Skip to content

පටුනට යන්න

විද්‍යාව සහ උත්පත්ති වාර්තාව

විද්‍යාව සහ උත්පත්ති වාර්තාව

නිර්මාණය පිළිබඳ බයිබලයේ සඳහන් වාර්තාව විද්‍යාවට පටහැනි බව බොහෝදෙනෙක් පවසනවා. නමුත් ඇත්ත කතාව නම් විද්‍යාව පටහැනි වන්නේ බයිබලයේ ඇති වාර්තාවට නොව ක්‍රිස්තියානි මූලධර්මවාදීන් ලෙස හඳුන්වන්නන්ගේ අදහස්වලටයි. මෙවැනි සමහරු කියන්නේ බයිබලයට අනුව භෞතික සියල්ල නිර්මාණය කළේ මීට වසර 10,000කට පමණ පෙර පැය 24 දින හයකින් කියායි.

කොහොමවුණත් බයිබලයේ නිගමනය එය නෙවෙයි. එසේ වුණා නම් පසුගිය අවුරුදු 100 තුළ විද්‍යාවෙන් සොයාගත් බොහෝ දේවල් නිසා බයිබලයේ සඳහන් දේවල් ගැන මිනිසුන් සැක පහළ කරන්න ඉඩ තිබුණා. නමුත් බයිබලය ගැඹුරට අධ්‍යයනය කරද්දී හෙළි වන්නේ විද්‍යාත්මකව ඔප්පු කළ සත්‍යයන් බයිබලයට එකඟ බවයි. ඒ හේතුවෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් “ක්‍රිස්තියානි” මූලධර්මවාදීන් හා බොහෝ මැවුම්වාදීන්ගේ අදහස්වලට එකඟ වන්නේ නැහැ. ඒ ගැන බයිබලයේ පවසන දේ පහත දැක්වෙනවා.

පෘථිවිය ඇතුළු විශ්වය මීට සියවස් කීපයකට පෙර පැය 24 දින හයකින් සෑදූ බව උත්පත්ති පොතේ උගන්වා නැහැ

‘පටන්ගැන්ම’ කවදාද?

බයිබලයේ උත්පත්ති පොත ඇරඹෙන්නේ මෙම සරල නමුත් බලවත් වචන පෙළින්. “පටන්ගැන්මේදී දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළේය.” (උත්පත්ති 1:1) එම පදයේ විස්තර කරන ක්‍රියාව හා තුන්වන පදයේ සිට විස්තර කරන දවස්වල සිදු කළ ක්‍රියා අතර වෙනසක් තිබෙන බවට බයිබල් විශාරදයන් එකඟ වෙනවා. ඉන් ගැඹුරු දෙයක් අදහස් වෙනවා. බයිබලයේ මුල්ම වචන පෙළට අනුව වාසයට පොළොව සකස් කළ දවස්වලට පෙර පෘථිවිය ඇතුළු මුළු විශ්වයම අසීමිත කාලයක් පුරා පැවත තිබෙනවා.

භූ විද්‍යාඥයන් ගණන් බලා තිබෙන ආකාරයට පොළොව වසර බිලියන හතරක් පැරණියි. එමෙන්ම තාරකා විද්‍යාඥයන් සිතන ආකාරයට විශ්වය වසර බිලියන 15ක් පමණ පැවත තිබෙනවා. මෙම සොයාගැනීම් හෝ ඉදිරියේදී සොයාගැනීමට ඉඩ ඇති දත්තයන් උත්පත්ති 1:1ට පටහැනිද? නැහැ. ‘අහස හා පොළොව’ කොතරම් පැරණිද කියා බයිබලයේ හරියටම පවසා නැහැ. විද්‍යාවෙන් බයිබලයේ සඳහන් දේ නිෂ්ප්‍රභ කරන්නෙත් නැහැ.

දවසක් කොතරම් දීර්ඝද?

එය පැය 24 දවසක්ද? දෙවි පොළොව දවස් හයකින් සකස් කළ පසු හත්වෙනි දවසේදී විවේක ගැනීම පදනම් කරගෙන උත්පත්ති පොතේ ලේඛක මෝසෙස් පසු කලෙක සතිපතා පැවැත්විය යුතු සබත් දවස ගැන සඳහන් කළා. ඒ නිසා සමහරු පවසන්නේ පොළොව සකස් කළ සෑම දවසක්ම පැය 24ක කාලයක් විය යුතු බවයි. (නික්මයාම 20:11) උත්පත්ති පොතේ එවැනි අදහසක් තහවුරු කරනවාද? නැහැ.

ඊට හේතුව නම් “දවස” කියා පරිවර්තනය කර තිබෙන හෙබ්‍රෙව් වචනය පැය 24කට සීමා නොවීමයි. එයින් විවිධ කාලපරිච්ඡේදයන් අදහස් විය හැකියි. උදාහරණයකට, දෙවි පොළොව සකස් කළ දවස් හයම එක දවසක් ලෙස මෝසෙස් දැක්වුවා. (උත්පත්ති 2:4) ඒ අනුව, ඒ දවස් සාමාන්‍ය පැය 24ක දවස් කියා තරයේ කීමට බයිබලයේ පදනමක් සපයා නැහැ.

එසේනම් එම දවස් කොතරම් දීර්ඝද? බයිබලයේ ඒ ගැන පවසන්නේ නැහැ. කෙසේවෙතත් උත්පත්ති පළවෙනි හා දෙවෙනි පරිච්ඡේදවලින් අඟවන්නේ දිගු කාල පරිච්ඡේදයන් ඊට ඇතුළත් බවයි.

දවස් හයේ කාලපරිච්ඡේදය

මෝසෙස් තම වාර්තාව ලිව්වේ හෙබ්‍රෙව් භාෂාවෙන්. එමෙන්ම ඔහු එය ලිව්වේ පොළොවේ සිටින කෙනෙක් දකින ආකාරයටයි. එම කරුණු දෙකට අමතරව පොළොව සකස් කළ දවස්වලට පෙර විශ්වය පැවතුණා කියන කාරණයත් අප මතකයේ තබාගත්තොත් එම “දවස්” හය පිළිබඳ වාර්තාව ගැටලුවකින් තොරව තේරුම්ගත හැකියි. ඒ කොහොමද?

එක ‘දවසක’ පටන්ගත් දෙයක් සම්පූර්ණ වුණේ ඊළඟ දවසේ හෝ දවස් කීපයකට පසුවයි

උත්පත්ති වාර්තාව හොඳින් පරීක්ෂා කර බලද්දී අපට පෙනෙන්නේ එක ‘දවසක’ පටන්ගත් දෙයක් සම්පූර්ණ වුණේ ඊළඟ දවසේ හෝ දවස් කීපයකට පසුව බවයි. උදාහරණයකට පළවෙනි “දවස” ගැන සිතන්න. ඒ වෙද්දිත් හිරුගෙන් පැමිණි ආලෝකය බොහෝදුරට ගන වලාකුළු නිසා පොළොවට පතිත වුණේ නැහැ. (යෝබ් 38:9) පළවෙනි “දවස” තුළදී මෙම බාධකය ක්‍රමානුකූලව ඉවත් වී වායුගෝලය හරහා යම් දුරකට ආලෝකය පතිත වුණා. a

දෙවෙනි “දවස” තුළදී ඉහළ ගන වලාකුළු සහ පහළ සාගරය අතර හිස් අවකාශයක් ඇති කළා. හතරවන ‘දවසේදී’ ඉර හා සඳ හිස් අවකාශය හරහා “අහස්තලයෙහි” පැහැදිලිව දැකගත හැකි වුණා. (උත්පත්ති 1:14-16) ඉන් පැහැදිලි වන්නේ පොළොවේ සිටින කෙනෙකුට ක්‍රමානුකූලව ඉරේ හා සඳේ ආලෝකය දිස් වෙන්න පටන්ගත් බවයි.

පස්වෙනි ‘දවසේදී’ පියාසර කරන කෘමීන්වද කුරුල්ලන්වද නිර්මාණය කළා කියා උත්පත්ති වාර්තාවේ සඳහන් වෙනවා.

බයිබලයේ සඳහන් වෙන්නේ, සෑම ‘දවසකදීම’ නැතහොත් යම් කාල පරිච්ඡේදයක් ඇතුළත විශාල වැඩ කොටසක් සිදු කර තිබෙන අතර ඒවා ක්ෂණිකව නොව ක්‍රමානුකූලව සිදු කළ බවයි. සමහර ක්‍රියාවන් එක් දවසක පටන්ගෙන තවත් දවසක් දක්වාද දිව ගොස් තිබෙනවා. b

ඒ ඒ වර්ග ලෙස

ගස් කොළන් සහ සතුන් ක්‍රමානුකූලව හටගැන්වීමෙන් ඇඟවෙන්නේ විවිධ ජීවීන්ව බිහි කිරීමට දෙවි පරිණාමය යොදාගත් බවද? නැහැ. එම වාර්තාවේ කියන්නේ දෙවි ශාක සහ සතුන් “ඒ ඒ වර්ග” ලෙස නිර්මාණය කළා කියායි. (උත්පත්ති 1:11, 12, 20-25) මුලින්ම නිර්මාණය කළ එම ශාක හා සතුන් “ඒ ඒ වර්ග” ලෙස නිර්මාණය කර තිබුණේ වෙනස් වන පරිසරයට අනුව හැඩගැසීමට හෙවත් අනුවර්තනය වීමටද? “ඒ ඒ වර්ග” කියද්දී ඉන් අදහස් වන්නේ මොකක්ද? බයිබලයෙහි එය විස්තර කර නැතත් එහි පවසන්නේ සතුන් ‘ඒ ඒ වර්ගයට අනුව බෝ වූ’ බවයි. (උත්පත්ති 1:21) එම ප්‍රකාශයෙන් ඇඟවෙන්නේ එක් ‘වර්ගයක්’ තුළ විවිධ විශේෂයන් හිටියත් එයට සීමාවක් තිබෙන බවයි. ෆොසිල හා නවීන පර්යේෂණයන් එය සනාථ කරන්නේ මූලික ශාක වර්ග හා සත්ව වර්ග අනාදිමත් කාලයක් පුරා වෙනස් වී ඇත්තේ ඉතා සුළු වශයෙන් කියායි.

සියලුම ජීවීන් “ඒ ඒ වර්ගයට අනුව” බෝ වන බව වර්තමාන පර්යේෂණ මගින් තහවුරු වෙනවා

පොළොව හා එහි වෙසෙන ජීවීන් ඇතුළු මුළු විශ්වයම නිර්මාණය කළේ ඉතා කෙටි කාලයක් තුළ බව සමහර මූලධර්මවාදීන් පැවසුවත් උත්පත්ති වාර්තාව ඊට එකඟ වෙන්නේ නැහැ. විශ්වයේ හා ජීවීන්ගේ ආරම්භය පිළිබඳ උත්පත්ති පොතේ ඇති විස්තරයට මෑතකදී සිදු කළ විද්‍යාත්මක සොයාගැනීම් බොහොමයක් එකඟයි.

බොහෝ විද්‍යාඥයන් තමන්ගේ විවිධ මත නිසා දෙවි සියල්ල නිර්මාණය කළ බව සඳහන් බයිබල් වාර්තාව ප්‍රතික්ෂේප කරනවා. කෙසේවෙතත් උත්පත්ති පොතේ මෝසෙස් ලිව්වේ විශ්වයට පටන්ගැන්මක් තිබෙන බව හා කාලයක් පුරා පියවරෙන් පියවර ජීවය බිහි වූ බවයි. එම තොරතුරු මීට වසර 3,500කට පමණ පෙර මෝසෙස් දැනගත්තේ කොහොමද? එක දෙයක් තර්කානුකූලව පැහැදිලි කළ හැකියි. එනම් අහස හා පොළොව නිර්මාණය කිරීමට බලය හා ප්‍රඥාව තිබෙන තැනැත්තා විද්‍යාත්මකව නිවැරදි එවැනි දැනුමක් මෝසෙස්ට දී තිබෙනවා කියායි. ඉන් තහවුරු වන්නේ බයිබලය ‘දෙවිගේ මඟ පෙන්වීම තුළින්’ c ලැබුණා යන ප්‍රකාශය ඇත්තක් බවයි.—2 තිමෝති 3:16.

ජීවයේ නිර්මාණය ගැන බයිබලයේ සඳහන් දෙය විශ්වාස කිරීම එතරම් වැදගත්ද කියා සමහරවිට ඔබට සිතෙන්න පුළුවන්. නමුත් එසේ කිරීම වැදගත් වීමට හේතු වන සිත්ගන්නා කරුණු කිහිපයක් සලකා බලන්න.

a පළවෙනි “දවස” තුළ සිදු වූ දේ ගැන දැක්වෙන විස්තරයේදී ආලෝකය සඳහා යොදා තිබෙන්නේ ඕර් යන හෙබ්‍රෙව් වචනයයි. නමුත් හතරවෙනි දවසේ ආලෝකය ගැන සඳහන් කරද්දී යෙදුවේ මාඕර් යන වචනයි. ඉන් යොමු දක්වන්නේ ආලෝක ප්‍රභවයටයි.

b උදාහරණයකට හයවෙනි දවසේදී දෙවි මිනිසාට පැවසුවේ ‘ගණනින් වැඩි වී මුළු පොළොව පුරාම පදිංචි’ වෙන්න කියායි. (උත්පත්ති 1:28, 31) නමුත් ඊළඟ “දවස” ආරම්භ වන තුරුද එය සිදු වී තිබුණේ නැහැ.—උත්පත්ති 2:2.

c jw.org/si වෙබ් අඩවියේ ඇති ‘බයිබලයේ තියෙන දේවල් විශ්වාස කරන්න පුළුවන්ද?’ කියන කෙටි වීඩියෝ එක බලන්න.