Skip to content

අයර්ලන්තයේ සහ බ්‍රිතාන්‍යයේ ජනයාට ඔවුන්ගේම භාෂාවලින් ශුභාරංචිය දැනගන්න ලැබෙයි

අයර්ලන්තයේ සහ බ්‍රිතාන්‍යයේ ජනයාට ඔවුන්ගේම භාෂාවලින් ශුභාරංචිය දැනගන්න ලැබෙයි

අයර්ලන්තයේ සහ බ්‍රිතාන්‍යයේ * මව්භාෂා කතා කරන අයව හමු වෙන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශේෂ වෑයමක් දරනවා. ඉංග්‍රීසි භාෂාවට අමතරව අයිරිෂ්, ස්කොටිෂ් ගේලික් හා වෙල්ෂ් කියන භාෂාත් ඒවාට ඇතුළත්.

2012 සැප්තැම්බර්වලදී අපි jw.org වෙබ් අඩවියට හුඟක් භාෂා එකතු කෙරුවා. 2014 අගෝස්තු ඉඳලා අයිරිෂ්, ස්කොටිෂ් ගේලික් හා වෙල්ෂ් භාෂාවලිනුත් තොරතුරු ඇතුළත් කරලා තියෙනවා. මේ භාෂාවලින් බයිබලයේ තොරතුරු ඇතුළත් පොත් පත් පවා අපි මුද්‍රණය කරනවා. ඒ වෑයමේ ප්‍රතිඵල මොනවාද?

දේවගැතිවරයෙක් ස්කොටිෂ් ගේලික් භාෂාවෙන් තියෙන අපේ පත්‍රිකාවක් ලබාගත්ත ගමන්ම හඬ නඟලා ඒක කියෙව්වා. ඒත් එක්කම ඔහු ඇඬුවා. ඒ වගේ ඔහු හැඟීම්බර වුණේ ඇයි? ඒක හොඳ පරිවර්තනයක් කියලා දැකලා පුදුම වෙලා ඔහු මෙහෙම කිව්වා. “මේක පරිවර්තනය කෙරුවේ කවුද? ඒක හොඳට කරලා තියෙනවා.”

ස්කොටිෂ් ගේලික් භාෂාව jw.org වෙබ් අඩවියට ඇතුළත් කරපු මුල් මාසයේදීම 750දෙනෙක් විතර මේ වෙබ් අඩවියට පිවිසුණා.

අයර්ලන්තයේ ගල්වේවල ජාතික විශ්වවිද්‍යාලයේ දේශකයෙක් සාක්ෂිකරුවෙක්ට කිව්වා ඔහු ආගම ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ කියලා. ඒත් ‘බයිබලය - එහි පණිවිඩය කුමක්ද?’ කියන සඟරාව අයිර්ෂ් භාෂාවෙන් තියෙනවා කියලා දැනගත්තාම ඔහු ඒ සඟරාව ලබාගත්තා. ඔහුගේ අදහස වුණේ හැමෝටම තමන්ගෙම භාෂාවෙන් බයිබලය මත පදනම් පොත් පත් ලැබෙන්න ඕන කියලයි. අයිරිෂ් භාෂාව කතා කරන අයට ඒ භාෂාවෙන්ම පොත් පත් ලබා දෙන්න දරන වෑයම ගැන ඔහු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ප්‍රශංසා කෙරුවා.

වයසක කාන්තාවකට වෙල්ෂ් භාෂාවෙන් බයිබලයේ තොරතුරු ඇතුළත් සඟරාවක් ලැබුණාම මෙහෙම කිව්වා. “ඇත්තටම ඔයා මේක ඉංග්‍රීසි භාෂාවෙන් දුන්නා නම් මං මේක ගන්න එකක් නැහැ. මගේම භාෂාවෙන් තියෙන හින්දා තමයි මං මේක ගත්තේ.”

2014 අගෝස්තුවලදී jw.org වෙබ් අඩවියට වෙල්ෂ් භාෂාවෙන් ඇතුළත් කරන තොරතුරු අපි වැඩි කෙරුවා. ඒ මාසයේදී අපේ වෙබ් අඩවියේ වෙල්ෂ් භාෂාවෙන් තියෙන පොත් පත් කියවන අයගේ ගණන දෙගුණයකටත් වඩා වැඩි වුණා.

“අපි කතා කරන්නේ එකම භාෂාව”

යේසුස්ගේ අනුගාමිකයන් දෙන්නෙක්ට යේසුස් ශුද්ධ ලියවිල්ල පැහැදිලි කෙරුවාම ඔවුන් මෙහෙම කිව්වා. “අප පාර දිගේ එන විට ඔහු අපට ශුද්ධ ලියවිල්ලේ දේවල් කොතරම් හොඳින් පැහැදිලි කර දුන්නාද! ඔහු කතා කළ විට අපේ සිත් මොන තරම් සතුටකින් පිරී ගියාද!” (ලූක් 24:32) තමන්ගෙම භාෂාවෙන් බයිබලයේ තියෙන සත්‍යය පැහැදිලි කෙරුවාම හුඟක් අයගේ හිතට ඒක කාවදිනවා.

වේල්ස්වල එමිර් කියන කෙනා විවාහ වෙලා ඉන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් එක්ක. ඒත් කවදාවත් ඔහු ඇගේ නමස්කාරයට හවුල් වෙලා නැහැ. කොහොමවුණත් ඔහුට අවස්ථාව ලැබුණා රසල් කියන සාක්ෂිකරුවාව හඳුනගන්න. දෙන්නා හොඳ යාළුවෝ වුණා. තමන්ගේ ආකල්පය වෙනස් වුණ විදිහ ගැන එමිර් කියන්නේ මෙහෙමයි. “‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු * කියන පොත අරගෙන ආව රසල් එක්ක බයිබලය පාඩම් කරන්න මම තීරණය කෙරුවා. ඒ පොත දීලා එයා මට කිව්වා ‘මේ පොත තියෙන්නේ වෙල්ෂ් භාෂාවෙන්. අපි දෙන්නා දැන් ඉඳලාම මේකෙන් පාඩමක් කරමු’ කියලා.” රසල් එළඹුණ විදිහ එමිර්ගේ හිතට ඇල්ලුවේ ඇයි? ඔහු මෙහෙම කියනවා. “අපි දෙන්නාම කතා කරන්නේ එකම භාෂාව. අපි දෙන්නාගෙම සංස්කෘතිය එකයි. අපි දෙන්නාට අපි දෙන්නාව තේරුම්ගන්න පුළුවන්.” තමන්ගේ මව්භාෂාව වන වෙල්ෂ් භාෂාවෙන් බයිබලයේ තියෙන දේවල් සාකච්ඡා කරද්දී එමිර්ට ඒ ගැන ‘සතුටු වෙන්න’ පුළුවන් වුණේ පැහැදිලි කරපු දේ හොඳින් තේරුණ නිසයි.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ජනයාට උදව් කරනවා ඔවුන්ගේම භාෂාවෙන් දෙවියන් ගැන ඉගෙනගන්න. එහෙම කරන එකෙන් ඔවුන්ගේ හදවතට කතා කරන්න පුළුවන්.

^ 2 ඡේ. මේ ලිපියේ බ්‍රිතාන්‍යය කියද්දී ඒකට එංගලන්තය, ස්කොට්ලන්තය සහ වේල්ස් ඇතුළත්.

^ 11 ඡේ. බයිබලය ඉගෙනගන්න උදව් වෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පොතක්.