ලූක් 1:1-80

1  ගරු තෙයොෆිලස්තුමනි, අප කිසි සැකයක් නැතුව විශ්වාස කරන දේවල් පිළිබඳව නිවැරදි තොරතුරු එකතු කර ඒවා වාර්තා කිරීමට+ බොහෝදෙනෙක් උත්සාහ කර ඇත.  දෙවිගේ ශුභාරංචියට සම්බන්ධ සෑම දෙයක්ම මුල සිටම+ සියැසින් දුටු අයත්+ එය ප්‍රකාශ කළ අයත්+ ඒ පිළිබඳ තොරතුරු අපට දැන්වූහ.  ගරු+ තෙයොෆිලස්තුමනි,+ මුල සිටම සෑම තොරතුරක්ම නිවැරදි බව සනාථ කරගත් මමද එම තොරතුරු තර්කානුකූලව පෙළගස්වා+ ඔබ වෙනුවෙන් ලේඛනගත කිරීමට තීරණය කළෙමි.  මෙම වාර්තාව ප්‍රයෝජනයට ගෙන ඔබට උගන්වන ලද සෑම දෙයක්ම නිවැරදි බව සහතික කරගැනීමට ඔබට හැකි වනු ඇත.+  හෙරොද් යුදයේ රජුව සිටි කාලයේදී,+ අබියා නම් පූජක කාණ්ඩයට+ අයත් සෙකරියා නම් පූජකයෙක් සිටියේය. ඔහුගේ බිරිඳගේ නම එලිසබෙත්ය. ඇය ආරොන්ගේ පෙළපතින් පැවතෙන්නෙකි.+  ඔවුන් යෙහෝවා දෙවිගේ+ සියලු නීතිරීතිවලට+ අනුකූලව+ නිර්දෝෂ ජීවිතයක් ගත කිරීමට පියවර ගත් යුවළකි.+ ඔවුහු දෙවි ඉදිරියෙහි ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කළෝය.+  නමුත් මහලු වියට පා තබා සිටි ඔවුන්ට දරුවන් සිටියේ නැත. එයට හේතුව නම් එලිසබෙත් වඳ වී සිටීමයි.+  මේ අතරතුරේදී දෙවි ඉදිරියෙහි සේවය කිරීමේ වාරය සෙකරියා අයත්ව සිටි පූජක කාණ්ඩයට+ ලැබිණ.  පූජකයන් චාරිත්‍රානුකූලව කළ සේවයට එකඟව යෙහෝවා දෙවිගේ ශුද්ධස්ථානයට+ ඇතුල් වී සුවඳ ද්‍රව්‍ය ඔප්පු කිරීමේ වාරය+ ලැබී තිබුණේ සෙකරියාටය. 10  ඔහු සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පැයේදී රැස්ව සිටි සමූහයා යාච්ඤා කරමින් පිටත සිටියෝය.+ 11  එවිට සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පූජාසනයේ දකුණු පසින් යෙහෝවා දෙවිගේ දූතයෙක් සිටගෙන සිටිනවා ඔහු දුටුවේය.+ 12  එම දේවදූතයාව දුටු සෙකරියා කැලඹී, අතිශයින් බියපත් විය.+ 13  එවිට දේවදූතයා ඔහුට මෙසේ කීවේය. “සෙකරියා, බිය නොවන්න. ඔබ කළ කන්නලව්වලට දෙවි සවන් දී තිබෙනවා.+ ඒ නිසා ඔබේ බිරිඳ වන එලිසබෙත්ට පුතෙක් ලැබෙයි. ඔහුට යොහන් යන නම තබන්න.+ 14  ඔහුගේ උපත ඔබේ ජීවිතයට මහත් සතුටක් ගෙන දෙයි. බොහෝදෙනෙක්ද ඔහුගේ උපත ගැන ප්‍රීති වෙයි.+ 15  යෙහෝවා දෙවි ඉදිරියෙහි ඔහු උතුම් කෙනෙක් වෙයි.+ නමුත් ඔහුට වයින්වත් මත්පැන්වත් බොන්න තහනම්.+ මව්කුසේ සිටම දෙවිගේ බලය ඔහු තුළ ක්‍රියාත්මක වෙයි.+ 16  ඔහු කරන සේවය නිසා ඊශ්‍රායෙල්වරුන්ගෙන් බොහෝදෙනෙක් ඔවුන්ගේ දෙවි වන යෙහෝවා වෙතට නැවත හැරෙයි.+ 17  ඔහුගේ පැවරුම වන්නේ යෙහෝවා දෙවි වෙනුවෙන්+ සෙනඟක් සූදානම් කිරීමයි.+ ඒ සඳහා ඔහු එලියා මෙන්+ මහත් උද්‍යෝගයකින් සේවය කරන අතර එලියාට ලැබුණු බලයද ඔහුට ලැබෙයි. ප්‍රතිඵලයක් ලෙස පියවරුන්ගේ සිත්+ දරුවන්ගේ සිත් හා සමාන වෙයි. අකීකරු අය ප්‍රඥාවෙන් කටයුතු කරන ධර්මිෂ්ඨයන් බවටත් හැරෙයි.” 18  සෙකරියා, දේවදූතයාට මෙසේ කීවේය. “කොහොමද මම ඒ වගේ දෙයක් විශ්වාස කරන්නේ? මමයි, මගේ බිරිඳයි දැන් හොඳටම මහලුයි.”+ 19  එවිට එම දේවදූතයා ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය. “මගේ නම ගාබ්‍රියෙල්.+ මම සිටින්නේ දෙවි ඉදිරියෙහිමයි. දෙවි මාව ඔබ වෙතට එව්වේ මේ ශුභාරංචිය ඔබට ප්‍රකාශ කරන්නයි.+ 20  නමුත් ඔබ මගේ වචන විශ්වාස නොකළ නිසා මා පැවසූ දේවල් ඉටු වන දවස දක්වා ඔබට කතා කරන්න බැරි වෙයි.+ මා පැවසූ මේ දේවල් නියමිත කාලයේදී අනිවාර්යයෙන්ම ඉටු වෙයි.” 21  මේ අතර සෙකරියා එන තෙක් බලා සිටි ජනයා+ ඔහු ශුද්ධස්ථානයේ සිට පැමිණෙන්න මෙතරම් ප්‍රමාද වන්නේ ඇයි කියා කල්පනා කරමින් සිටියෝය. 22  ඔහු පිටතට පැමිණි විට ජනයා සමඟ කතා කරන්න ඔහුට නොහැකි විය. ඔහු ශුද්ධස්ථානයේ සිටින විට යම් ආශ්චර්යවත් දර්ශනයක් දැක ඇති බව+ ඔවුන් තේරුම්ගත්තේ එවිටය. ඔහුට කතා කරන්න බැරි වූ නිසා ඔහු ඔවුන්ට සංඥා මාර්ගයෙන් යම් දේවල් දන්වමින් සිටියේය. 23  ඔහු තමාට නියම වී තිබූ සේවා කාලය නිම වන තෙක්+ එහි රැඳී සිට, පසුව තම නිවසට හැරී ගියේය. 24  ටික දවසකට පසු ඔහුගේ බිරිඳ වූ එලිසබෙත් ගැබ්ගත් අතර+ ඇය මාස පහක් ගත වන තුරුම නිවසේ රැඳී සිටියාය. ඇය මෙසේ පැවසුවාය. 25  “යෙහෝවා දෙවි මොන තරම් කරුණාවන්ත දෙවි කෙනෙක්ද! මෙතෙක් කල් මිනිසුන්ගෙන් මට විඳින්න සිදු වුණු නින්දාව දෙවි දැන් නැති කළා.”+ 26  ඇය ගැබ්ගෙන මාස හයක් ගත වූ පසු දෙවි ගාබ්‍රියෙල් දේවදූතයාව+ ගලීලයේ පිහිටි නාසරෙත් නම් නුවරට යැව්වේය. 27  ඔහු ගියේ මරියා+ නම් කන්‍යාව+ හමු වීමටය. ඇය ඒ වන විට දාවිත්ගේ පෙළපතට අයත් යෝසෙප් නම් තැනැත්තෙකු හා විවාහ ගිවිසගෙන සිටියාය. 28  ඔහු ඇය ඉදිරියට ගොස්, “ඔබට සුබ දවසක්!+ ඔබ බොහෝ සෙයින් ආශීර්වාද ලැබූ තැනැත්තියක්. මන්ද යෙහෝවා දෙවි+ ඔබ සමඟයි”+ කියා පැවසුවේය. 29  ඒ දේවල් ඇසූ ඇය බොහෝ සෙයින් කැලඹී, ඔහු තමාට මෙලෙස කතා කරන්නේ ඇයි කියා කල්පනා කළාය. 30  එහෙයින් දේවදූතයා ඇයට මෙසේ කීවේය. “මරියා, බිය නොවන්න. ඔබ දෙවිගේ ආශීර්වාදය ලැබූ තැනැත්තියක්.+ 31  දැන් මා කියන දේට හොඳින් සවන් දෙන්න. ඔබේ කුසේ දරුවෙක් පිළිසිඳගනියි. ඔබට බිහි වෙන්නේ පුතෙක්.+ ඔහුට යේසුස් යන නම තබන්න.+ 32  ඔහු ඉතා ශ්‍රේෂ්ඨ කෙනෙක් වන අතර+ ඔහුව හඳුන්වනු ලබන්නේ මහෝත්තම දෙවිගේ පුත්‍රයා ලෙසයි.+ යෙහෝවා දෙවි ඔහුට ඔහුගේ පියා වූ දාවිත්ගේ+ සිංහාසනය+ ලබා දෙයි. 33  යාකොබ්ගේ පෙළපත කෙරෙහි සදහටම රජකම් කරන ඔහුගේ රාජ්‍යයට අවසානයක් නැහැ.”+ 34  එවිට මරියා දේවදූතයාගෙන් මෙසේ ඇසුවාය. “මම තවමත් පුරුෂයෙක් සමඟ එකට ජීවත් වී නැහැ.+ කොහොමද මට මේ වගේ දෙයක් වෙන්නේ?” 35  දේවදූතයා ඇයට මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබට මහෝත්තම දෙවිගේ මහත් බලය ලැබෙයි.+ දරුවා පිළිසිඳගන්නේ ඒ බලය ඔබ තුළ ක්‍රියාත්මක වන නිසයි. ඉපදෙන දරුවා ශුද්ධ කෙනෙක්.+ ඔහු දෙවිගේ පුත්‍රයායි.+ 36  ඔබ තවත් දෙයකුත් දැනගත යුතුයි. ඔබේ නෑදෑයෙක් වන එලිසබෙත් වඳ ස්ත්‍රියක් කියා හැමෝම පැවසුවා නොවේද?+ නමුත් දැන් ඇය මහලුව සිටියත් ඇගේ කුසේ පුතෙක් පිළිසිඳගෙන තිබෙනවා. දරුවා පිළිසිඳගෙන දැනට මාස හයයි. 37  ඇත්තෙන්ම දෙවිට කළ නොහැකි දෙයක් නැහැ.”+ 38  එවිට මරියා මෙසේ පැවසුවාය. “මම යෙහෝවා දෙවිගේ දාසියක් පමණයි.+ නමුත් ඔබ පැවසූ දේ එලෙසම සිදු වේවා!” ඉන් අනතුරුව දේවදූතයා පිටත්ව ගියේය. 39  මරියා ඉක්මනින් සූදානම් වී කඳුකරයේ පිහිටි යූදාහි එක්තරා නුවරක් බලා ගමන් කළාය. 40  එම නුවරට ගිය ඇය සෙකරියාගේ නිවසට ගොස් එලිසබෙත්ව හමු වී ඇයට සුබ පැතුවාය. 41  මරියා එලිසබෙත්ට සුබ පැතූ විගස ඇගේ කුසේ සිටි දරුවා දඟලන්න පටන්ගත්තේය. ඒ අවස්ථාවේදී එලිසබෙත් තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වී, 42  ඇය මහත් හඬින් මෙසේ කීවාය. “සියලුම ස්ත්‍රීන් අතරින් ඔබට දෙවිගේ ආශීර්වාද ලැබේවා! ඔබේ කුසේ සිටින දරුවාටත් ආශීර්වාද ලැබේවා!+ 43  මගේ ස්වාමීන්ගේ+ මව අද මා ළඟට ආවා. මට ලැබුණේ මොන තරම් වටිනා වරප්‍රසාදයක්ද! 44  මේ බලන්න! ඔබ මට සුබ පැතූ ගමන්ම, මගේ කුසේ සිටින දරුවා මහත් ප්‍රීතියෙන් දඟලන්න පටන්ගත්තා.+ 45  යෙහෝවා දෙවි පැවසූ දේවල්+ අනිවාර්යයෙන්ම ඉටු වෙනවා.+ ඔබ ඒවා විශ්වාස කළ නිසා ඔබත් සන්තෝෂවත් කෙනෙක්.” 46  එවිට මරියා මෙසේ කීවාය. “මම කැමතියි යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+ 47  මගේ ගැලවුම්කරු වන දෙවි නිසා+ මගේ හිතට දැනෙන ප්‍රීතියට සීමාවක් නැති තරම්.+ 48  මන්ද ඔහුගේ දාසිය වන මම පහත් කෙනෙක් වුණත්+ ඔහු මාව සුළු කළේ නැහැ. ඒ නිසා අද දවසේ පටන් බිහි වන හැම පරම්පරාවක්ම මහත් ආශීර්වාදයක් ලැබූ තැනැත්තියක් හැටියට මාව සලකයි.+ 49  බලවත් තැනැත්තාණන් මා වෙනුවෙන් කළේ මොන තරම් ශ්‍රේෂ්ඨ දෙයක්ද! ඔහුගේ නාමය ශුද්ධයි.+ 50  ඔහුට ගරුබිය දක්වන අයට ඔහු සදහටම දයාව පෙන්වයි.+ 51  ඔහුගේ මහත් බලයෙන් ඔහු පුදුමසහගත ක්‍රියා කර+ නපුරු චේතනාවකින් ක්‍රියා කරන උඩඟු අයව විසුරුවාහැර තිබෙනවා.+ 52  ඔහු බලවතුන්ව සිංහාසනවලින් ඉවත් කර+ යටහත් අයව උසස් කර තිබෙනවා.+ 53  දෙවි කුසගින්නෙන් සිටි අයව හොඳ දේවලින් තෘප්තිමත් කර+ ධනවතුන්ව හිස් අතින් යවා තිබෙනවා.+ 54  ඔහු තම සේවකයා වන ඊශ්‍රායෙල්+ ජාතියව අමතක කර නැහැ. ඔවුන්ට පිහිට වූ ඔහු, එසේ කර තිබෙන්නේ ඔවුන්ට දයාව පෙන්වීමටයි.+ 55  ඒ නිසා ඔහු අපේ මුතුන්මිත්තන්ට පොරොන්දු වූ විදිහට ආබ්‍රහම්ටත් ඔහුගේ පෙළපතටත් ඔහු සදහටම දයාව පෙන්වා තිබෙනවා.”+ 56  එලිසබෙත් සමඟ මාස තුනක් පමණ නැවතී සිටි මරියා, ඉන්පසු තම නිවස බලා ගියාය. 57  නියමිත කාලය පැමිණි විට එලිසබෙත්ට පුතෙක් උපන්නේය. 58  යෙහෝවා දෙවි ඇයට මහත් දයාවක් පෙන්වූ බව+ ඇගේ අසල්වැසියන්ට සහ නෑදෑයන්ට ආරංචි වූ විට ඔවුහු ඇවිත් ඇය සමඟ ප්‍රීති වූහ.+ 59  දරුවා ඉපදීමෙන් පසු අටවෙනි දවසේදී දරුවාගේ චර්මච්ඡේදනය කිරීමේ චාරිත්‍රය සිදු කිරීම සඳහා ඔවුහු පැමිණියෝය.+ ඔවුන් සූදානම් වූයේ දරුවාට තම පියාගේ නම එනම්, සෙකරියා යන නම තැබීමටයි. 60  නමුත් දරුවාගේ මව, “එහෙම කරන්න එපා! ඔහුට යොහන් යන නම තබන්න” කියා පැවසුවාය. 61  ඔවුහු එය අසා, “ඔබේ නෑදෑයන් අතරවත් ඒ වගේ නමක් තිබෙන කෙනෙක් නැහැනේ” කියා ඇයට කීවෝය. 62  එහෙයින් ඔවුහු දරුවාට දිය යුතු නම කුමක්ද කියා පියාගෙන් දැනගැනීමට සංඥා යොදාගෙන ඔහුගෙන් විමසූහ. 63  ඔහු ලෑල්ලක් ඉල්ලාගෙන, “දරුවාගේ නම යොහන්”+ කියා එහි ලීවේය. සියලුදෙනාම එය දැක මවිතයට පත් වූහ. 64  ඒ මොහොතේම ඔහුට කතා කිරීමේ හැකියාව ලැබුණු අතර+ ඔහු දෙවිට ප්‍රශංසා කරන්න පටන්ගත්තේය. 65  යුදයේ මුළු කඳුකර පළාත පුරාම මේ පිළිබඳව ආරංචිය පතළ විය. ඔවුන් අවට ප්‍රදේශයේ විසූ සියලුදෙනා තුළ බියක් ඇති විය. 66  ඒ ආරංචිය ඇසූ සියලුදෙනාම ඒ සියල්ල සිතට ගෙන,+ “මේ කුඩා දරුවා මොන වගේ කෙනෙක් වේවිද” කියා පැවසුවෝය. ඇත්තෙන්ම යෙහෝවා දෙවිගේ බලය+ ඒ දරුවාට ලැබිණ. 67  ඒ අවස්ථාවේදී දරුවාගේ පියා වූ සෙකරියා තුළ දෙවිගේ බලය ප්‍රබලව ක්‍රියාත්මක වූ නිසා+ ඔහු මෙම අනාවැකිය පැවසුවේය.+ 68  “ඊශ්‍රායෙල්හි දෙවි+ වන යෙහෝවාට ප්‍රශංසා වේවා! මන්ද ඔහු තම ජනයාට අනුකම්පා කර+ ඔවුන්ට මිදීම සලසා දී තිබෙනවා.+ 69  ඔහු තම සේවකයා වූ දාවිත්ගේ පෙළපතින්, අප වෙනුවෙන් ශ්‍රේෂ්ඨ ගැලවුම්කරුවෙක්* පත් කර තිබෙනවා.+ 70  ඔහු ඒ දේ කරන්නේ පුරාණයේ සිට තම ශුද්ධ අනාගතවක්තෘවරුන් ප්‍රකාශ කළ දේවල් ඉටු කරමිනුයි.+ 71  අපේ සතුරන්ගේ සහ අපට වෛර කරන සියල්ලන්ගේ අතින් අප ගැලවෙන ආකාරය ගැන+ ඔහු පැවසුවා. 72  ඔහු එසේ කළේ අපගේ මුතුන්මිත්තන්ව අමතක නොකර ඔවුන් වෙනුවෙන් දයාව පෙන්වා ඇති බවත් තම ශුද්ධ ගිවිසුම අමතක කර නැති බවත් පෙන්වීමටයි.+ 73  එම ගිවිසුම නම් ඔහු අපේ පියා වූ ආබ්‍රහම්ට දිවුරා කළ පොරොන්දුවයි.+ 74  අපේ සතුරන් අතින් අපව මුදාගත් පසු+ ඒ පොරොන්දුවට එකඟව කිසිම බියක් සැකක් නැතුව ඔහුට පරිශුද්ධ සේවයක් පිරිනැමීමේ වරප්‍රසාදය ඔහු අපට ලබා දෙයි.+ 75  එවිට අපට දිවි ඇති තුරා ඔහු ඉදිරියේ ධර්මිෂ්ඨව හා විශ්වාසවන්තකමින් ඒ සේවය ඉටු කරන්න හැකි වෙයි.+ 76  මගේ කුඩා දරුව! ඔබව හඳුන්වන්නේ මහෝත්තම දෙවිගේ අනාගතවක්තෘවරයෙක් ලෙසයි. මන්ද යෙහෝවා දෙවි වෙනුවෙන් මාර්ගය කලින්ම සූදානම් කරන්නේ ඔබයි.+ 77  එසේ කරමින් ගැලවීම ලැබිය හැක්කේ පව්වලට සමාව ලබාගැනීමෙන් බව ඔබ ඔහුගේ ජනයාට අවබෝධ කර දෙයි.+ 78  ඔවුන්ට සමාව ලබාගත හැක්කේ අපේ දෙවිගේ අතිමහත් දයානුකම්පාව නිසයි. දෙවිගෙන් ලැබෙන මේ දයානුකම්පාව+ අලුත් දිනක් උදා වන විට හිරුගෙන් නැඟෙන ආලෝකය වගෙයි.+ 79  ප්‍රතිඵලයක් ලෙස අන්ධකාරයෙහි හා මරණ සෙවණෙහි සිටින අය එළිය දකියි.+ එලෙසම අපටත් සමාදානය නමැති මඟ දිගේ ඉදිරියටම ගමන් කිරීමට අවස්ථාව උදා වෙයි.” 80  කුඩා දරුවා ශාරීරිකව මෙන්ම මානසිකව පිරිපුන් මිනිසෙකු ලෙස හැදී වැඩුණේය.+ ඊශ්‍රායෙල් දේශයේ වැසියන් වෙනුවෙන් තම සේවය ප්‍රසිද්ධියේ ආරම්භ කරන තෙක් ඔහු සිටියේ කිසි මිනිසෙකු නොසිටි පාළු තැන්වලය.

පාදසටහන්

මූ.අ., “ගැලවීම ලබා දෙන අඟක්.”