රෝම 15:1-33

15  නමුත් සත්‍ය ඉගැන්වීම් ගැන පුළුල් අවබෝධයක් ඇති අප එතරම් පුළුල් අවබෝධයක් නැති අයට තම දුර්වලකම්වලින් ගොඩ ඒමට උපකාර කළ යුතුයි.+ එහිදී අපගේම සතුට ගැන සිතීම සුදුසු නැත.+  අප සියලුදෙනාගේ උත්සාහය විය යුත්තේ අපගේ අසල්වැසියාව සතුටු කිරීමයි. ඒ සඳහා ඔහුගේ යහපත ගැන සිතමින් ඔහුව ගොඩනැංවීමට කටයුතු කරමු.+  ක්‍රිස්තුස් පවා තමාගේම සතුට ගැන සිතුවේ නැත.+ ඔහු ගැන ලියවිලිවල සඳහන් වන්නේ මෙසේය. “ඔබට නින්දා කළ අයගේ නින්දා අපහාස මා පිට පැමිණියේය.”+  අතීතයේ ශුද්ධ ලියවිලිවල එසේ ලියා තිබෙන+ සෑම දෙයකින්ම අපට යමක් ඉගෙනගත හැක.+ එමගින් අපි විඳදරාගැනීමට ඉගෙනගනිමු.+ එලෙසම ශුද්ධ ලියවිල්ලෙන් සැනසිල්ලද+ අද්දකින්නෙමු. ඒ දේවල් බලාපොරොත්තුවක් ඇතුව සිටීමට අපට උපකාරවත් වෙයි.+  ඔබට විඳදරාගැනීමට උපකාරයත් සැනසිල්ලත් ලබා දෙන්නේ දෙවිය. එසේම ක්‍රිස්තුස් යේසුස්ට තිබූ ආකල්පයම+ ඔබ තුළත් ඇති කරගැනීමට දෙවි ඔබට උපකාර කරන බව මට විශ්වාසයි.  ඒ නිසා ඔබ සියලුදෙනාටම එක්සත්ව+ එක හඬින් අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ පියාණන් මෙන්ම දෙවිද වන තැනැත්තාණන්ට ප්‍රශංසාව සහ ගෞරවය ලබා දීමට හැකි වනු ඇත.  එහෙයින් ක්‍රිස්තුස් අපව පිළිගත් ලෙසම+ එකිනෙකාව පිළිගන්න.+ එසේ කිරීමෙන් දෙවිට ගෞරවයක් ගෙන දීමට ඔබට හැකි වේ.  ඇත්තෙන්ම ක්‍රිස්තුස් චර්මච්ඡේදනය වූ අය+ වෙනුවෙන් වැදගත් සේවයක් ඉටු කළේය.+ ඔහු පැමිණියේ දෙවි සත්‍යය කතා කරන කෙනෙක් බව ඔප්පු කිරීමටත්+ දෙවි ඔවුන්ගේ මුතුන්මිත්තන්ට දුන් පොරොන්දු ඉටු වන බව තහවුරු කිරීමටත්ය.+  එසේම වෙනත් ජාතීන්ට අයත් මිනිසුන්+ වෙනුවෙන්ද ඔහු සේවයක් ඉටු කළේය. දෙවි ඔවුන්ට එලෙස පෙන්වූ දයාව නිසා දෙවිට ප්‍රශංසාව හා ගෞරවය ලබා දීමට ඔවුන්ටද අවස්ථාවක් උදා විය.+ ඔවුන් ගැන ලියවිලිවල සඳහන් දෙයින් එය ඔප්පු වේ. “ජාතීන් ඉදිරියේ මම ඔබව පිළිගන්නෙමි. ඔබේ නාමයට ප්‍රශංසා ගී ගයන්නෙමි”+ කියාත්, 10  තවත් අවස්ථාවක, “ජනයෙනි, දෙවිගේ සෙනඟ සමඟ ප්‍රීති වන්න”+ කියාත් දෙවි පවසයි. 11  එහි මෙලෙසද සඳහන් වේ. “සියලු ජාතීන්ට අයත් ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න. සියලු ජනයෙනි, ඔහුව පැසසුමට ලක් කරන්න.”+ 12  මීට අමතරව යෙසායා පවසන්නේ මෙයයි. “යෙස්සේගේ පෙළපතින් පැමිණෙන ‘මුල’+ ජාතීන්ව පාලනය කිරීමට නැඟිටින්නේය.+ ජාතීන් බලාපොරොත්තු තබන්නේ ඔහු කෙරෙහිය.”+ 13  එහෙයින් මගේ ආශාව නම් ඔබ ප්‍රීතියෙන් හා සමාදානයෙන් පිරී සිටිනවා දැකීමය. ඒ සඳහා ඔබට බලාපොරොත්තුවක් දෙන දෙවි කෙරෙහි විශ්වාසය තැබීම අවශ්‍යය. එවිට දෙවිගේ බලය ඔබ තුළ ප්‍රබලව ක්‍රියාත්මක වන නිසා ඔබේ බලාපොරොත්තුව ගැන ස්ථිර විශ්වාසයකින් සිටීමට ඔබට පුළුවන.+ 14  මාගේ සහෝදරයෙනි, ඔබ ප්‍රමාණවත් දැනුමක් ලබා ඇති නිසා+ ඔබ සැබවින්ම යහපත් අය* බව මට විශ්වාසයි. එහෙයින් එකිනෙකාට උපදෙස් හා අවවාද ලබා දීමට ඔබට පුළුවන.+ 15  කෙසේවෙතත් ඇතැම් කාරණා ගැන ඔබට ඍජුවම සඳහන් කිරීමට මා සිතුවේ ඔබට සිහිගැන්වීමක් ලෙසය.+ මා එසේ කරන්නේ දෙවි මට පෙන්වා ඇති මහත් කරුණාව නිසාය.+ 16  මට ඒ කරුණාව ලැබුණේ ක්‍රිස්තුස් යේසුස්ගේ ප්‍රසිද්ධ සේවකයෙකු ලෙස සියලු ජාතීන්ට+ දෙවිගේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ ශුද්ධ කාර්යය ඉටු කිරීම සඳහාය.+ එසේ කිරීමෙන් ඒ ජාතීන් දෙවිගේ බලයෙන් පවිත්‍ර කරනු ලැබූ+ ඔහුට පිළිගත හැකි+ ත්‍යාගයක්+ බවට පත් විය හැකියි. 17  එහෙයින් දෙවි වෙනුවෙන් මා ඉටු කර ඇති සේවය දෙස බලන විට+ ක්‍රිස්තුස් යේසුස්ගේ අනුගාමිකයෙකු ලෙස සතුටු වීමට මට පුළුවන.+ 18  මන්ද ක්‍රිස්තුස් මාව යොදාගෙන වෙනත් ජාතීන්ට දෙවිට කීකරු වීම සඳහා+ උපකාර කළේය.+ මෙහිදී මා කතා කරන්නේ එම කාර්යයට සම්බන්ධ දේවල් ගැන පමණි. ඊට මා පැවසූ දේවල්ද+ මා කළ දේවල්ද, 19  මා සිදු කළ බලවත් ක්‍රියා හා ආශ්චර්යයන්ද+ දෙවිගේ බලයේ ප්‍රබල ක්‍රියාකාරිත්වයද දායක විය. එහෙයින් යෙරුසලමේ සිට ඉලිරිකම දක්වා මුළු ප්‍රදේශය පුරාම+ ක්‍රිස්තුස් ගැන ශුභාරංචිය අත් නෑර දේශනා කරන්න මට හැකියාව ලැබිණ.+ 20  වෙනත් කෙනෙකු දැමූ අත්තිවාරමක් මත ගොඩනැඟීම මගේ අරමුණ නොවූ නිසා+ ක්‍රිස්තුස් ගැන මේ වන විටත් අසා ඇති ප්‍රදේශවල මා ශුභාරංචිය දේශනා කළේ නැත. 21  ඒ ගැන ලියවිලිවල මෙසේ සඳහන් වී තිබේ. “ඔහු ගැන කිසිදු ආරංචියක් නොලැබූ අය ඔහුව දකින්නෝය. අසා නැති අය අසා තේරුම්ගන්නෝය.”+ 22  අවස්ථා කිහිපයකදීම මට ඔබව හමු වීමට ආශාව තිබුණත් එසේ කිරීමට නොහැකි වුණේ ඒ නිසාය.+ 23  නමුත් දැන් මා සේවය කරන ප්‍රදේශවල ශුභාරංචිය දේශනා නොකළ පළාතක් නැති තරම්ය. මා අවුරුදු කිහිපයක් පුරා ඔබව හමු වීමට මහත් ආශාවකින් සිටින නිසා,+ 24  මා අදහස් කරන්නේ ස්පාඤ්ඤය බලා යන ගමනේදී+ ඇවිත් ඔබව හමු වීමටය. මා ඔබ සමඟ සතුටින් යම් කාලයක් ගත කර නැවත යන විට ඔබ යම් දුරක් මාව ඇරලවීමට+ පැමිණෙයි කියා බලාපොරොත්තු වෙමි. 25  නමුත් මා දැන් සූදානමින් සිටින්නේ යෙරුසලම බලා පිටත් වී එහි සිටින ශුද්ධ තැනැත්තන්ට යම් උපකාර ලබා දීමටය.+ 26  ඇත්තෙන්ම මැසිඩෝනියාවේ සහ ඇකේයා පළාතේ+ සිටින අය තමන් සතු දේවලින් යමක් සම්මාදම් ලෙස+ යෙරුසලමෙහි ශුද්ධ තැනැත්තන් අතරෙහි සිටින අගහිඟකම් ඇති අයට ලබා දීමට කැමති වූහ. 27  ඔවුන් එසේ කළේ මහත් සතුටකිනි. ඇත්තෙන්ම වෙනත් ජාතීන්ට අයත් ඔවුන් යෙරුසලමේ සිටින අයට යම් ආකාරයකින් ණයගැතිය. මන්ද වෙනත් ජාතීන්ට දෙවිගෙන් ආශීර්වාද ලැබුණේ ඔවුන් නිසාය.+ ඒ නිසා ඔවුන්ගේ දෛනික අවශ්‍යතා සඳහා යමක් ලබා දීම ඇත්තෙන්ම සුදුසුය.+ 28  එහෙයින් මා අදහස් කරන්නේ ඔවුන් වෙනුවෙන් සම්මාදම් ලෙස ලැබුණු දේ+ ඔවුන්ට ලබා දී මා ඉටු කළ යුතු කාර්යය නිම කිරීමටය. ඉන්පසු ඇවිත් ඔබව හමු වීමට මට පුළුවන. ඔබව හමු වී පසුව මම ස්පාඤ්ඤය බලා යන්නෙමි.+ 29  මගේ පැමිණීම තුළින් ක්‍රිස්තුස්ගෙන් බොහෝ ආශීර්වාද ලැබීමට ඔබට හැකි වන බව මට නිසැකයි.+ 30  සහෝදරයෙනි, අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ඔබ තුළ තිබෙන විශ්වාසයද දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඔබ තුළ ඇති වී තිබෙන ප්‍රේමයද+ මතක් කරමින් මා ඔබෙන් ඉල්ලා සිටින්නේ මා වෙනුවෙන් යාච්ඤා කිරීමට වෑයම් කරන ලෙසය.+ මන්ද මමද එසේ යාච්ඤා කරමින් සිටිමි. 31  දෙවිට සේවය නොකරන යුදයෙහි සිටින අයගෙන් මාව බේරාගැනීම සඳහාත්+ මා කරන උපකාර සතුටින් භාරගැනීමට+ යෙරුසලමෙහි+ සිටින ශුද්ධ තැනැත්තන්ව පොලඹවන්න කියාත් යාච්ඤා කරන්න. 32  ඔබව හමු වීම දෙවිගේ කැමැත්ත නම් එම ප්‍රීතිය අද්දැකීමට මට අවස්ථාවක් ලැබේ. ඒ අවස්ථාව ඔබ සැමටත් මටත් ඉමහත් දිරිගැන්වීමක්+ හා ප්‍රීතියක් වෙනවාට සැකයක් නැත. 33  සමාදානය ලබා දෙන දෙවි ඔබ සියලුදෙනා සමඟ වේවා!+ ආමෙන්.

පාදසටහන්

එනම්, යහපත්කමින් පිරී සිටින අය.