Skip to content

අපි එක පවුලක් වගේ! - ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට්වල තිබුණු සමුළුව

අපි එක පවුලක් වගේ! - ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට්වල තිබුණු සමුළුව

“පවුලේ අය එකතු වෙලා පවත්වන උත්සවයක් වගේ.” පත්තරේක ඒ විදිහට සඳහන් වුණා. (Frankfurter Rundschau ) ඒ සමුළුවට සහභාගි වුණු අය ඒ කිව්ව දේට එකඟ වෙනවා.

පෝටෝ රිකෝවල ඉඳන් ආපු කාර්ලා මෙහෙම කියනවා. “මට දැනුණේ මගේ පවුලේ අයත් එක්ක ඉන්නවා වගේ.”

ඕස්ට්‍රේලියාවෙන් ආපු සේරා කිව්වේ මෙහෙමයි. “මම ආවේ ලෝකෙ එහා කොණේ තියෙන රටක ඉඳන්. ඒත් මට කිසිම වෙනසක් දැනුණේ නෑ. මගේම පවුලේ අය කියලයි මට හිතුණේ.”

මොකක් ගැනද මේ අය මෙච්චර සතුටින් කියන්නේ? ඒ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ජාත්‍යන්තර සමුළුවක් ගැන. 2014 ජූලි 18 සිට 20 දක්වා පවත්වපු ඒ සමුළුව තිබුණේ ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් නගරේ ක්‍රීඩාංගනයක. 37,000දෙනෙක් ඒකට සහභාගි වුණා.

හැමෝම එතනට රැස් වුණේ බයිබලය ගැන ඉගෙනගන්න. ඒ අධ්‍යාපනික වැඩසටහනට බයිබලයේ කොටස් කියවීම, ගීතිකා, යාච්ඤා, නාට්‍ය දෙකක් සහ බයිබල් දේශන ඇතුළත් වුණා.

සමුළුවට සහභාගි වුණ අයගෙන් 3,000ක් ඕස්ට්‍රේලියාවෙන්, බ්‍රිතාන්‍යයෙන්, ග්‍රීසියෙන්, ලෙබනොන්වලින්, සර්බියාවෙන් දකුණු අප්‍රිකාවෙන් සහ එක්සත් ජනපදයෙන් පැමිණි ආරාධිතයන්. ඒ වගේම රටවල් 70වක සේවය කරන මිෂනාරිවරුන් 234දෙනෙකුත් ඒ සමුළුවට සහභාගි වුණා.

සමුළුවේ සමහර කොටස් වෙබ්කාස්ට් හරහා සජීවීව ජර්මනියේ ස්ථාන 19කත් ඔස්ට්‍රියාවේ සහ ස්විට්සර්ලන්තයේ ස්ථානවලටත් ඇහෙන්න සැලැස්වුවා. එහෙම බැලුවොත් මේ සමුළුවට සහභාගි වුණු මුළු සංඛ්‍යාව 2,04,046යි.

සීමා මායිම් නැහැ

ෆ්රැන්ක්ෆර්ට්වලදී ඒ සමුළුව පැවත්තුවේ ඉංග්‍රීසි, ජර්මන් සහ ග්‍රීක භාෂාවලින්. අනිත් ස්ථානවලට ඒ වෙලාවේදීම අරාබි, චීන, දෙමළ, තුර්කි සහ සංඥා භාෂා දෙකක් ඇතුළු භාෂා 17කට පරිවර්තනය කළා.

එතනට රැස් වුණු සාක්ෂිකරුවන් විවිධ භාෂා කතා කරන, විවිධ රටවල, විවිධ සංස්කෘතිවල අය වුණත් ඒ හැමෝටම එක පවුලක් වගේ ඉන්න පුළුවන් වුණේ ඔවුන් අතර තිබුණු ප්‍රේමය නිසයි. (යොහන් 13:34, 35) එයාලා එකිනෙකාට සැලකුවේ තමන්ගේම සහෝදර සහෝදරියන්ට වගේ.

“ලෝකෙ පුරාම ඉන්න සාක්ෂිකරුවන් එක්ක සහෝදරත්වයෙන් බැඳෙන්න අපිට සීමා බාධක නෑ කියලා මගේ අස් දෙකෙන්ම දැක්කා. ” එහෙම කිව්වේ බ්‍රිතාන්‍යයෙන් ආපු ටොබියස්.

“රටවල් 20කින් ආපු සාක්ෂිකරුවන්ව මට හම්බ වුණා. අපි තුළ එකමුතුකමක් තියෙන්නේ අපි දෙවිටත් එක් එක්කෙනාටත් ආදරේ නිසයි” කියලා පෝටෝ රිකෝවලින් ආව ඩව්යානා කිව්වා.

ඕස්ට්‍රේලියාවේ පුංචි පිටිසර ගමකින් ආපු මැල්කම් මෙහෙම කියනවා. “ලෝකෙ පුරාම ඉන්න අපේ සහෝදර සහෝදරියන් එක පවුලක් වගේ කියලා මම අහලා තිබුණා. වීඩියෝවලින් බලලත් තිබුණා. ඒත් මම ඒ දේ අද්දැක්කේ මේ සමුළුවේදියි. ඒ බැදීම කොයි තරම් වටිනවද කියලා මට තේරුම් ගියා. මේ සමුළුවට ආව එකෙන් මගේ විශ්වාසයත් ශක්තිමත් වුණා.”

ආගන්තුක සත්කාරය අතිවිශිෂ්ටයි!

සමුළුවට සහභාගි වුණ අයව සතුටු කරන්න ෆ්රැන්ක්ෆර්ට් නගරේ සහ ඒ අවට සභා 58ක සාක්ෂිකරුවන් තෑගි සහ විවිධ වැඩසටහන් සූදානම් කරලා තිබුණා.

“ආගන්තුක සත්කාරය නම් අතිවිශිෂ්ටයි. සහෝදරයන්ගේ ප්‍රේමය, කරුණාවන්තකම සහ ත්‍යාගශීලීකම අපිට කවදාවත් අමතක වෙන්නේ නෑ” කියලා එක්සත් ජනපදයෙන් ආව සින්තියා කියනවා.

“ආදරේ, සතුටු සිනා, සහෝදර සෙනෙහස උතුරලා ගියා. අපි ගොඩක් දේවල් ඉගෙනගත්තා.” එහෙම කිව්වේ ජර්මනියේ ඉඳන් ආපු සයිමන්.

“ඒ වැඩසටහන්වලින් ඔප්පු වුණා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවනුත් විනෝද වෙන්න ආස අය කියලා. ඒ වගේම නියම විදිහට විනෝද වෙන්නේ කොහොමද කියලත් අපි දන්නවා” කියලා ඕස්ට්‍රේලියාවෙන් ආව ඒමි කිව්වා.

අපි ගෙදර ගියේ සොඳුරු මතකයන් එක්ක

ෆ්රැන්ක්ෆර්ට්වල පැවැත්තුව සමුළුව ලෝකෙ පුරා රටවල් 9ක පවත්වපු සමුළුවලින් එකක්.

ෆ්රැන්ක්ෆර්ට් සමුළුවට ආරාධනා ලැබුණු කෙනෙක්ගෙන් ඒ අවස්ථාව ගැන ඇහුවාම එයා මෙහෙම කිව්වා. “හිතන්න ඔයාගෙම පවුලේ කෙනෙක්, උදාහරණෙකට ඔයාගේ සහෝදරයෙක්. හැබැයි ඔයා එයාව කවදාවත් දැකලා නැහැ. එයාව ඔයාට මුණගැහුණම එයා ඔයාව ගෙදර එක්කගෙන යන්නේ හිතේ ලොකු ආදරේකින්. ඔයාට දැනෙන්නේ වචනවලින් කියාගන්න බැරි සතුටක් නේද! ඒ සතුට 37,000 ගුණයකින් වැඩි වෙලා අපිට මේ සමුළුවේදී අද්දකින්න පුළුවන් වුණා.”