Skip to content

දෙවියන් ගැන ඉගෙනගන්න උදව් වෙන මුද්‍රණාල

දෙවියන් ගැන ඉගෙනගන්න උදව් වෙන මුද්‍රණාල

ලොව වටාම ඉන්න අය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන කියවනවා. මිලියන ගණන්දෙනා දැන් ඔබ කියවනවා වගේ විද්‍යුත් මාධ්‍යයෙනුත් ඒ ප්‍රකාශන කියවනවා. හැබැයි මේ ප්‍රකාශන කොයි තරම් ප්‍රමාණයක් මුද්‍රණ වෙනවාද කියලා දැනගත්තොත් ඔබ පුදුම වෙයි. 2013 වෙද්දී බයිබලය මත පදනම් ප්‍රකාශන භාෂා 700කින් විතර රටවල් 239ක අපි බෙදාහැරියා.

1920ට කලින් අපි මුද්‍රණ කටයුතු කළේ වෙනත් මුද්‍රණාලවලින්. ඊටපස්සේ ඒ අවුරුද්දේම අපි නිව් යෝර්ක්වල බෘක්ලින් නගරයේ තැනක් කුලියට අරන් අපේ සඟරා පොත් පත් මුද්‍රණය කරන්න පටන්ගත්තා. එදා පොඩියට ආරම්භ කරපු ඒ වැඩය අද වෙනකොට අප්‍රිකාවේ, ආසියාවේ, ඕස්ට්‍රේලියාවේ, යුරෝපයේ, උතුරු ඇමරිකාවේ සහ දකුණු ඇමරිකාවේ අපේම මුද්‍රණාල 15ක සිද්ධ වෙනවා.

වැදගත්ම පොත

අපි මුද්‍රණය කරන පොත් අතරින් වැදගත්ම පොත තමයි බයිබලය. සම්පූර්ණ බයිබලයක් අපේ මුද්‍රණාලවලින් පළවෙනියටම මුද්‍රණය කෙරුණේ 1942දියි. ඒ තමයි “කිං ජේම්ස් වර්ෂන්” කියන බයිබලය. 1961 ඉඳන් අපි ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ කියන බයිබලය සම්පූර්ණ වශයෙන් විවිධ භාෂාවලට පරිවර්තනය කරලා මුද්‍රණය කරන්න පටන්ගත්තා. 2013 වෙද්දී අපි ඒ බයිබලය භාෂා 121කින් පිටපත් මිලියන 184කට වඩා මුද්‍රණය කරලා තියෙනවා.

‘නව ලොව පරිවර්තනයේ’ පිටු හදලා තියෙන්නේ විශේෂ විදිහකට සකස් කරපු කඩදාසිවලින් නිසා කාලයක් යද්දී ඒවාවල පාට වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම ඒ බයිබලයේ පිටු එකට තියලා බැඳලා තියෙන්නේ හරිම ශක්තිමත් විදිහට. ඒ නිසා ඒ බයිබලය ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්.

වෙනත් ප්‍රකාශන

බයිබලයේ තියෙන දේවල් තේරුම්ගන්න උදව් වෙන තවත් ප්‍රකාශන අපි මුද්‍රණය කරනවා. 2013දී අපි මුද්‍රණය කරපු පොත් පත් ප්‍රමාණය බලන්න.

  • ‘මුරටැඹ’ සඟරාව. ඒක තමයි අපේ ප්‍රධානම සඟරාව. ලෝකේ වැඩියෙන්ම බෙදාහරින ‘මුරටැඹ’ සඟරාව භාෂා 210කට වඩා වැඩි ප්‍රමාණයකින් මුද්‍රණය කරනවා. පිටු 16කින් පළ වෙන ඒ සඟරාවේ පිටපත් 4,50,00,000ක් විතර මුද්‍රණය කරනවා.

  • ‘පිබිදෙව්!’ සඟරාව. දෙවෙනියට වැඩියෙන්ම බෙදාහරින සඟරාව ඒකයි. ඒ සඟරාව භාෂා 99කින් පිටපත් 4,40,00,000 විතර මුද්‍රණය කරනවා.

  • ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ පොත. පිටු 224ක් තියෙන ඒ පොත විශේෂයෙන්ම සකස් කරලා තියෙන්නේ බයිබලයේ තියෙන මූලික ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගන්න උදව් කරන්නයි. 2005 ඉඳලා භාෂා 240කට වඩා වැඩි ගණනකින් පළ වෙන ඒ පොතේ පිටපත් මිලියන 214කට වඩා වැඩි ප්‍රමාණයක් දැනටමත් මුද්‍රණය කරලා තියෙනවා.

  • ‘දෙවිට සවන් දෙන්න’ සඟරාව. පිටු 32ක් තියෙන ඒ සඟරාව සකස් කරලා තියෙන්නේ කියවන්න අමාරු අයට බයිබලය ගැන ඉගෙනගන්න උදව් කරන්නයි. ඒ සඟරාවේ, බයිබලයේ තියෙන මූලික ඉගැන්වීම් හරිම සරල විදිහට පින්තූරවලින් සහ කෙටි විස්තරයකින් පෙන්නලා තියෙනවා. දැනටමත් භාෂා 400කට වඩා වැඩි ගණනකින් පළ වෙන ඒ සඟරාවේ පිටපත් මිලියන 42කට වඩා වැඩි ප්‍රමාණයක් මුද්‍රණය කරලා තියෙනවා.

ඒ ප්‍රකාශනවලට අමතරව අපි විවිධ සඟරා, පොත් සහ පත්‍රිකාත් මුද්‍රණය කරනවා. ඒවාවලින් බයිබලය ගැනත් ප්‍රශ්න ගැටලුවලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් කොහොමද කියන එක ගැනත් සතුටින් පවුල් ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියන එක ගැනත් දැනගන්න පුළුවන්. 2012දී ලොව පුරා තියෙන අපේ මුද්‍රණාලවලින් සඟරා බිලියන 1.3කට වඩා වැඩි ප්‍රමාණයකුත් පොත් සහ බයිබල් මිලියන 80කට වඩා වැඩි ප්‍රමාණයකුත් මුද්‍රණය කළා.

2012දී ලොව පුරා තියෙන අපේ මුද්‍රණාලවලින් සඟරා බිලියන 1.3කට වඩා වැඩි ප්‍රමාණයකුත් පොත් සහ බයිබල් මිලියන 80කට වඩා වැඩි ප්‍රමාණයකුත් මුද්‍රණය කළා

වෙහෙස මහන්සි වෙලා වැඩ කරන තරුණ තරුණියන්ව දැක්කාම අපේ මුද්‍රණාල නරඹන්න එන අය පුදුම වෙනවා. “දෙවිගේ ගෘහය” කියන තේරුම තියෙන බෙතෙල් එකේ වැඩ කරන්න එන බොහෝ තරුණ තරුණියන්ට මුද්‍රණ කටයුතු ගැන අද්දැකීම් නැහැ. හැබැයි මෙහේට ආවට පස්සේ ලැබෙන පුහුණුව නිසා ඔවුන් දක්ෂ විදිහට ඒ වැඩ කරනවා. උදාහරණයකට ඔබ ඒ වගේ මුද්‍රණාලයකට ගියොත් විසි ගණන්වල ඉන්න තරුණයන් අධිවේගයෙන් ක්‍රියා කරන මුද්‍රණ යන්ත්‍රවල වැඩ කරනවා ඔබ දකියි. ඒ යන්ත්‍රවලින් පැයකට පිටු 16 සඟරා 2,00,000 විතර මුද්‍රණය කරන්න පුළුවන්.

මේ වැඩවලට මුදල් ලැබෙන්නේ කොහෙන්ද?

මේ හැම වැඩකටම මුදල් ලැබෙන්නේ කැමැත්තෙන්ම දෙන සම්මාදම්වලිනුයි. ඒ ගැන 1879 අගෝස්තු මාසයේ පළ වුණ දැන් ‘මුරටැඹ’ කියලා හඳුන්වන “සයන්ස් වොච් ටවර්” සඟරාවේ සඳහන් වුණේ මෙහෙමයි. “අපේ වැඩවලට යෙහෝවා දෙවියන්ගේ උපකාර ලැබෙන නිසා අපි කවදාවත් මිනිසුන්ගෙන් සල්ලි ඉල්ලන්නේ නැහැ.” අදටත් ඒක ඇත්තක්.

මේ තරම් කාලයක්, මුදලක් හා ශ්‍රමයක් මේ පොත් පත් මුද්‍රණය කරන්න යොදවන්නේ ඇයි? දෙවියන්ට ළං වෙන්න මේ පොත් පත් ඔබට උදව් වෙනවා කියලා අපි විශ්වාස කරන නිසයි.