Skip to content

සාක්ෂිකරුවන් මිලියනයකට නමස්කාර මධ්‍යස්ථාන

සාක්ෂිකරුවන් මිලියනයකට නමස්කාර මධ්‍යස්ථාන

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 1999ත් 2015ත් අතර කාලය තුළ, මධ්‍යම ඇමරිකාවේ * සහ මෙක්සිකෝවේ නමස්කාර මධ්‍යස්ථාන 5,000කට වැඩි ප්‍රමාණයක් හැදුවා. ඒ ප්‍රදේශයේ විවිධ තැන්වල පවත්වන අපේ රැස්වීම්වලට එන සාක්ෂිකරුවන් සහ වෙනත් අය මිලියනයකට ඉඩකඩ සැලසීම සඳහා තවත් නමස්කාර මධ්‍යස්ථාන 700කට වැඩි ප්‍රමාණයක් ඕනේ.

ඉස්සර ඒ රටවල තිබුණ සභාවල්වලට නමස්කාර මධ්‍යස්ථාන හදන එක පහසු වුණේ නැහැ. උදාහරණයකට මෙක්සිකෝවේ හුඟක් සභාවන් රැස්වීම් තිබ්බේ සාක්ෂිකරුවන්ගේම ගෙවල්වල. ආගමික සංවිධානවලට ඉඩම් අයිති කරගන්න බැහැ කියලා වසර ගණනාවක් පුරා නීතියේ සඳහන් වීම ඒකට එක හේතුවක් වුණා. කොහොමවුණත් 1990ගණන්වල ඒ නීතිය වෙනස් වුණා. ඒ නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හුඟක් නමස්කාර මධ්‍යස්ථාන හැදුවා. ඒත් ඒ හැම ශාලාවක්ම හදන්න මාස ගාණක් ගියා.

වැඩ වේගවත් කරයි

1999දී නමස්කාර මධ්‍යස්ථාන ගොඩනැඟීමේ වැඩ වේගවත් වුණා. මෙක්සිකෝව සහ මධ්‍යම ඇමරිකාවට අයිති රටවල් හත ඇතුළු සීමිත සම්පත් ඇති රටවල නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීමේ අලුත් වැඩසටහනක් පටන්ගත්තා. ඒ වැඩසටහන යටතේ නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීමේ කණ්ඩායම් පිහිටෙව්වා. 2010 සිට ඒ මුළු ප්‍රදේශයේම ඉදි කිරීමේ කටයුතු අධීක්ෂණය කරන්නේ මෙක්සිකෝවේ ශාඛා කාර්යාලයෙන්.

දුෂ්කර ප්‍රදේශවල නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීමේ කටයුතු භාරව ඉන්න සහෝදරයන් විශේෂ අභියෝගවලට මුහුණ දෙනවා. උදාහරණයකට පැනමාවේ එක ව්‍යාපෘතියක් භාරව හිටපු සහෝදරයන්ට බෝට්ටුවක මුහුදේ පැය තුනක ගමනක යෙදෙන්න සිද්ධ වුණා. ඒ වගේම මෙක්සිකෝවේ චියාපාස් ප්‍රාන්තයේ තිබුණ දුෂ්කර ප්‍රදේශයකට ගොඩනැඟිලි ද්‍රව්‍ය ගෙන්නගන්න ඉදි කිරීමේ කණ්ඩායමට පුංචි ගුවන්යානයක් පාවිච්චි කරන්න සිද්ධ වුණා.

අලුත් නමස්කාර මධ්‍යස්ථානවල ප්‍රයෝජන

සාක්ෂිකරුවන් නොවන අය වුණත් අලුත් නමස්කාර මධ්‍යස්ථානයක් එයාලගේ ප්‍රදේශයේ තියෙනවා දකින්න හරි ආසයි. උදාහරණයකට හොන්ඩ්‍යුරාස්වල නමස්කාර මධ්‍යස්ථානයක් හදන්න කලින් ඒ ඉඩමේ රාත්‍රී සමාජ ශාලාවක් හදන්න වෙනත් අය අදහස් කළා කියලා කෙනෙක් කිව්වා. ඒත් එයා ඒකට කැමති වෙලා නැහැ. ඒ ඉඩමේ නමස්කාර මධ්‍යස්ථානයක් හදන්න යනවා කියලා සාක්ෂිකරුවන් කිව්වාම “ඒක නම් දෙවියන්ගෙම ආශීර්වාදයක්” කියලා එයා කිව්වා.

උනන්දුවෙන් වැඩ කරන සහෝදරයන් හුඟක් අයගේ අවධානයට ලක් වෙලා තියෙනවා. ග්වාතමාලාවේ ඉන්න කෙනෙක් මෙහෙම කිව්වා. “අපේ සංස්කෘතියේ නම් ගොඩක් වෙලාවට කාන්තාවන් වැඩ කරන්නේ කුස්සියේ විතරයි. ඒත් මේ කාන්තාවන් පිරිමි කරන වැඩත් කරනවා. එයාලා යකඩ වැඩ කරනවා. බිත්ති කපරාරු කරනවා. මට නං අදහාගන්නවත් බැහැ!” සමහර අසල්වැසියන් ඉදි කිරීමේ කටයුතු කරන අයට කෑම බීම දෙන්න පවා පෙලඹිලා තියෙනවා.

අපේ ශාලාවල ගෘහ නිර්මාණ ශෛලයටත් ගොඩක් අය ආසයි. නිකරගුවාවල එක ඉන්ජිනේරුවෙක් නගරාධිපතිවරයෙක්ට කිව්වා, ඒ ප්‍රදේශයේ තිබ්බ නමස්කාර මධ්‍යස්ථානය ඉස්තරම් අමුද්‍රව්‍ය දාලා හදපු හරිම ලස්සන ගොඩනැඟිල්ලක් කියලා. ඒක නගරයේ තියෙන බිල්ඩිම් අතරින් හොඳම එක කියලත් එයා කිව්වා.

නමස්කාරය සඳහා සුදුසු ස්ථාන තිබීම ගැන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවනුත් ගොඩක් සතුටු වෙනවා. අලුත් නමස්කාර මධ්‍යස්ථානයක් ඉදි කළාට පස්සේ බයිබල් ශිෂ්‍යයනුත් රැස්වීම්වලට එන්න කැමති වෙනවා කියලා ඔවුන් කියනවා. ඉදි කිරීම් කණ්ඩායමකට නමස්කාර මධ්‍යස්ථානයක් ඉදි කරන්න උදව් කරපු මෙක්සිකෝවේ සභාවක අය එයාලගේ ස්තුතිය ප්‍රකාශ කළේ මේ විදිහටයි. “යෙහෝවා දෙවිගේ නමට ප්‍රශංසාවත් ගෞරවයත් ගෙන දෙන නමස්කාර මධ්‍යස්ථානයක් ඉදි කරන්න අපිට ලැබුණ වරප්‍රසාදය ගැන අපි යෙහෝවා දෙවිට ස්තුති කරනවා.”

^ 2 ඡේ. එක ශබ්දකෝෂයක් මධ්‍යම ඇමරිකාව හඳුන්වලා තියෙන්නේ ග්වාතමාලාව, එල් සැල්වඩෝර්, හොන්ඩ්‍යුරාස්, නිකරගුවාව, කොස්ටාරිකා, පැනමා සහ බෙලිස් කියන ජනරජ ඇතුළත් ප්‍රදේශය විදිහටයි.—Merriam-Webster’s Collegiate Dictionary, 11th Edition.