Skip to content

ඉස්කෝලෙට ගිය ‘බයිබල් කතන්දර පොත’

ඉස්කෝලෙට ගිය ‘බයිබල් කතන්දර පොත’

2012දී පන්ගසිනාන් භාෂාවෙන් ‘මගේ බයිබල් කතන්දර පොත’ මුදාහැරියා. පිලිපීනයේ ඉන්න ඒ භාෂාව කතා කරන ඉස්කෝලේ යන දරුවන්ට නම් ඒ පොත ගොඩක් වටිනවා. හේතුව ප්‍රාථමික පන්තිවල දරුවන්ට එයාලගේ මව් භාෂාවෙන්ම අධ්‍යාපනය ලබා දෙන්න ඕනෙ කියලා පිලිපීනයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කළෙත් ඒ කාලෙමයි.

පිලිපීනයේ භාෂා 100කට වඩා කතා කරන නිසා දරුවන්ට උගන්වන්න ඕනෙ මොන භාෂාවෙන්ද කියන එක ප්‍රශ්නයක් වුණා. සාමාන්‍යයෙන් දරුවන් ගෙදරදී පාවිච්චි කරන භාෂාවෙන් ඉගැන්නුවම එයාලා හොඳින් සහ ඉක්මනින් ඉගෙනගන්නවා කියන එක අධ්‍යාපන දෙපාර්තමේන්තුව තේරුම්ගත්තා. ඒ නිසා 2012 ඉඳලා දරුවන්ගේ මව් භාෂාවෙන්ම උගන්වන්න පටන්ගත්තා.

ඒ තෝරාගත්ත භාෂා අතරට පන්ගසිනාන් භාෂාවත් ඇතුළත් වුණා. ඒත් පොඩි ප්‍රශ්නයක් තිබුණා. ඒ ගැන විදුහල්පතිවරයෙක් කිව්වේ ශිෂ්‍යන්ට කියවන්න පන්ගසිනාන් භාෂාවෙන් පොත් පත් තිබුණේ හරිම පොඩ්ඩයි කියලයි. ඒත් 2012 නොවැම්බර් මාසේ පවත්වපු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ තුන්දින සමුළුවේදී පන්ගසිනාන් භාෂාවෙන් ‘මගේ බයිබල් කතන්දර පොත’ මුදාහැරියා. ඇත්තටම ඒක නියම වෙලාවට ලැබුණු පොතක්.

සමුළුවේ බෙදාහැරීමට ඒ පොතේ පිටපත් 10,000ක් විතර මුද්‍රණය කළා. තමන්ගේ මව් භාෂාවෙන්ම පොතක් ලැබුණු එක ගැන කුඩා දරුවන් වගේම එයාලගේ දෙමව්පියනුත් ගොඩක් සතුටු වුණා. යුවළක් මෙහෙම කිව්වා. “අපේ ළමයි මේ පොතට හරිම ආසයි. මොකද කියවන හැම දේම එයාලට හොඳට තේරෙනවා.”

සමුළුවෙන් පස්සේ සාක්ෂිකරුවන් කිහිපදෙනෙක් මේ පොතේ පිටපත් කිහිපයක් ඩාගුපෑන් නගරේ තියෙන ඉස්කෝලෙකට ගෙනිච්චා. කාලෙක ඉඳන් පන්ගසිනාන් භාෂාවෙන් පොත් පත් හොයහොයා හිටිය ගුරුවරුන්ට මේ පොත ලැබුණු එක ලොකු සතුටක් වුණා. මේ පොතේ පිටපත් 340කටත් වඩා වැඩියෙන් ඒ ඉස්කෝලෙට දුන්නා. ගුරුවරුන් ඉක්මනින්ම ඒ පොත පාවිච්චි කරලා දරුවන්ට එයාලගෙම භාෂාවෙන් උගන්වන්න පටන්ගත්තා.

දරුවන්ගේ අධ්‍යාපනයටත් මේ පොත ප්‍රයෝජනවත් වෙන එක ගැන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සතුටු වෙනවා. ‘මගේ බයිබල් කතන්දර පොත’ පරිවර්තනය කරන්න හවුල් වුණ පරිවර්තකයෙක් මෙහෙම කිව්වා. “මිනිස්සුන්ට එයාලගේ මව් භාෂාවෙන්ම පොත් පත් ලැබෙන එක කොච්චර වැදගත්ද කියලා අපි දැනගෙන හිටියා. මොකද එතකොට තමයි කියවන දේ එයාලගේ හිතටම යන්නේ. ඒ නිසයි සාක්ෂිකරුවන් බයිබලය සහ බයිබලය මත පදනම් පොත් පත් භාෂා සිය ගණනකින් පරිවර්තනය කරන්න මෙච්චර මහන්සි වෙන්නේ.”