Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශ්වාස කරන දේට අනුව බයිබලය වෙනස් කරලා තියෙනවාද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශ්වාස කරන දේට අනුව බයිබලය වෙනස් කරලා තියෙනවාද?

 නැහැ. ඒ වෙනුවට අපි විශ්වාස කරපු දේවල් බයිබලයට එකඟ නැහැ කියලා දැනගත්තාම අපි බයිබලයට එකඟව අපේ විශ්වාසයන් වෙනස් කරගත්තා.

 1950දී ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ මුදාහරින්න හුඟ කාලෙකට කලින් ඉඳලම බයිබලයේ තියෙන දේවල් දැනගන්න අපි විවිධ බයිබල් පරිවර්තන පාවිච්චි කළා. ඊටපස්සේ අපේ විශ්වාසයන් බයිබලයට එකඟව නිවැරදි කරගත්තා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කාලයක් තිස්සේ විශ්වාස කරන දේවල් කීපයක් දැන් බලමු. ඒ විශ්වාසයන් බයිබලයට එකඟද නැද්ද කියලා ඔබටම දැනගන්න පුළුවන්.

  1.   අපි විශ්වාස කරන දේ: දෙවියන් ත්‍රිත්වයක් නෙවෙයි. ඒ ගැන 1882 ජූලි මාසයේ පළ වුණ “සයන්ස් වොච් ටවර්” සඟරාවේ සඳහන් වෙලා තිබුණේ මෙහෙමයි. “අපි යෙහෝවා දෙවිවත් ඔහුගේ බලයත් යේසුස්වත් පිළිගන්නවා. ඒත් ත්‍රිත්වය කියන ඉගැන්වීම බයිබලයට පටහැනි නිසා අපි එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.”

      බයිබලේ කියන දේ: “අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එකම ස්වාමීන්වහන්සේය.” (ද්විතීය කතාව 6:4, ‘පැරණි අනුවාදය’) “අපට ඇත්තේ එක දෙවිකෙනෙක් වන පියාණන්වහන්සේය. සියල්ල පැමිණ තිබෙන්නේ උන්වහන්සේගෙන්ය, අපිත් උන්වහන්සේ උදෙසාය. තවද අපට ඇත්තේ එක ස්වාමීන්වහන්සේය, එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේය. සියල්ල උන්වහන්සේ කරණකොටගෙනය, අපිත් උන්වහන්සේ කරණකොටගෙනය.” (1 කොරින්ති 8:6, ‘පැරණි අනුවාදය’) “පියාණන් වහන්සේ මට වඩා උතුම් ය.”—යොහන් 14:28, ‘නව අනුවාදය.’

  2.   අපි විශ්වාස කරන දේ: මිනිසුන් අපායක වධ විඳින්නේ නැහැ. රෝම 6:23 කියන්නේ “පාපයේ විපාකය මරණය” කියලයි. (‘නව අනුවාදය’) ඒ ගැන 1882 ජූනි මාසයේ පළ වුණ “සයන්ස් වොච් ටවර්” සඟරාවේ තිබුණේ මෙහෙමයි. “බයිබලේ සඳහන් දෙය කොයි තරම් පැහැදිලිද! හැබැයි බයිබලේ දෙවිගේ වචනය හැටියට පිළිගන්නා අයම කියන්නේ, පාපයේ විපාකය නම් අපායක සදහටම වධ විඳීම කියලයි. ඔවුන් කියන දේ බයිබලේ සඳහන් සත්‍යයට වඩා කොයි තරම් නම් වෙනස්ද!”

      බයිබලේ කියන දේ: “පව්කරන ප්‍රාණයම නසින්නේය.” (එසකියෙල් 18:4, 20, ‘පැරණි අනුවාදය’) දෙවියන්ට විරුද්ධව වැඩ කරන අයට ලැබෙන දඬුවම ‘සදාකාල විනාශය’ මිසක් අපායක වධ විඳීම නෙවෙයි.—2 තෙසලෝනික 1:9, ‘නව අනුවාදය.’

  3.   අපි විශ්වාස කරන දේ: දේවරාජ්‍යය සැබෑ ආණ්ඩුවක්. ඒක මිනිසුන්ගේ හිතේ තියෙන දෙයක් නෙවෙයි. ඒ ගැන 1881 දෙසැම්බර් මාසයේ පළ වුණ “සයන්ස් වොච් ටවර්” සඟරාවේ තිබුණේ මෙහෙමයි. “ඉදිරියේදී මේ පොළොවේ තිබෙන සෑම ආණ්ඩුවක්ම සම්පූර්ණයෙන්ම ඉවත් කරලා, දේවරාජ්‍යය මේ පොළොව පාලනය කරනවා.”

      බයිබලේ කියන දේ: “ඒ රජවරුන්ගේ කාලවල දී ස්වර්ගයේ දෙවියන් වහන්සේ කිසි කලෙක නැති නොවන රාජ්‍යයක් පිහිටුවන සේක. ඒ රාජ්‍යය අන් ජාතියකට යටත් නොවන්නේ ය. එය සියලු රාජ්‍යයන් සුණුවිසුණු කරදමනු ඇත. එය ද සදාකාලේට ම පවතින්නේ ය.”—දානියෙල් 2:44, ‘නව අනුවාදය.’

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තමන්ගේ විශ්වාසයන්ට පදනම හැටියට පාවිච්චි කරන්නේ ‘නව ලොව පරිවර්තනය’ විතරද?

 නැහැ. අපේ සේවයේදී අපි විවිධ බයිබල් පරිවර්තන පාවිච්චි කරනවා. ඒත් කවුරු හරි කෙනෙක් ‘නව ලොව පරිවර්තනයේ’ පිටපතක් ලබාගන්න කැමති නම් අපි කිසිම අය කිරීමකින් තොරව ඒක ලබා දෙනවා. හැබැයි කෙනෙක් වෙනත් බයිබල් පරිවර්තනයක් පාවිච්චි කරලා බයිබලය ගැන දැනගන්න කැමති නම් අපි ඒ ගැනත් සතුටුයි.