Skip to content

පටුනට යන්න

යීස්ට් සෛලයේ න්‍යෂ්ටිය හොඳට සංවිධානය වෙලා තියෙනවා. DNA තියෙන්නේ ඒක ඇතුළේ. න්‍යෂ්ටියේ තියෙන ඇහැට පේන්නේ නැති මැෂින් වගේ දේවලින් තමයි පදාර්ථ කොටස්වලට කඩන එක, රසායනික ද්‍රව්‍ය ආහාර බවට පත් කරන එක වගේ සෛලයේ පැවැත්මට අත්‍යවශ්‍ය කාර්යයන් කරන්නේ.

ජීවය ගැන හිතන්න

ජීවය ගැන හිතන්න

ජීවීන් වර්ධනය වෙන විදිහ, එහෙ මෙහෙ යන විදිහ, බෝ වෙන විදිහ අපි අවට පරිසරයෙන් ඕන තරම් දකින්න පුළුවන්. ඒ දේවල් අපේ නිවහනේ තියෙන ලස්සන තවත් වැඩි කරනවා. ජීවීන් ගැන කලින් දැනගෙන හිටපු නැති හුඟක් දේවල් දැන් මිනිස්සු හොයාගෙන තියෙනවා. ජීවීන් දිහා බලද්දී ජීවය ඇති වුණ විදිහ ගැන කියන්න පුළුවන් මොනවාද? ඒ ගැන දැන් අපි බලමු.

ජීවය නිර්මාණය කරපු කෙනෙක් ඉන්න ඕනේ. ජීවය හැදිලා තියෙන්නේ පුංචි පුංචි සෛල එකතු වෙලා. ඒවා හරියට පුංචි කර්මාන්ත ශාලා වගේ. ජීවය පවත්වාගෙන යන්නත් වර්ගයා බෝ කරන්නත් මේ සෛලවලින් හරිම සංකීර්ණ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. අපි අවට තියෙන දේවල්වලින් ඒක තේරුම්ගන්න පුළුවන්. උදාහරණෙකට හිතන්න පාන් හදන්න ගන්න යීස්ට් ගැන. යීස්ට් කියන්නේ ඒක සෛලීය ජීවියෙක්. මිනිස් සෛලයක් එක්ක බලද්දී යීස්ට් සෛලයක් හරිම සරලයි වගෙයි පේන්නේ. හැබැයි ඒක හරිම සංකීර්ණයි. යීස්ට් සෛලයේ න්‍යෂ්ටිය හොඳට සංවිධානය වෙලා තියෙනවා. ඒකේ තමයි DNA තියෙන්නේ. න්‍යෂ්ටිය ඇතුළේ අන්වීක්ෂයකින් විතරක් දකින්න පුළුවන් “මැෂින්” වගේ දේවල් තියෙනවා. ඒ මැෂින්වලින් තමයි පදාර්ථ කොටස්වලට කඩන එක, රසායනික ද්‍රව්‍ය ආහාර බවට පත් කරන එක වගේ සෛලයේ පැවැත්මට අත්‍යවශ්‍ය කාර්යයන් කරන්නේ. යීස්ට් සෛලයකට ආහාර ලැබෙන්නේ නැති වුණාම ඒක අක්‍රිය වෙනවා. ඒක හරියට යීස්ට් සෛලය නිදාගන්නවා වගේ. ඒ නිසා යීස්ට් සෑහෙන කාලයක් තියාගන්න පුළුවන්. හැබැයි ආයෙත් පාවිච්චියට ගද්දී ඒවා ක්‍රියාශීලී වෙනවා.

දශක ගාණක් තිස්සේ විද්‍යාඥයන් මිනිස් සෛල ගැන හොඳින් තේරුම්ගන්න යීස්ට් සෛල ගැන අධ්‍යයනය කරනවා. ඒත් තාමත් එයාලට තේරුම්ගන්න බැරි හුඟක් දේවල් තියෙනවා. ස්වීඩනයේ තාක්ෂණික විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක් වන රොස් කින් මෙහෙම කියනවා. “යීස්ට් සෛලයක් වැඩ කරන විදිහ හරියටම තේරුම්ගන්න සෑහෙන අත්හදා බැලීම් කරන්න ඕනේ. ඒත් ඒකටවත් ඇති තරම් ජීව විද්‍යාඥයන් අපිට නැහැ.”

ඔයා මොකද හිතන්නේ? එච්චර පුංචි, සංකීර්ණ යීස්ට් සෛලයක් ඉබේ ඇති වුණා කියලා හිතන්න පුළුවන්ද? නැත්නම් ඒක නිර්මාණය කරන්න කෙනෙක් ඉන්න ඕනෙද?

ජීවයක් ඇති වෙන්න ජීවයක් ඕනෙමයි. DNA හැදිලා තියෙන්නේ නියුක්ලියෝටයිඩ කියන අණුවලින්. හැම මිනිස් සෛලයකම නියුක්ලියෝටයිඩ බිලියන 3.2ක් තියෙනවා. මේ නියුක්ලියෝටයිඩ හැදිලා තියෙන්නේ නිශ්චිත රටාවකට. ඒවායින් තමයි, නිපදවන්න ඕන එන්සයිම සහ ප්‍රෝටීන ගැන සෛලයකට දැනුම් දෙන්නේ.

විද්‍යාඥයන් ගණන් බලලා තියෙන විදිහට නියුක්ලියෝටයිඩ අණුවක් ඉබේ ඇති වෙන්න තියෙන සම්භාවිතාව 1යි බිංදු 150ක් ලිව්වාම හැදෙන ගාණෙන් 1ක්. (1/10150) ඒ වගේ දෙයක් කොහොමටවත් වෙන්න බැහැ.

අජීවි දේකින් ජීවි දෙයක් හදන්න මේ වෙන කල් කිසිම විද්‍යාඥයෙක්ට පුළුවන් වෙලා නැහැ.

මිනිස් ජීවිතය හරිම සුවිශේෂියි. වෙන කිසිම ජීවියෙක්ට නැති විශේෂ හැකියාවන් මිනිසුන්ට තියෙනවා. ඒ නිසා ජීවිතය සතුටින් ගෙවන්න මිනිසුන්ට පුළුවන්. මිනිස්සු නිර්මාණශීලියි. ඒ වගේම අනිත් අයත් එක්ක කතාබහ කරලා හොඳ බැඳීම් ඇති කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි විවිධ රස සුවඳ විඳින්න, ලස්සන දර්ශන බලලා ඒවා අගය කරන්න, සංගීතය වගේ දේවල් රස විඳින්න මිනිසුන්ට හැකියාව තියෙනවා. අනාගතය සැලසුම් කරන්නත් ජීවිතේ අරමුණ මොකක්ද කියලා හොයලා බලන්නත් මිනිසුන්ට පුළුවන්.

ඔයා හිතන්නේ මොකක්ද? ඒ හැකියාවන් මිනිසුන්ට ලැබුණේ නිකම්ම ජීවත් වෙලා වර්ගයා බෝ කරන්නද? නැත්නම් ඒ හැකියාවන්වලින් පේන්නේ ජීවිතය ආදරණීය නිර්මාතෘ කෙනෙක්ගෙන් ලැබුණ වටිනා තෑග්ගක් කියලාද?