Skip to content

පටුනට යන්න

1වෙනි පාඩම

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මොන වගේ අයද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මොන වගේ අයද?

ඩෙන්මාර්කය

තායිවානය

වෙනිසියුලාව

ඉන්දියාව

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන ඔයා අහලා තියෙනවාද? සමහරවිට ඉස්කෝලේදී, වැඩ කරන තැනදී ඔයාට අපිව හම්බ වෙලා ඇති. එහෙමත් නැත්නම් අපෙන් කවුරු හරි ඔයාව හම්බ වෙලා බයිබලේ තියෙන තොරතුරු ඔයා එක්ක ටිකක් කතා කරලත් ඇති. අපි මොන වගේ අයද කියලා ඔයා කල්පනා කරලා තියෙනවාද? අපි විශ්වාස කරන දේවල් ගැන අපි අනිත් අයත් එක්ක කතා කරන්න කැමති ඇයි කියලා ඔයා හිතලා තියෙනවාද?

අපිත් අනිත් අය වගේ සාමාන්‍ය අය. අපි අතරේ එක එක සංස්කෘතීන්ට, පසුබිම්වලට අයිති අය ඉන්නවා. අපෙන් සමහරදෙනෙක් කලින් වෙනත් ආගම් අදහපු අය. තවත් අය දෙවි කෙනෙක්ව විශ්වාස කළේවත් නැහැ. ඒත් අපි හැමෝම සාක්ෂිකරුවන් වෙන්න කලින් බයිබලේ තියෙන තොරතුරු ගැන හොඳට හොයලා බැලුවා. (ක්‍රියා 17:11) ඒ තොරතුරු සත්‍යයයි කියලා අපිට වැටහුණු නිසා යෙහෝවා දෙවිට නමස්කාර කරන්න අපි පුද්ගලිකව තීරණය කළා.

බයිබලෙන් ඉගෙනගන්න තොරතුරු අපිට හුඟක් වටිනවා. අනිත් අයට වගේ අපිටත් ප්‍රශ්න ගැටලු තියෙනවා. අපි අතිනුත් වැරදි වෙනවා. ඒත් අපි බයිබලෙන් ඉගෙනගන්න තොරතුරු අදාළ කරගන්න නිතරම උත්සාහ කරන නිසා අර්ථවත් ජීවිත ගත කරන්නත් සතුටින් ඉන්නත් අපිට පුළුවන්. (ගීතාවලිය 128:1, 2) ඒ හේතුව නිසා බයිබලේ තියෙන වටිනා තොරතුරු අනිත් අයටත් කියලා දෙන්න අපි හුඟක් කැමතියි.

අපි දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙනවා. බයිබලේ තියෙන දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙන එක අපිට ලොකු ආරක්ෂාවක්. ඒ මඟ පෙන්වීම් නිසා කරුණාවන්තකම, අවංකකම වගේ හොඳ ගතිගුණ ඇති කරගන්නත් අනිත් අයට ගරු කරන්නත් අපි පෙලඹෙනවා. දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගන්න නිසා අපේ පවුල් බැඳීම් හරි ශක්තිමත්. ඒ වගේම සදාචාර සම්පන්න පුරවැසියන් වෙන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. අපේ දෙවි යෙහෝවා ‘සියල්ලන්ටම එක හා සමානව සලකනවා.’ ඔහුව ආදර්ශයට ගන්න අපි අතරෙත් ජාති කුලමල භේද නැහැ. ලෝකේ මොන රටක ජීවත් වුණත් අපි එකමුතු පවුලක්.—ක්‍රියා 4:13; 10:34, 35.

  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවනුත් සාමාන්‍ය අය කියලා කියන්න පුළුවන් ඇයි?

  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලෙන් ඉගෙනගෙන තියෙන වටිනා තොරතුරු මොනවාද?