Skip to content

පටුනට යන්න

මේ ඔබේ පවුලටයි | සැමියාට සහ බිරිඳට

ප්‍රශ්න විසඳගන්න උදව්වක්

ප්‍රශ්න විසඳගන්න උදව්වක්

ප්‍රශ්නය

ඔයා බිරිඳ එක්ක හරි සැමියා එක්ක හරි ප්‍රශ්නයක් ගැන කතා කරන්න පටන්ගත්තාම ඒ සාකච්ඡාව ඉවර වෙන්නේ දෙන්නාගේම හිත් රිද්දගෙනද? එහෙනම් දුක් වෙන්න එපා. ඒකට විසඳුමක් තියෙනවා. ඒ ගැන දැනගන්න කලින් ගැහැනු අය සහ පිරිමි අය අදහස් හුවමාරු කරන විදිහ ගැන අපි බලමු. *

දැනගන්න ඕන දේ

සාමාන්‍යයෙන් ගැහැනු අය කැමති ප්‍රශ්නෙට විසඳුම දැනගන්න කලින් ඒ ගැන කතා කරන්න. සමහර වෙලාවට එයාලට ඕනෙ ඒ ප්‍රශ්නේ ගැන කතා කරන්න විතරයි. ඒක තමයි ප්‍රශ්නෙට විසඳුම.

“හිතේ තියෙන දේ මහත්තයාට කිව්වාම එයා මාව තේරුම්ගන්නවා කියලා දැනෙද්දී ඒක ලොකු සහනයක්. විනාඩි දෙක තුනක් යද්දී මට දැනෙන්නේ ඒ ප්‍රශ්නේ විසඳුණා වගෙයි.”—සීර්පා. *

“ප්‍රශ්නේ ගැන මහත්තයාට කියනකල් මට ඒක අමතක කරන්න බෑ. හැබැයි ඒක කිව්වාට පස්සේ මං ඒ ගැන වද වෙන්නෑ.”—ඉජින්.

“ඒක රහස් පරීක්ෂක වැඩක් වගේ. එයා එක්ක කතා කරන ගමන්ම ප්‍රශ්නෙත් විසඳගන්නවා.”—ලර්ඩෙස්.

පිරිමි අය ආස ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න. ප්‍රශ්නෙකට විසඳුමක් හොයාගත්තට පස්සේ තමයි සැමියෙක්ගේ හිතට සහනයක් දැනෙන්නේ. එයා නිතරම බලන්නේ ප්‍රශ්නෙට ඉක්මනින්ම විසඳුමක් දීලා බිරිඳට සහනයක් වෙන්න. ඒත් බිරිඳ ඒ දේ පිළිගන්න අකමැති වුණොත් සැමියා අපහසුතාවයට පත් වෙනවා. කර්ක් ඒ ගැන කිව්වේ මෙහෙමයි. “ඔයාට විසඳුමක් ඕනෙ නැත්නම් ප්‍රශ්නයක් ගැන කතා කරන්නේ ඇයි කියලා මට හිතාගන්න බැහැ.”

එක පොතක මෙහෙම කියනවා. “උපදෙස් දෙන්න කලින් ප්‍රශ්නේ තේරුම්ගන්න එක වැදගත්. විසඳුමක් දෙන්න කලින් බිරිඳගේ ප්‍රශ්නේ තේරුම්ගත්තා කියලත් ඒ ගැන ඔයා ඇත්තටම සැලකිලිමත් කියලත් එයාට දැනෙන්න සලස්වන්න. හුඟක් වෙලාවට එයාට ඕනෙ එයා කියන දේ අහගෙන ඉන්න එක මිසක් විසඳුමක් නෙමෙයි.”—The Seven Principles for Making Marriage Work.

කරන්න පුළුවන් දේ

ඔයා සැමියෙක් නම්: බිරිඳ කියන දේවල් අහන් ඉඳලා එයාව තේරුම්ගන්න පුරුදු වෙන්න. ටෝමාස් මෙහෙම කිව්වා. “සමහර වෙලාවට බිරිඳගේ ප්‍රශ්නේ අහන් හිටියට පස්සේ මට හිතෙනවා ඒකෙන් මුකුත් වුණේ නැහැනෙ කියලා. ඒත් මං දන්නවා එයාට වටින්නේ එයා කියන දේ මං අහන් ඉන්න එකයි කියලා.” ස්ටීවන් මෙහෙම කිව්වා. “බාධා කරන්නැතුව බිරිඳට ඇහුම්කන් දෙන එක තමයි හොඳම දේ. එහෙම කරද්දී එයාගේ හිතට සහනයක් දැනෙනවා කියලා එයා මට කියලා තියෙනවා.”

මෙහෙම කරලා බලන්න: බිරිඳ ප්‍රශ්නයක් ගැන කියද්දී ඒ වෙලාවෙම විසඳුමක් දෙන්න එපා. එයාගේ ඇස් දිහා බලන්න. එකඟ වෙන්න පුළුවන් තැන්වලදී එකඟ වෙන්න. එයා කියන දෙයින් ඔයා තේරුම්ගත්ත දේ කෙටියෙන් එයාට කියන්න. එතකොට එයාට දැනෙයි ඔයා ප්‍රශ්නේ තේරුම්ගත්තා කියලා. චාල්ස් මෙහෙම කියනවා. “සමහර වෙලාවට මගේ බිරිඳට ඕනෙ එයාව තේරුම් අරන් මං එයාගේ උදව්වට ඉන්නවා කියලා දැනෙන්න සලස්වන එක විතරයි.”—බයිබල් ප්‍රතිපත්තිය: යාකොබ් 1:19.

ඔයා බිරිඳක් නම්: ප්‍රශ්නයක් ගැන කියද්දී ඔයා බලාපොරොත්තු වෙන දේ සැමියාට කියන්න. එලනි ඒ ගැන මෙහෙම කියනවා. “අපේ හිතේ තියෙන දේ එයාලා තේරුම්ගනියි කියලා අපි හිතනවා. ඒත් සමහර වෙලාවට අපි ඒ ගැන කියන්න ඕනේ.” මේ වගේ දෙයක් කිව්වොත් හොඳයි කියලා ඉනෙස් කිව්වා. “මට ප්‍රශ්නයක් තියෙනවා. මං කැමතියි ඔයා ඒක අහන් ඉන්නවට. විසඳුමක් ඕනෙ නැහැ. මට හැඟෙන විදිහ තේරුම්ගත්තොත් හොඳටම ඇති.”

මෙහෙම කරලා බලන්න: ප්‍රශ්නේ කියලා ඉවර වෙන්නත් කලින් විසඳුමක් දුන්නොත් එයා ඔයා ගැන සැලකිලිමත් නැහැ කියලා හිතන්න එපා. එයා උත්සාහ කරනවා ඇත්තේ ඔයාට උදව් කරන්න. එස්තර් මෙහෙම කියනවා. “කේන්ති ගන්නවා වෙනුවට එයා මං ගැන සැලකිලිමත් කියලත් මං කියන දේ අහන් ඉන්න වගේම මට උදව් කරන්න කොච්චර කැමතිද කියලත් තේරුම්ගන්න මං උත්සාහ කරනවා.”—බයිබල් ප්‍රතිපත්තිය: රෝම 12:10.

දෙන්නාටම: හුඟක් වෙලාවට අපි පෙලඹෙන්නේ අනිත් අය අපිට සලකනවට අපි කැමති විදිහට ඒ අයටත් සලකන්න. ඒත් ප්‍රශ්නයක් සාර්ථකව විසඳගන්න නම් බිරිඳ හරි සැමියා හරි කැමති එයාට කොයි විදිහට සලකනවටද කියලා තේරුම්ගන්න ඕනේ. (1 කොරින්ති 10:24) මිගෙල් මෙහෙම කියනවා. “බිරිඳ කතා කරද්දී උනන්දුවෙන් අහන් ඉන්න. සැමියා විසඳුමක් දෙද්දී ඒකට ඇහුම්කන් දෙන්න. දෙන්නම එහෙම කරද්දී ඒක හුඟක් ප්‍රයෝජනවත් වෙයි.”—බයිබල් ප්‍රතිපත්තිය: 1 පේතෘස් 3:8.

^ 4 ඡේ. මේ ලිපියේ කතා කරන ගතිලක්ෂණ හැම සැමියෙකුටම, හැම බිරිඳකටම අදාළ වෙන එකක් නැහැ. හැබැයි තමන්ගේ බිරිඳව හරි සැමියාව හරි හොඳින් තේරුම් අරන් එයාත් එක්ක හොඳින් අදහස් හුවමාරු කරන්න මේ ලිපියේ තියෙන ප්‍රතිපත්ති ප්‍රයෝජනවත් වෙයි.

^ 7 ඡේ. නම් වෙනස් කර ඇත.