝණයක් යොදාගෙන තිබුණේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හඳුනගන්නයි කියලා. a ඊටපස්සේ මෝඩ් ගුරුවරයාට කිව්වා ඒ විෂය ගැන තියෙන තවත් තොරතුරු එයාට ලැබෙන්න සලස්වන්නම් කියලා. ඒකට කැමති වුණු ගුරුවරයා මෝඩ්ට කිව්වා ඒ තොරතුරු පන්තියේ ළමයින්ටත් කියලා දෙන්න කියලා.

 තවත් පන්තියක ළමයින්ට ඒ විෂය ගැනම උගන්වද්දී වෙන ගුරුවරයෙක් හිරකාරයන්ව හඳුනගන්න දීලා තිබුණු විවිධ සංකේත ඇතුළත් වගුවක් පෙන්නුවා. හැබැයි ඒ වගුවේ පැහැදිලිව පෙන්නලා තිබුණා දම්පාට ත්‍රිකෝණයෙන් නියෝජනය වුණේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව කියලා. පන්තිය ඉවර වුණාට පස්සේ මෝඩ් ඒ විෂය ගැන තිබුණු තවත් තොරතුරු ගුරුවරයාට ලබා දුන්නා. ඒ ගැන සතුටු වුණු ගුරුවරයා ඒ තොරතුරු පන්තියේ ළමයින්ටත් කියලා දෙන්න කියලා මෝඩ්ට කිව්වා.

තමන්ගේ ඉදිරිපත් කිරීමේදී පාවිච්චි කරපු දේවල් අතේ තියාගෙන ඉන්න මෝඩ්

 ඒ තොරතුරු විනාඩි 15කින් කියලා දෙන්නයි මෝඩ් ලෑස්ති වෙලා හිටියේ. හැබැයි නියමිත දවස ආවාම ගුරුවරයා එයාට කිව්වා “ඔයාට පැයක්ම ගන්න පුළුවන්” කියලා. ඒ ගැන සතුටු වුණු මෝඩ් නාට්සි පාලකයන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට පීඩා කරපු විදිහ ගැන පෙන්වන වීඩියෝ එකක් දරුවන්ට පෙන්වන්න පටන්ගත්තා. නාට්සි පාලකයන් සාක්ෂිකරුවන්ගේ දරුවන් 800දෙනෙක්ව එයාලගේ දෙමාපියන්ගෙන් වෙන් කළා කියලා වීඩියෝ එකේ කියද්දිම මෝඩ් වීඩියෝ එක ටිකකට නතර කළා. ඊළඟට ඒ 800දෙනා අතර හිටිය දරුවන් තුන්දෙනෙක්ගේ අද්දැකීමක් එයා සඟරාවකින් කියෙව්වා. ඊටපස්සේ වීඩියෝ එකේ ඉතුරු ටිකත් පෙන්නුවා. අන්තිමේදී ඔස්ට්‍රියාවේ හිටපු අවුරුදු 19ක් වයස සාක්ෂිකරුවෙක් වුණු ගෙර්හාට් ස්ටයිනාකර්ව 1940දී නාට්සි පාලකයන් විසින් මරලා දාන්න කලින් එයා එයාගේ දෙමාපියන්ට ලියපු අවසන් ලියුම ඇහෙන්න කියවලා මෝඩ් තමන්ගේ ඉදිරිපත් කිරීම අවසන් කළා. b

 ඊළඟ පන්තියටත් මෝඩ් ඒ තොරතුරුම යොදාගෙන එයාගේ ඉදිරිපත් කිරීම කළා. මෝඩ් නිර්භීතව ගුරුවරුන් එක්ක කතා කරපු නිසා ඒ ගුරුවරුන් නාට්සි කඳවුරුවල දුක් විඳපු අය ගැන උගන්වද්දී දැන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැනත් සඳහන් කරනවා.

a දෙවෙනි ලෝක මහා යුද්ධය පැවතුණු කාලයේදී නාට්සි පාලනයට සහයෝගය දුන්නේ නැති නිසා ජර්මනියේ හිටිය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට හිරදඬුවම් නියම කළා.

b ගෙර්හාට් ස්ටයිනාකර්ට මරණ දඬුවම නියම වුණේ එයා ජර්මානු හමුදාවට බැඳෙන එක ප්‍රතික්ෂේප කරපු නිසයි. එයා දෙමාපියන්ට ලියපු අන්තිම ලියුමේ මෙහෙම සඳහන් කරලා තිබුණා. “මට තාම ඒ හැටි වයසක් නැහැ. ස්වාමින් මට ශක්තිය දුන්නොත් විතරයි මට ස්ථිරව ඉන්න පුළුවන් වෙන්නේ. මම දෙවියන්ගෙන් ඉල්ලන්නෙත් ඒ දේම තමයි.” පහුවෙනිදා උදේ ගෙර්හාට්ව මැරුවා. එයාගේ ස්මාරකයේ සඳහන් වුණා “ඔහු දිවි පිදුවේ දෙවියන්ගේ ගෞරවය වෙනුවෙන්” කියලා.