Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ජාතික උත්සව, සැමරීම් වගේ දේවල්වලට හවුල් වෙන්නේ නැත්තේ ඇයි?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ජාතික උත්සව, සැමරීම් වගේ දේවල්වලට හවුල් වෙන්නේ නැත්තේ ඇයි?

 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ආණ්ඩුවලට, ජාතික සංකේතවලට ගරු කරනවා. ඒ වගේම කැමති නම් ඕනෙම කෙනෙක්ට තමන්ගේ රට, ජාතිය වෙනුවෙන් ප්‍රතිඥා දෙන්න, ජාතික කොඩියට ආචාර කරන්න, ජාතික ගීය ගායනා කරන්න නිදහස තියෙනවා කියලා එයාලා පිළිගන්නවා.

 හැබැයි සාක්ෂිකරුවෝ විදිහට අපි ඒ වගේ දේවල්වලට සහභාගි වෙන්නේ නැහැ. මොකද අපි විශ්වාස කරනවා ඒවා බයිබලේ තියෙන ඉගැන්වීම්වලට පටහැනියි කියලා. ඉතින් අපි අනිත් අයගේ විශ්වාසයන්ට ගරු කරනවා වගේම අනිත් අයත් අපේ විශ්වාසයන්ට ගරු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

මේ ලිපියෙන්

 ඒ ගැන බයිබලේ කියන්නේ මොකක්ද?

 අපි ඒ වගේ තීරණයක් ගන්න හේතු වුණ බයිබල් ඉගැන්වීම් දෙකක් බලමු.

  •   අපේ නමස්කාරය ලබන්න වටින්නේ දෙවියන් විතරයි. ප්‍රතිඥාවක නැත්නම් ජාතික ගීයක වචන පෙළගස්වලා තියෙන්නේ කෙනෙක් අනිත් හැම දේටම වඩා තමන්ගේ රට, ජාතිය වෙනුවෙන් කැප වෙලා ඒ වෙනුවෙන් සේවේ කරන්න ලෑස්තියි කියලා පෙන්නන විදිහට. හැබැයි බයිබලේ කියන්නේ “ඔබ නමස්කාර කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි. ඔබේ පරිශුද්ධ සේවය පිරිනැමිය යුත්තේ ඔහුට පමණයි” කියලා. (ලූක් 4:8) ඒ නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එයාලගේ හෘදය සාක්ෂියට එකඟව ඒ වගේ දේවල් කරන්නේ නැහැ.

     යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කොඩියට ආචාර කරන එක සලකන්නේ නමස්කාරයක්, රූප වන්දනාවක් විදිහට. රූප නමස්කාරය බයිබලේ තහනම් කරලා තියෙනවා. (1 කොරින්ති 10:14) සමහර ඉතිහාසඥයන් කියනවා ජාතික කොඩිය ඇත්තටම ආගමික සංකේතයක් වගේ කියලා. බලන්න ඉතිහාසඥ ජේ. එච්. හෙයිස් ඒ ගැන කියන දේ. “ජාතිවාදය කියන ආගමේ ප්‍රධාන සංකේතය තමයි ජාතික කොඩිය.” a මුල් සියවසේ ක්‍රිස්තියානීන් ගැන ලේඛකයෙක් වන ඩැනියෙල් පී. මැනික්ස් මෙහෙම කිව්වා. “රෝම අධිරාජ්‍යයාගේ ප්‍රතිමාවට පුදපූජා ඔප්පු කිරීම . . . මුල් ක්‍රිස්තියානීන් ප්‍රතික්ෂේප කළා. ඒක අද කොඩියට ආචාර කරන එක ප්‍රතික්ෂේප කරනවා වගේ දෙයක්.” b

    හැබැයි සාක්ෂිකරුවන් ජාතික කොඩියට ආචාර කරන්නේ නැහැ කියලා කොඩියටවත්, වෙන කිසිම ජාතික ලාංඡනයකටවත් හිතාමතාම හානි කරන්නේ, ඒවා පුච්චලා දාන්නේ එහෙම නැත්නම් ඒවාට වෙන කිසිම විදිහකින් අගෞරව කරන්නේ නැහැ.

  •   දෙවියන්ට හැම කෙනෙක්ම එක වගේ. (ක්‍රියා 10:34, 35) බයිබලේ කියනවා දෙවියන් “එක මිනිසෙකුගෙන් සියලුම ජාතීන් බිහි කළා” කියලා. (ක්‍රියා 17:26) ඒ නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශ්වාස කරන්නේ එක ජාතියක්, එක ගෝත්‍රයක් අනිත් ඒවාට වඩා උසස් කරලා සලකන එක වැරදියි කියලයි. ඒ වෙනුවට කෙනෙක් මොන රටකට, මොන ජාතියකට අයිත් වුණත් ඒ හැමෝටම එයාලා ගරු කරනවා.—1 පේතෘස් 2:17.

 සහභාගි වෙන එක නීතියෙන් අනිවාර්යය කළොත්?

 සාක්ෂිකරුවන් කියන්නේ ආණ්ඩුවට විරුද්ධව කැරලිගහන අය නෙවෙයි. ඒ වෙනුවට ආණ්ඩුවලට මිනිස්සුන්ව පාලනය කරන්න දෙවියන් ඉඩ දීලා තියෙනවා කියලා එයාලා විශ්වාස කරනවා. ඒ නිසා එයාලා පිළිගන්නවා ඒක “දෙවි පිහිටුවා ඇති සැලැස්මක්” කියලා. (රෝම 13:1-7) ඒ විතරක් නෙවෙයි ක්‍රිස්තියානීන් බලධාරීන්ට යටත් වෙන්න ඕනෙ කියලත් එයාලා විශ්වාස කරනවා.—ලූක් 20:25.

 ඒත් ආණ්ඩුවෙන් දාලා තියෙන නීතියක් දෙවියන් දීලා තියෙන නීතියක් එක්ක ගැටෙද්දී මොකද කරන්නේ? යම් නීතියක් සංශෝධනය කරන්න නීත්‍යානුකූලව ඉල්ලීමක් කරන්න පුළුවන් අවස්ථාවලදී සාක්ෂිකරුවන් ඒක කරනවා. හැබැයි එහෙම කරන්න බැරි අවස්ථාවලදී එයාලා ගෞරවනීයව ඒක ප්‍රතික්ෂේප කරලා බයිබලේ තියෙන මේ ආඥාව පිළිපදිනවා. “අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටයි.”—ක්‍රියා 5:29.

 සාක්ෂිකරුවන් එහෙම කරන්නේ සමාජයේ තියෙන මතගැටුම් ගැන, දේශපාලනය ගැන එයාලගේ මතය ප්‍රකාශ කරන්නද?

 නැහැ. සමාජයේ තියෙන මත ගැටුම්වලට, දේශපාලන කාරණාවලට අපි කොහොමටවත් සම්බන්ධ වෙන්නෙවත් පැති ගන්නෙවත් නැහැ. අපි ප්‍රතිඥා දෙන්නේ නැත්තේ, කොඩියට ආචාර කරන්නේ නැත්තේ, ජාතික ගීය ගායනා කරන්නේ නැත්තේ දේශපාලනයට විරුද්ධව කැරලිගහන අය නිසා නෙවෙයි. ඒ වෙනුවට ඒ ගැන බයිබලේ තියෙන ප්‍රතිපත්තිවලට කීකරු වෙන නිසයි.

a Essays on Nationalism, 107-108 පිටු.

b The Way of the Gladiator, 212 පිටුව.