Skip to content

හදිසි ආපදාවකදී උදව් කරන්නේ ආදරෙන් පෙලඹිලයි

හදිසි ආපදාවකදී උදව් කරන්නේ ආදරෙන් පෙලඹිලයි

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ආපදාවන්ට මුහුණ දීලා ඉන්න තමන්ගේ සභාවල සහෝදර සහෝදරියන්ටත් අසල්වැසියන්ටත් උදව් උපකාර කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ එයාලා තුළ තියෙන ප්‍රේමය නිසයි. අන් අයට ප්‍රේමය පෙන්වීම සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගන්න තියෙන ලකුණක් කියලා යේසුස් කිව්වා.—යොහන් 13:35.

සාමාන්‍යයෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විපතකට මුහුණ දුන්න අයව බයිබලේ තියෙන තොරතුරු යොදාගෙන ශක්තිමත් කරනවා. එයාලට අවශ්‍ය සහනය ලබා දෙනවා. ඊට අමතරව වෙනත් පැතිවලිනුත් සාක්ෂිකරුවන් එයාලට උදව් උපකාර කරනවා. පහත සඳහන් වෙන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 2011 මැද භාගයේ ඉඳන් මාස 12ක කාලයක් පුරා විපතට පත් වුණ අයට විවිධ පැතිවලින් උදව් කළ විදිහයි.

ජපානය

ජපානය: 2011 මාර්තු 11වෙනිදා ඇති වුණ භූමිකම්පාව සහ සුනාමි තත්වය නිසා ජපානයේ උතුරු පළාතේ ලක්ෂ ගාණක් ජනයා විපතට පත් වුණා. ලොව පුරා ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මුදලින්, ශ්‍රමයෙන් සහ තවත් බොහෝ පැතිවලින් උදව් උපකාර කළා.

බ්‍රසීලය: ජලගැලීම්, නායයෑම් නිසා සිය ගණනකට ජීවිත අහිමි වුණා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විපතට පත් වුණ අයට වියළි ආහාර ද්‍රව්‍ය ටොන් 42ක්, පානීය ජලය බෝතල් 20,000ක්, ඇඳුම් පැළඳුම් ටොන් 10ක්, පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය ටොන් 5ක්, බෙහෙත් සහ වෙනත් බොහෝ දේවලුත් ලබා දුන්නා.

කොංගෝව (බ්‍රෙසවිල්): පැරණි අවිආයුධ ඉවතලන ස්ථානයක ඇති වුණ පිපිරීමකින් සාක්ෂිකරුවන්ගේ නිවාස 4ක් විනාශ වුණ අතර තවත් සාක්ෂිකරුවන් 28දෙනෙක්ගේ නිවාසවලට අලාභහානි සිදු වුණා. ඒ අයට අවශ්‍ය කෑම බීම, ඇඳුම් පැළඳුම් ලබා දුන්නා විතරක් නෙමෙයි ඒ පළාතේ හිටිය සාක්ෂිකරුවන් විපතට පත් වුණ අයට ඔවුන්ගේ නිවෙස්වල නවාතැන් දෙන්නත් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා.

කොංගෝව (කින්ෂාසා): ධාරානිපාත වර්ෂාව නිසා ඇති වුණ ජලගැලීම් තත්වයෙන් පීඩාවට පත් වුණ අයට ඇඳුම් ලබා දුන්නා. ඒ වගේම අවතැන් කඳවුරුවල හිටපු අයට ඇඳුම් පැළඳුම් විශාල තොගයක්, වගා කිරීමට අවශ්‍ය බීජ සහ වෛද්‍ය පහසුකම් ලබා දුන්නා. කොලරාවෙන් පීඩා විඳි අයට අවශ්‍ය ඖෂධ ලබා දෙන්නත් පියවර ගත්තා.

වෙනිසියුලාව: ධාරානිපාත වර්ෂාව නිසා ඇති වුණ ජලගැලීම් සහ නායයෑම්වලින් හුඟදෙනෙක් පීඩාවට පත් වුණා. ශාඛා කාර්යාලයෙන් පත් කළ සහන සේවා කමිටු විපතට පත් සාක්ෂිකරුවන් 288දෙනෙක්ට උදව් උපකාර කරන්න ඉක්මනින්ම පියවර ගත්තා. නිවාස 50කට වඩා වැඩි ප්‍රමාණයක් අලුතින්ම ඉදි කළා. ඊට අමතරව වැලෙන්සියා විල පිටාර ගැලීමේ අවධානමක් තිබුණ නිසා ඒ අවට ජීවත් වුණ අයව ආරක්ෂිත ස්ථානවලට රැගෙන ගියා.

පිලිපීනය

පිලිපීනය: සුළිකුණාටු නිසා රටේ සමහර පැතිවල ගංවතුර තත්වයක් ඇති වුණා. පීඩාවට පත් වුණ අයට ශාඛා කාර්යාලයෙන් අවශ්‍ය ඇඳුම්, ආහාර ලබා දුන්නා. ඒ වගේම ඒ පළාත්වල හිටපු සාක්ෂිකරුවන් ජලගැලීමෙන් හානියට පත් නිවාස පිරිසිදු කරන්නත් හවුල් වුණා.

කැනඩාව: ඇල්බර්ටාවල ඇති වුණ ලැව් ගින්නෙන් හානි වුණ නිවාස අලුත්වැඩියා කරන්න ඒ අවට හිටපු සාක්ෂිකරුවන්ගෙන් සම්මාදම් විශාල ප්‍රමාණයක් ලැබුණා. අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදල් ලැබුණ නිසා සම්මාදම්වලින් භාගෙකට වඩා ලෝකේ වෙනත් පැතිවල ආපදාවන්ට ලක් වෙලා ඉන්න අයට යවන්න ඒ පළාතේ සහෝදරයන් තීරණය කළා.

අයිවරි කෝස්ට්: ඒ රටේ සිවිල් යුද්ධක් ඇති වුණා. යුද්දේට කලිනුත් යුද්දේ පැවති කාලේ පුරාමත් ඒක අවසන් වුණාට පස්සෙත් පීඩා විඳි අයට ඉදුම්හිටුම්, කෑම බීම සහ වෛද්‍ය පහසුකම් ලබා දුන්නා.

ෆීජි: ධාරානිපාත වර්ෂාව නිසා ඇති වූ ගංවතුරෙන් සාක්ෂිකරුවන්ගේ පවුල් 192ක් පීඩාවට පත් වුණා. වැඩිදෙනෙක්ගේ ගොවිපොළවල් සහ වගාබිම් විනාශ වුණ නිසා ඒ අයට අවශ්‍ය කෑම බීම ලබා දෙන්න පියවර ගත්තා.

ඝානාව: රටේ නැඟෙනහිර පළාතේ ඇති වූ ගංවතුර තත්වයෙන් පීඩා විඳි අයට අවශ්‍ය කෑම බීම, ඉඳුම් හිටුම් සහ වගා කටයුතුවලට අවශ්‍ය බීජ ලබා දුන්නා.

එක්සත් ජනපදය: ටොර්නේඩෝ වර්ගයේ සුළිකුණාටුවලින් ප්‍රාන්ත 3ක සාක්ෂිකරුවන්ගේ නිවාස 66කට අලාභහානි සිදු වුණ අතර නිවාස 12ක් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ඒ අයගෙන් හුඟදෙනෙක්ට රක්ෂණාවරණ තිබුණත් එයාලට අවශ්‍ය උදව් ලබා දුන්නා.

ආර්ජන්ටිනාව: ගිනිකන්දකින් පිට වුණ අළු නිසා රටේ දකුණු පළාතේ හිටිය සමහර සාක්ෂිකරුවන්ගේ නිවාස හානියට පත් වුණා. ඒවා අලුත්වැඩියා කරන්න අවශ්‍ය උපකාර ලබා දුන්නා.

මොසැම්බික්: නියඟයෙන් පීඩා විඳි දාහකට වඩා වැඩිදෙනෙක්ට ආහාර ලබා දුන්නා.

නයිජීරියාව: සිදු වුණ දරුණු බස්රථ අනතුරකින් සාක්ෂිකරුවන් 24දෙනෙක් තුවාල ලැබුවා. ඒ අයට මුදලින් උපකාර කළා. ඒ වගේම ඒ රටේ උතුරු පළාතේ සිදු වූ ආගමික සහ ජාතිවාදී ගැටුම්වලින් අවතැන් වූ අයට අවශ්‍ය උදව් ලබා දුන්නා.

බෙනින්: ඇති වූ ගංවතුර තත්වයෙන් පීඩා විඳි අයට අවශ්‍ය ඇඳුම්, මදුරු දැල්, බීමට ජලය, බෙහෙත් සහ ඉඳුම්හිටුම් ලබා දුන්නා.

ඩොමිනිකන් ජනරජය

ඩොමිනිකන් ජනරජය: අයිරින් සුළිකුණාටුවෙන් විපතට පත් අයගේ නිවාස අලුත්වැඩියා කරලා එයාලගේ අනිකුත් අවශ්‍යතා ගැනත් හොයලා බැලුවා.

ඉතියෝපියාව: පළාත් දෙකක නියඟයකුත් එක පළාතක ජලගැලීම් තත්වයකුත් ඇති වුණා. විපතට පත් අයට උදව් උපකාර කරන්න අවශ්‍ය සම්මාදම් ලබා දුන්නා.

කෙන්යාව: නියඟයෙන් පීඩා විඳි අයට සහනාධාර ලබා දුන්නා.

මලාවි: අවතැන් කඳවුරක ඉන්න අයට අවශ්‍ය උපකාර ලබා දුන්නා.

නේපාලය: නායයෑමකින් සාක්ෂිකරුවෙක්ගේ නිවසට දැඩි අලාභහානි සිදු වුණා. ඒ පළාතේ ඉන්න සාක්ෂිකරුවන් ඇයට ඉන්න තාවකාලික නිවසක් ලබා දුන්න අතර එයාගේ අනිකුත් අවශ්‍යතාත් ඉටු කරලා දුන්නා.

පැපුවා නිව් ගිනියාව: සාක්ෂිකරුවන්ගේ නිවාස අටක් ගිනිබත් කළා. ඒවා නැවත ඉදි කරන්න සැලසුම් යෙදුවා.

රුමේනියාව: ජලගැලීම් තත්වයන් නිසා සමහර සාක්ෂිකරුවන්ට උන්හිටි තැන් අහිමි වුණා. එයාලගේ නිවාස යළි ඉදි කරන්න උදව් ලබා දුන්නා.

මාලි: නියඟය නිසා ආහාර හිඟයක් ඇති වුණා. ඒ අයට අවශ්‍ය සහනාධාර ලබා දෙන්න අසල්වැසි රටක් වන සෙනගාලය ඉදිරිපත් වුණා.

සියරා ලියොන්: රටේ යුද්ධ තිබුණ පළාත්වල ඉන්න සාක්ෂිකරුවන්ට වෛද්‍ය පහසුකම් ලබා දීමට සාක්ෂිකරුවන් අතර ඉන්න වෛද්‍යවරු පිරිසක් ප්‍රංශයේ ඉඳලා ආවා.

තායිලන්තය: දරුණු ජලගැලීම්වලින් රටේ පළාත් කීපයකට හානි සිදු වුණා. සහන සේවා කණ්ඩායම් නිවාස සීයක් සහ නමස්කාර මධ්‍යස්ථාන හයක් පිරිසිදු කර අලුත් වැඩියා කර දුන්නා.

චෙක් ජනරජය: ජලගැලීම්වලින් නිවාස කීපයකට හානි සිදු වුණා. විපතට පත් අයට උදව් කරන්න අසල්වැසි රටක් වන ස්ලොවැක් ජනරජයේ ඉන්න සාක්ෂිකරුවන් ඉක්මනින්ම පියවර ගත්තා.

ශ්‍රී ලංකාව: සුනාමියෙන් සිදු වුණ හානි යථා තත්වයට පත් කරන්න දියත් කළ වැඩකටයුතුවලින් වැඩි හරියක් මේ වෙද්දී අවසන් වෙලා තියෙනවා.

සුඩානය: ගැටුම්වලින් අවතැන් වුණ සාක්ෂිකරුවන්ට කෑම බීම, ඇඳුම් පැළඳුම් සහ ප්ලාස්ටික් ආවරණ ලබා දුන්නා.

ටැන්සානියාව: දරුණු ජලගැලීම්වලින් පවුල් දාහතරකට බඩුමුට්ටු සියල්ලක්ම අහිමි වුණා. ඒ පළාතේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විපතට පත් අයට ඇඳුම්, බඩුමුට්ටු ලබා දුන්නා. එක නිවසක් සම්පූර්ණයෙන්ම නැවත ඉදි කළා.

සිම්බාබ්වේ: නියඟය නිසා රටේ එක පළාතක සාගතයක් ඇති වුණා. ඒ නිසා පීඩා විඳින අයට කෑම බීම සහ මුදල් ලබා දුන්නා.

බුරුන්ඩි: උන්හිටි තැන් අහිමි වුණ අයට වෛද්‍ය පහසුකම් ඇතුළු අනිකුත් අවශ්‍යතා ලබා දුන්නා.