Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නත්තල සමරන්නේ නැත්තේ ඇයි?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නත්තල සමරන්නේ නැත්තේ ඇයි?

වැරදි මත කීපයක්

 සමහරු හිතන්නේ: යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නත්තල සමරන්නේ නැත්තේ එයාලා යේසුස්ව විශ්වාස කරන්නේ නැති නිසයි.

 ඇත්ත මේකයි: අපි ක්‍රිස්තියානීන්. ඒ කියන්නේ ක්‍රිස්තුස්ව අනුගමනය කරන අය. අපිට ගැලවීම ලැබෙන්නේ යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් විතරයි කියලා අපි විශ්වාස කරනවා.—ක්‍රියා 4:12.

 සමහරු හිතන්නේ: නත්තල් සමරන්න එපා කියලා සාක්ෂිකරුවන් උගන්වලා පවුල්වල ප්‍රශ්න ඇති කරනවා.

 ඇත්ත මේකයි: පවුලේ හැමෝම එකමුතුව ඉන්න එක වැදගත් දෙයක් හැටියට අපි සලකනවා. ඒ නිසයි බයිබලේ තියෙන මඟ පෙන්වීම් කියලා දීලා පවුල් බැඳීම් ශක්තිමත් කරගන්න අපි උදව් කරන්නේ.

 සමහරු හිතන්නේ: සාක්ෂිකරුවන් නත්තල සමරන්නේ නැති නිසා අනිත් අය වෙනුවෙන් යමක් කරන්න, සාමය ඇති කිරීමට දායක වෙන්න එයාලට බැහැ.

 ඇත්ත මේකයි: එක විශේෂ දවසකට සීමා වෙන්නේ නැතුව පුළුවන් හැම දවසකම අනිත් අය වෙනුවෙන් යම් දේවල් කරන්න අපි උත්සාහ කරනවා. (හිතෝපදේශ 11:25) මිනිසුන්ගේ ගෙවල්වලටම ගිහින් ශුභාරංචිය කියන්නෙත් අපේ රැස්වීම්වලදී බයිබලේ තියෙන වටිනා මඟ පෙන්වීම් හැමෝටම කියලා දෙන්නෙත් ඒ නිසයි. අපි ඒ කිසිම දේකට මුදල් අය කරන්නේ නැහැ. යේසුස් කිව්වේ ‘ඔබට නොමිලේ ලැබුණු දේ නොමිලේම දෙන්න’ කියලයි. (මතෙව් 10:8) එකිනෙකා එක්ක සමාදානයෙන් ඉන්නත් අපි නිතරම උත්සාහ කරනවා. (රෝම 12:18) ඒ වගේම මේ ලෝකෙට සැබෑ සාමය උදා කරන්න පුළුවන් දෙවිගේ රාජ්‍යයට විතරයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අපි ඒ ගැන අනිත් අයට කියනවා.—මතෙව් 10:7.

නත්තල සමරන්නේ නැත්තේ ඇයි?

  •   යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වේ ඔහුගේ මරණය සිහි කරන්න කියලා විතරයි. උපත සමරන්න කිව්වේ නැහැ.—ලූක් 22:19, 20.

  •   යේසුස්ගේ මුල් අනුගාමිකයන් නත්තල සැමරුවේ නැහැ. එක පොතක මෙහෙම සඳහන් වෙනවා. “යේසුස්ගේ උපත සමරන්න පටන්ගත්තේ ක්‍රිස්තු වර්ෂ 243 පස්සෙයි.” (New Catholic Encyclopedia) ඒ වෙන කොට යේසුස්ගේ මුල් ගෝලයන්ගෙන් ඉතුරු වෙලා හිටිය අන්තිම ගෝලයත් මිය ගිහින් අවුරුදු සීයකට වැඩිය ගත වෙලා තිබුණා.

  •   යේසුස් ඉපදුණේ දෙසැම්බර් 25වෙනිදා කියලා කියන්න කිසිම සාක්ෂියක් නැහැ. ඔහු ඉපදුණ දවස බයිබලේ සඳහන් වෙන්නෙත් නැහැ.

  •   නත්තල් උත්සවය ආරම්භ වෙලා තියෙන්නේ බොරු දෙවිවරුන් අදහපු ආගම්වල තිබුණු එක එක චාරිත්‍ර වාරිත්‍රවලින් නිසා නත්තල සමරනවට දෙවියන් කැමති නැහැ කියලා අපිට විශ්වාසයි.—2 කොරින්ති 6:17.

නත්තල් ගන්නේ නැති නිසා ඔයාලා සමාජයෙන් කොන් වෙනවා නේද?

 නත්තල් උත්සවය පටන්ගත්තේ බොරු දෙවිවරුන් අදහපු ආගම්වල චාරිත්‍ර වාරිත්‍රවලින් කියලත් නත්තල ගැන බයිබලේ කිසිම සඳහනක් නැහැ කියලත් හුඟක් අය දන්නවා. ඒ වුණාට එයාලා නත්තල සමරනවා. එයාලා එහෙම කරනවා ඇත්තේ සමාජයෙන් කොන් වෙයි කියන භය නිසා වෙන්න ඇති.

 අපිත් සමාජයෙන් කොන් වෙන්න කැමති නැහැ. හැබැයි කොන් වෙන්න තියෙන අකමැත්ත නිසා අපි බයිබලේ තියෙන මඟ පෙන්වීම් කඩ කරන්නෙත් නැහැ. බයිබලේ දිරිගන්වලා තියෙන්නේ සමාජයේ රැල්ලට අනුව දේවල් කරන්නේ නැතුව අපේ බුද්ධිය පාවිච්චි කරලා හරි තීරණ ගන්න කියලයි. (රෝම 12:1, 2) ඒ වගේම “දෙවි එළිදරව් කරන සැබෑ දැනුමට එකඟව” දෙවිට නමස්කාර කරන්න කියලත් බයිබලේ කියනවා.—යොහන් 4:23, 24.

 අපි නත්තල සමරන්නේ නැති වුණාට අනිත් අයට නත්තල සමරන්න එපා කියලා අපි බල කරන්නේ නැහැ. මොකද ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්න අනිත් අයට තියෙන අයිතියට අපි ගරු කරනවා.