Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යුද්ධවලට සම්බන්ධ වෙන්නේ නැත්තේ ඇයි?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යුද්ධවලට සම්බන්ධ වෙන්නේ නැත්තේ ඇයි?

 ඒ ඔවුන් . . .

  1.   දෙවියන්ට කීකරු නිසයි. දෙවිගේ සෙනඟ “කඩුවලින් නගුල්” සාදාගන්නවා කියලත් ඒගොල්ලෝ ‘යුද්ධයට පුහුණු වන්නේ නැහැ’ කියලත් බයිබලේ තියෙනවා.—යෙසායා 2:4.

  2.   යේසුස්ට කීකරු නිසයි. යේසුස්ගේ ගෝලයෙක් වුණු පේතෘස්ට යේසුස් එක අවස්ථාවක මෙහෙම කිව්වා. “ඔබේ කඩුව තිබුණ තැනට ආපසු දමාගන්න. මන්ද කඩු ගන්න සෑම කෙනෙක්ම කඩුවෙන්ම නසිනවා.” (මතෙව් 26:52) ඒකෙන් යේසුස් පෙන්නුවේ ඔහුගේ සැබෑ අනුගාමිකයන් කිසිම අවස්ථාවකදී අවිආයුධ අතට ගන්න හොඳ නැහැ කියලයි.

     ඒ වගේම යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා ‘මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටින්න’ කියලා. (යොහන් 17:16) ඒ ආඥාවට කීකරු වෙන යේසුස්ගේ අනුගාමිකයන් දේශපාලන කටයුතුවලට කිසිම ආකාරයකින් සම්බන්ධ වෙන්නේ නැහැ. යුධමය කටයුතුවලට එරෙහිව විරෝධතා දියත් කරන්නෙවත් හමුදා සේවයට බැඳෙන්න එපා කියලා කාටවත් බල කරන්නෙවත් නැහැ.

  3.   අන් අයට ප්‍රේම කරන නිසයි. “ඔබ එකිනෙකාට ප්‍රේම කළ යුතුයි” කියලා යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට ආඥා කළා. (යොහන් 13:34, 35) යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් ලෝකේ කොහේ ජීවත් වුණත් එයාලා එක පවුලක සාමාජිකයන් වගේ. ඒ නිසා යුද්ධවලට හවුල් වීම ඒගොල්ලෝ සලකන්නේ තම සහෝදර සහෝදරියන්ට විරුද්ධව අවි අතට ගැනීමක් හැටියටයි.—1 යොහන් 3:10-12.

  4.   මුල් ක්‍රිස්තියානීන්ව ආදර්ශයට ගන්න නිසයි. එක විශ්වකෝෂයක මෙහෙම සඳහන් වෙනවා. “තමන්ට සතුරුකම් කළ අයට පවා ප්‍රේම කරන්න කියා යේසුස් ඉගැන්වූ නිසා ඔහුගේ මුල් අනුගාමිකයන් හමුදාවට බැඳීම හෝ තවත් පිරිසකට විරුද්ධව යුද්ධ කිරීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා.” (Encyclopedia of Religion and War) ඒ වගේම ජර්මන් ජාතික විද්වතෙක් වුණු පීටර් මයින්හෝල්ට් පැවසුවේ මුල් ක්‍රිස්තියානීන් “කිසි ලෙසකින්වත් හමුදා සේවයට සහභාගි වූයේ නැත” කියලයි.

සමාජයේ පැවැත්මට ඒගොල්ලන්ගෙන් මොන වගේ දායකත්වයක් ලැබෙනවද?

 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඒගොල්ලෝ ජීවත් වන රටේ සාමයට තර්ජනයක් වෙන විදිහට කිසිම අවස්ථාවක ක්‍රියා කරන්නේ නැහැ. ඒගොල්ලෝ බයිබලේ තියෙන ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙන නිසා ඒකෙන් සමාජයට යහපතක් සිදු වෙනවා. බයිබලේ මෙහෙම ආඥා කරලා තියෙනවා.

  •   “උසස් බලධාරීන්ට යටත් විය යුතුයි.”—රෝම 13:1.

  •   “සීසර්ට අයිති දේ සීසර්ට දෙන්න. දෙවිට අයිති දේ දෙවිට දෙන්න.”—මතෙව් 22:21.

 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තමන් ජීවත් වන රටේ නීති රීති පිළිපදිනවා. නියමිත බදු ගෙවනවා. සමාජයේ යහපත වෙනුවෙන් ආණ්ඩු බලධාරීන් ගන්නා ක්‍රියාමාර්ගවලට ඔවුන් සහය දෙනවා.