Skip to content

පටුනට යන්න

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

අතීතයේදී නැවකින් ගමනක් යන්න ඕනෙ නම් මොකද කළේ?

පාවුල්ගේ කාලේදී මඟීන් වෙනුවෙන්ම වෙන් වුණ නැව් තිබුණේ නැහැ. කෙනෙකුට නැවකින් යම් තැනකට යන්න ඕනෙ නම් එයා මුලින්ම කරන්න ඕනෙ බඩු ප්‍රවාහණය කරන නැවක් එයා යන්න අදහස් කරන පැත්තට යනවාද කියලා අනිත් අයගෙන් අහලා තොරතුරු දැනගන්න එකයි. ඒ වගේම ඒ නැව මඟීන් අරන් යන්න කැමති වෙයිද කියලත් දැනගන්න ඕනේ. (ක්‍රියා 21:2, 3) ඒ කෙනාට යන්න අවශ්‍ය තැනටම ඒ නැව ගියේ නැතත් ගමන අතරතුරේදී නැව නවත්තන වෙනත් වරායකින් බැහැලා එයා යන තැනට යන වෙන නැවකට නැඟලා එයාට අවශ්‍ය තැනට යන්න පුළුවන්කම තිබුණා.—ක්‍රියා 27:1-6.

ඒ කාලේ අවුරුද්දේ යම් කාලවල විතරයි නැව් යාත්‍රා කළේ. ඒ වගේම ඒ ගමන්වලට නිශ්චිත කාලසටහනක් තිබුණෙත් නැහැ. අයහපත් කාලගුණයක් තියෙන අවස්ථාවල විතරක් නෙමෙයි නාවිකයන්ගේ මිථ්‍යා විශ්වාසයන් නිසාත් නැව් ගමන් කල් දැම්මා. උදාහරණෙකට රුවල් ගැටගහලා තියෙන කඹවල ඉඳන් කාක්කෙක් කෑගැහුවොත් එහෙම නැත්නම් වෙරළේ තිබිලා නැවක සුන්බුන් දැක්කොත් එයාලා ඒක සලකන්නේ අසුබ ලකුණක් විදිහට. හුළං හොඳට හමද්දී එයාලා ඒකෙන් ප්‍රයෝජන අරන් නැව දියත් කරනවා. මඟියෙක් එයාට යන්න ඕනෙ පැත්තට නැවක් යනවා කියලා දැනගත්තාම එයාගේ ගමන් මලුත් අරන් ඒ නැව තියෙන වරායට යනවා. ඊටපස්සේ ඒ නැව පිටත් වෙනවා කියලා දැනුම් දෙන කල් එයා වරායට වෙලා බලාගෙන ඉන්නවා.

ඉතිහාසඥයෙක් වන ලයනල් කැසන් මෙහෙම කියනවා. “රෝම නගරයේ තිබුණ සේවාවක් නිසා කෙනෙක්ට එයාට යන්න ඕනෙ පැත්තට ගමන් කරන නැවක් හොයාගන්න එක පහසු වුණා. රෝම වරාය පිහිටලා තිබුණේ ටයිබර් ගඟ මුහුදට වැටෙන තැනයි. ඊට කිට්ටුව තිබුණ ඔස්ටියා කියන නගරයේ චතුරස්‍රයේ හුඟක් කාර්යාල තිබුණා. ඒවාවල වැඩිපුර හිටියේ විවිධ වරායන් නියෝජනය කරපු පුද්ගලයන්. උදාහරණෙකට නාර්බොන් වරාය, කාතේජ් වරාය වගේ වරායන් නියෝජනය කරපු අය ඒ කාර්යාලවල හිටියා. කාට හරි නැවකින් ගමනක් යන්න ඕනෙ නම් එයාට කරන්න තිබුණේ එයා යන්න අදහස් කරන පැත්තට අයිති වරායන් නියෝජනය කරපු කාර්යාලවලට ගිහින් විස්තර දැනගන්න එකයි.”

නැවෙන් ගමන්බිමන් යද්දී කාලේ ඉතුරු කරගන්න පුළුවන් වුණත් අනතුරුදායක පැතිත් තිබුණා. පාවුල් ගිය මිෂනාරි ගමන්වලදී කීප වතාවක්ම එයාගේ නැව මුහුදුබත් වුණා.—2 කොරි. 11:25.