හෙබ්‍රෙව් 6:1-20

6  එහෙයින් අප ක්‍රිස්තුස්+ පිළිබඳ මූලික+ ඉගැන්වීම් පසු කර ඉදිරියට පැමිණ සිටින නිසා අවබෝධයෙන් ක්‍රියා කරන අය වීමට දැඩි උත්සාහයක් දරමු.+ නැවතත් අත්තිවාරමක් දැමීම සඳහා අවශ්‍යතාවක් නැත.+ එහෙයින් කලින් කළ නිෂ්ඵල ක්‍රියා ගැන පසුතැවිලි වීම,+ දෙවි කෙරෙහි විශ්වාසය පෙන්වීම,+  විවිධ බව්තීස්මයන්,+ අත් තැබීම,+ මිය ගිය අයගේ නැවත නැඟිටීම,+ අවසාන විනිශ්චය+ යනාදි දේ ගැන නැවත ඉගෙනගත යුතු නැත.  එසේනම් දෙවිගේ උපකාරයෙන් අවබෝධයෙන් ක්‍රියා කරන අය වීමට අපි දැඩි උත්සාහයක් දරමු.+  දෙවිගෙන් ආලෝකයද+ දෙවිගෙන්* ලැබෙන දීමනාවද+ දෙවිගේ බලයද,+  දෙවි පවසන අනර්ඝ දේද මතු පැමිණෙන කාලයේ* ආශීර්වාදද+ රස බලා ඇති අය,+  සත්‍ය මාර්ගයෙන් ඉවත්ව ගියොත්+ පසුතැවිලි වීම සඳහා ඔවුන්ව පියවි සිහියට ගත නොහැක.+ මන්ද ඔවුන් කරන දේ දෙවිගේ පුත්‍රයාව නැවත වධකණුවක ඇණ ගසා ඔහුව ප්‍රසිද්ධියේ නින්දාවට පත් කිරීම හා සමානය.+  උදාහරණයකට වැසි වැස නිතරම තෙත් වන පොළොව ගැන සිතන්න. එලෙස වැසි ඇද හැළීම නිසා වගා කටයුතු කරන අයට හොඳ පලදාවක් නෙළාගත හැකි වේ.+ එහෙයින් එයට දෙවිගේ ආශීර්වාද ලැබෙන බව පැවසිය හැක.  නමුත් එයින් කටු පඳුරු හා වල් පැළෑටි හටගනී නම් එය ප්‍රතික්ෂේප කරනු ලබන අතර වැඩි කල් නොගොස් වගා කටයුතු කරන තැනැත්තාගේ ශාපයට එය ලක් වී+ අවසානයේදී පුලුස්සනු ලැබේ.+  නමුත් ප්‍රේමණීය සහෝදරයෙනි, එවැනි දේවල් ඔබට කීමට සිදු වුණත් ඔබ වඩාත් හොඳ තත්වයක සිටින බව අපට නිසැකය. ඒ තුළින් ගැලවීම ලබාගැනීමට ඔබට හැකියාවක් තිබෙන බව අපට පෙනේ. 10  මන්ද ඔබ කළ සේවය හා දෙවිගේ නාමය කෙරෙහි ඔබ පෙන්වූ ප්‍රේමය අමතක කිරීමට තරම් දෙවි අධර්මිෂ්ඨ කෙනෙක් නොවේ.+ ඔබ ශුද්ධ තැනැත්තන් වෙනුවෙන් සේවය කර තිබෙනවා+ පමණක් නොව එසේ දිගටම සේවය කරමින් සිටින ආකාරයද පැහැදිලිව පෙනේ. 11  ඔබේ උනන්දුව දිගටම පවත්වාගන්න. එසේ කිරීමෙන් ඔබේ බලාපොරොත්තුව+ සැබවින්ම ඉටු වන බවට අවසානය දක්වාම+ පූර්ණ නිසැකකමින් සිටීමට+ ඔබට පුළුවන. 12  ඒ නිසා කම්මැළි නොවන්න.+ විශ්වාසයකින් හා ඉවසීමකින් කටයුතු කර පොරොන්දු වූ දේවල ඉටු වීම අද්දකින අයව+ අනුකරණය කරන්න.+ 13  දෙවි ආබ්‍රහම්ට පොරොන්දුව දුන් විට+ තමාට වඩා උතුම් කෙනෙකු නැති නිසා තමාගේම නාමයෙන් දිවුරා,+ 14  මෙසේ පැවසුවේය. “මම ඔබට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරන්නෙමි. මම ඔබෙන් පැවතෙන්නන්ව බොහෝ සෙයින් වැඩි කරන්නෙමි.”+ 15  ආබ්‍රහම් ඉවසීමෙන් කටයුතු කළ පසු ඔහුට ඒ පොරොන්දුව ලැබිණ.+ 16  මිනිස්සු සාමාන්‍යයෙන් පොරොන්දු දෙන්නේ තමන්ට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙකුගේ නාමයෙන් දිවුරමිනි.+ ඔවුන් කළ දිවුරුම පොරොන්දුව ඉටු වන බව පිළිගැනීමට සහතිකයක් වන නිසා ඒ ගැන මතු වන ඕනෑම සැකයක් දුරු වේ.+ 17  එලෙසම දෙවි තමන් කළ පොරොන්දුව දිවුරුමක් මගින් සහතික කළේය. එසේ කළේ තම පොරොන්දුවට උරුමකම් කියන අයට+ තම අරමුණ වෙනස් නොවන බව+ වඩාත් පැහැදිලිව තහවුරු කිරීම සඳහාය. 18  ඒ අනුව දෙවි කිසි ලෙසකින්වත් බොරු නොකියන බව+ ඔප්පු කරන එම ක්‍රම දෙක* මාර්ගයෙන් දෙවිගේ රක්ෂස්ථානයට පලා ඇවිත් සිටින අපට මහත් දිරිගැන්වීමක් ලබාගත හැකි අතර අප ඉදිරියේ තබා ඇති බලාපොරොත්තුව තදින් අල්ලාගැනීමටද අපට හැකි වේ.+ 19  අපට තිබෙන ඒ බලාපොරොත්තුව+ අපගේ ජීවිතය නමැති නැවට නැංගුරමක් හා සමානය. එය ස්ථිරය. ඒ ගැන කිසි සැකයක් තබාගත යුතු නැත. ඒ බලාපොරොත්තුව මාර්ගයෙන් අපට තිරය පසු කරගෙන යා හැක.+ 20  අපට කලින් අප උදෙසා කෙනෙක් ඒ තිරය පසු කර ඇතුල් වී ඇත.+ ඒ මෙල්කිසදෙක් මෙන් සදහටම උත්තම පූජකයෙක් වී සිටින යේසුස්ය.+

පාදසටහන්

මූ.අ., “ස්වර්ගයෙන්.”
හෝ, “සමාජ ක්‍රමවල.” ග්‍රීක බසින්, එඔනොස්.
එනම්, දෙවි දුන් පොරොන්දුව සහ කළ දිවුරුම.