Skip to content

පටුනට යන්න

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක් | දාවිත්

“මේ යුද්දේ යෙහෝවා දෙවිගේ”

“මේ යුද්දේ යෙහෝවා දෙවිගේ”

භයෙන් බිරාන්ත වූ ඊශ්‍රායෙල් සෙබළුන් දාවිත්ගේ ඇඟේ හැපෙමින් ආපස්සට දුවද්දී පිටුපසට තල්ලු නොවී ඉන්න දාවිත් වෙර දරන්න ඇති. ඇයි සෙබළුන් පසුබසින්නේ? ඒකට හේතුව සතුරු හමුදාවේ ඉන්න සද්දන්තයෙක්! සමහරවිට ඒ වගේ යෝධයෙකුව දාවිත් මීට කලින් දැකලා තියෙන්නත් නැතුව ඇති.

ඒ තමයි ගොලියත්! ඒ වගේ යෝධයෙක් ඉදිරියේ තමන් කුරුමිට්ටන් කියලා ඊශ්‍රායෙල් සෙබළුන්ට හැඟෙන්න ඇති. ගොලියත් කියන්නේ තරුණ වයසේ ඉඳලා යුද්දෙට හපන් රණශූරයෙක්. ඔහුගේ බර හැඩිදැඩි පුරුෂයන් දෙන්නෙකුගේ බරටත් වඩා වැඩි ඇති. ඔහු ඉන්නෙත් ආයුධ සන්නද්ධවයි. මුළු සටන්බිමම දෙදරුම් කන හඬකින් සාවුල්ටත් ඔහුගේ සෙබළුන්ටත් අභියෝග කරන ඔහු තමන් සමඟ සටනට කෙනෙකුව එවන්න කියා කියනවා. ඒ සටනේ ප්‍රතිඵල අනුව ජය පරාජය තීරණය කරමු කියලා ඔහු කියනවා.—1 සාමුවෙල් 17:4-10.

මේ වෙද්දී ඊශ්‍රායෙල් හමුදාවත් පිලිස්තිය හමුදාවත් සටන්බිමේ කඳවුරු බැඳගෙන මාසයකට වඩා වැඩි කාලයක් ගත වෙලා. ඒ කාලය මුළුල්ලේම ගොලියත් උදේ හවා ඊශ්‍රායෙල් හමුදාවට නින්දා කරනවා. දාවිත්ගේ අයියලා තුන්දෙනෙක්ම සේවය කරන්නෙත් ඒ හමුදාවේ. එච්චර කාලයක් තිස්සේ මුළු හමුදාවත්, සාවුල් රජත් කිසිම පියවරක් නොගෙන බයෙන් තැතිගෙන ඉන්න එක මොන තරම් ලැජ්ජාවක්ද! බොරු දෙවිවරුන්ට නමස්කාර කරන ගොලියත් ඇත්තටම නින්දා කරන්නේ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි යෙහෝවාට කියලයි දාවිත්ට හැඟුණේ. ඒත් මේ සටනේදී යොවුන් වියේ ඉන්න දාවිත්ට කරන්න පුළුවන් දෙයක් තියෙනවාද? දාවිත්ගේ විශ්වාසය අද ඉන්න අපිට ආදර්ශයක් වෙන්නේ කොහොමද?—1 සාමුවෙල් 17:11-14.

“ඔහුව අභිෂේක කරන්න”

අපි දැන් සටන්බිමේ ඉඳලා ටික කාලයක් ආපස්සට යමු. එක හැන්දෑවක බෙත්ලෙහෙමට යාබද කඳු බෑවුමක දාවිත් පියාගේ බැටළුවන්ව බලාගෙන ඉන්නවා. රතට හුරු සමක් සහ දීප්තිමත් නෙත් යුගළක් උරුම වෙලා තිබුණු දාවිත් කඩවසම් යෞවනයෙක්. හුදෙකලා වෙලාවලදී ඔහු පාළුව මකාගත්තේ වීණාව වයලා. යෙහෝවා දෙවිගේ පුදුමාකාර නිර්මාණ දිහා බලලා ඒවා රස වින්ද දාවිත් වීණාව වයමින් දෙවිට ප්‍රශංසා කළා. කාලයත් සමඟ වීණාව වයන්න දාවිත්ට තිබුණු හැකියාව තවත් ප්‍රගුණ වුණා. නමුත් ඒ හැන්දෑවේ දාවිත් එළිමහනේ බැටළුවන් බලාගෙන ඉද්දී කෙනෙක් ඇවිත් දාවිත්ට කිව්වා පියා ඉක්මනින්ම ගෙදර එන්න කිව්වා කියලා.—1 සාමුවෙල් 16:12.

ගෙදරට එන දාවිත් දකින්නේ පියා, අනාගතවක්තෘ සාමුවෙල් එක්ක කතා කරමින් ඉන්න ආකාරයයි. ඊශ්‍රායෙල් දේශයේ ඊළඟ රජු හැටියට තමන් තෝරාගෙන තියෙන්නේ යෙස්සේගේ පුතෙකුවයි කියලා යෙහෝවා දෙවියන් සාමුවෙල්ට දැනුම් දීලා තිබුණා. නමුත් දාවිත්ගේ වැඩිමහල් සොහොයුරන් හත්දෙනාගෙන් එක් කෙනෙකුවවත් දෙවියන් ඒ සඳහා තෝරගෙන තිබුණේ නැහැ. ඒ වෙලාවේ, බැටළුවන් බලාගනිමින් හිටපු දාවිත් එතැනට ආවාම දෙවියන් සාමුවෙල්ට මෙහෙම කිව්වා. “ඔහුව අභිෂේක කරන්න. මා තෝරාගත් තැනැත්තා ඔහුයි.” දාවිත්ගේ වැඩිමහල් සොහොයුරන් ඉදිරියේම සාමුවෙල් දාවිත්ගේ හිසට තෙල් වත් කරලා ඔහුව අභිෂේක කළා. “ඒ මොහොතේ සිට යෙහෝවා දෙවිගේ බලය දාවිත් තුළ ක්‍රියාත්මක වීමට පටන්ගත්තා.” එදා ඉඳන් දාවිත්ගේ ජීවිතය යොමු වුණේ වෙනස්ම මඟකටයි.—1 සාමුවෙල් 16:1, 5-11, 13.

රුදුරු වනසතුන් එක්ක සටන් කරලා දිනන්න පුළුවන් වුණේ යෙහෝවා දෙවියන් නිසයි කියලා දාවිත් පිළිගත්තා

ඊළඟ රජ තමන් නිසා ඒ පදවිය ඉක්මනින්ම ලබාගන්න දාවිත්ට ඕන වුණාද? නැහැ. ඒ වෙනුවට සුදුසු කාලය ආවාම තමන්ට සුදුසු වගකීම භාර දෙන්න දාවිත් යෙහෝවා දෙවිට ඉඩහැරියා. ඒ වෙන කල් දාවිත් එඬේරෙක් විදිහට තමන්ගේ සුපුරුදු රාජකාරිය කළා. ඒකත් ධෛර්යය සහ කැපවීම අවශ්‍ය වුණු වැඩක්. අවස්ථා දෙකකදී සිංහයෙක් සහ වලහෙක් බැටළුවන්ව ඩැහැගෙන යන්න ආවා. ඒ වෙලාවලදී නිකම්ම උන්ව එළවලා දානවා වෙනුවට දාවිත් උන් එක්ක මුහුණට මුහුණලා සටන් කරලා උන්ව මරා දැම්මා.—1 සාමුවෙල් 17:34-36; යෙසායා 31:4.

මේ වකවානුවේදී සාවුල් රජට යෙහෝවා දෙවිගේ අනුමැතිය අහිමි වෙලයි තිබුණේ. දක්ෂ සටන්කරුවෙක් වන සාවුල්ට ඒ තත්වය උදා වුණේ ඔහු දෙවියන්ට අකීකරු වුණ නිසයි. දෙවියන්ගේ බලය ලැබුණේ නැති නිසා සාවුල්ගේ සිතේ වෛරය, ක්‍රෝධය, සැකය වගේ සිතුවිලි ඇති වුණා. සාවුල්ගේ සිත අවුල් වෙලා තිබුණු අවස්ථාවල ඔහුට සහනයක් ලැබුණේ සංගීතයෙන්. දක්ෂ සංගීතඥයෙක් හා සටන්කරුවෙක් වන දාවිත් ගැන සාවුල් රජට දැනගන්න ලැබුණා. ඒ නිසා සංගීත ශිල්පියෙක් විදිහටත් සාවුල්ගේ ආයුධ දරන්නා විදිහටත් සේවය කරන්න දාවිත්ව රජවාසලට ගෙන්වාගත්තා.—1 සාමුවෙල් 15:26-29; 16:14-23.

යොවුන් වයසේ ඉන්න අයට දාවිත්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? දාවිත් නිතරම වැඩ කළේ දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට එකඟවයි. ඒ වගේම විවේකීව හිටපු වෙලාවලදී ඔහු කළේ යෙහෝවා දෙවිට තවත් ළං වෙන්න උදව් වුණු දේවල්. ඊට අමතරව ඉදිරියේදී ප්‍රයෝජනවත් විය හැකි කුසලතාවන් දාවිත් ටිකෙන් ටික ප්‍රගුණ කරගත්ත නිසා ඔහුට පහසුවෙන්ම රැකියාවක් සොයාගන්නත් පුළුවන් වුණා. ඇත්තටම දාවිත් අපි හැමෝටම මොන තරම් කදිම ආදර්ශයක්ද!—දේශනාකාරයා 12:1.

“කිසි කෙනෙකුට භය වෙන්න හේතුවක් නැහැ”

රජවාසලේ සේවය කළත් නිතරම වගේ දාවිත් පියාගේ බැටළුවන්ව බලාගන්නත් ආවා. එහෙම ආව සමහර අවස්ථාවලදී ඔහු ටික දවසක් ගෙදර නතර වුණා. ඒ විදිහට ආව වෙලාවක තමයි හමුදාවේ සේවය කළ තම පුතුන් තුන්දෙනාගේ සුව දුක් විමසන්න යෙස්සේ ආහාර මල්ලක් සමඟින් දාවිත්ව පිටත් කළේ. මේ ලිපියේ මුලින් සඳහන් කළ ආකාරයට ඒලාහ් තැනිතලාවට ළං වූ දාවිත් දැක්කේ ඊශ්‍රායෙල් හමුදාව සහ සතුරු හමුදාව සටනට අවතීර්ණ නොවී දෙපැත්තකට වී සිටින ආකාරයයි.—1 සාමුවෙල් 17:1-3, 15-19.

බොරු දෙවිවරුන් අදහන මිනිසෙකුට බයේ ජීවමාන දෙවි යෙහෝවාගේ හමුදාව පසු බසින එක දාවිත්ට අදහාගන්න බැහැ. ගොලියත්ගේ නින්දා අපහාස කෙළින්ම දෙවියන්ගේ නමට බලපානවා කියලා දාවිත්ට වැටහුණා. ඒ නිසා ගොලියත්ව පරද්දන එක ගැන ඔහු සෙබළුන් එක්ක කතා කරන්න පටන්ගන්නවා. ඒ දේවල් දාවිත්ගේ වැඩිමල් සොහොයුරා වන එලියාබ්ගේ කනට වැටෙන්න වැඩි වේලාවක් ගියේ නැහැ. එකිනෙකා යුධ වදිමින් මරාගන්න විදිහ බලන්න දාවිත් එතැනට ආවා කියලා හිතන එලියාබ් දාවිත්ට බැණවදිනවා. දාවිත් ඔහුට පිළිතුරු දෙන්නේ මෙහෙමයි. “මොකක්ද මම කළ වරද? මම ප්‍රශ්නයක් ඇහුවා විතරයි.” එලියාබ්ගේ වචනවලින් පසු නොබැස්ස දාවිත් ගොලියත්ව පරද්දන විදිහ ගැන ආයෙ ආයෙත් කතා කරනවා. වැඩි වෙලාවක් යන්න කලින් මේ ගැන සාවුල්ටත් දැනගන්න ලැබෙන නිසා දැන් දාවිත්ව සාවුල් රජ ඉදිරියට කැඳවනවා.—1 සාමුවෙල් 17:23-31.

රජ ඉදිරියට ගිය දාවිත්, “මගේ ස්වාමීනි, කිසි කෙනෙකුට භය වෙන්න හේතුවක් නැහැ” කියලා විශ්වාසයකින් පවසනවා. ඒත් මේ වෙද්දී සාවුල් ඇතුළු මුළු හමුදාවම ඉන්නේ බයෙන්. සමහරවිට ඒ හැමෝම තමන්ව ගොලියත් එක්ක සසඳලා ගොලියත්ගේ පපුව ළඟටවත් අපි උස නැහැනේ කියලා හිතන්න ඇති. ආයුධ සන්නද්ධව ඉන්න ඒ යෝධයාට තමන්ව පරද්දන එක සුළු දෙයක් කියලා ඔවුන් හිතන්න ඇති. ඒත් දාවිත් ගොලියත්ව දැක්කේ ඒ විදිහට නෙවෙයි. ඒ නිසා ගොලියත් එක්ක සටන් කරන්න ඔහු ඉදිරිපත් වෙනවා.—1 සාමුවෙල් 17:32.

ඒ වෙද්දී සටනට දක්ෂ කෙනෙක් විදිහට දාවිත් ප්‍රසිද්ධ වෙලා හිටියත් සාවුල් ඔහුගෙන් මෙහෙම අහනවා. “ඔබ කොහොමද ඒ පිලිස්තියා සමඟ සටන් කරන්නේ? ඔහු තරුණ වයසේ පටන් සටනට දක්ෂ කෙනෙක්. ඉතින් ඔබ වගේ පොඩි කොල්ලෙක් කොහොමද ඔහු සමඟ සටන් කරන්නේ?” සාවුල් අදහස් කළේ දාවිත් පුංචි දරුවෙක් කියලා නෙවෙයි. ඒත් හමුදාවට බැඳෙන්න තරම් වයසක දාවිත් හිටියේ නැහැ. සමහරවිට දාවිත් අවුරුදු විස්සකට කිට්ටු වයසක පසු වෙන්න ඇති. ඔහුට තියෙන්න ඇත්තෙත් ළාබාල පෙනුමක්.—1 සාමුවෙල් 16:18; 17:33.

මේ සටන ජය ගන්න පුළුවන් කියලා ඒත්තුගන්වන්න තමන් සිංහයෙකුවත් වලහෙකුවත් මරපු විදිහ ගැන දාවිත් සාවුල්ට කියනවා. ඔහු පුරසාරම් දොඩනවා නෙවෙයි. ඒ හැම දෙයක්ම තමන්ට කරන්න පුළුවන් වුණේ දෙවියන්ගේ උදව්වෙන් කියලා දාවිත් දන්නවා. ඒ නිසා “සිංහයාගෙනුත් වලහාගෙනුත් මාව බේරාගත් යෙහෝවා දෙවි මේ පිලිස්තියාගේ අතිනුත් මාව බේරාගනියි” කියලා ඔහු කියනවා. දාවිත් ගැන පැහැදීමක් ඇති වුණු නිසා “එහෙනම් ඔබ දැන් යන්න. යෙහෝවා දෙවි ඔබට උදව් කරයි” කියලා සාවුල් කියනවා.—1 සාමුවෙල් 17:37.

දාවිත් වගේ දෙවියන් ගැන ශක්තිමත් විශ්වාසයක් ඇතුව ඉන්න ඔබත් කැමතිද? දාවිත්ට තිබුණු විශ්වාසය නිකම්ම හිතේ තිබුණු හැඟීමක් නෙවෙයි. යෙහෝවා දෙවියන් තමන්ව ආරක්ෂා කරපු විදිහ දාවිත් අද්දැක්කා. දෙවියන් දෙන පොරොන්දු ඒ විදිහටම ඉටු කරනවා කියලත් ඔහු දැනගෙන හිටියා. යෙහෝවා දෙවියන් ගැන අපේ හිතෙත් ලොකු විශ්වාසයක් ඇති කරගන්න නම් අපි බයිබලය කියවලා දෙවියන් ගැන හොඳ අවබෝධයක් ලබාගන්න ඕනේ. ඒ වගේම දෙවියන් කියලා තියෙන විදිහට ජීවත් වෙන්නත් ඕනේ. එතකොට හොඳ ප්‍රතිඵල අද්දකිද්දී අපේ විශ්වාසය තවත් වැඩි වෙයි.—හෙබ්‍රෙව් 11:1.

‘අද දෙවියන් මගේ අතට නුඹව හසු කර දෙනවා’

සටනට යවන්න කලින් සාවුල් රජ තමන්ගේ යුධ ඇඳුම් දාවිත්ට අන්දවන්න උත්සාහ කරනවා. ගොලියත්ගේ යුධ ඇඳුම් වගේ සාවුල්ගේ ඒවත් හදලා තියෙන්නේ තඹවලින්. දාවිත් ඒ යුධ ඇඳුම් ඇඳගෙන ඇවිදින්න උත්සාහ කරනවා. ඒත් පුරුදු නැති නිසා ඒ ඇඳුම දාවිත්ට හරි අපහසුයි. ඒ විතරක් නෙමෙයි සාවුල් රජ ඊශ්‍රායෙල් දේශයේ හිටපු උසම කෙනා නිසා එයාගේ ඇඳුම අඳින එක දාවිත්ට කොහොමටත් අමාරුයි. (1 සාමුවෙල් 9:2) ඒ නිසා නුපුරුදු යුධ ඇඳුම ගලවා දාන දාවිත් සුපුරුදු එඬේර ඇඳුමෙන් සටනට යන්න සැරසෙනවා.—1 සාමුවෙල් 17:38-40.

දාවිත් ළඟ තියෙන්නේ සැරයටියක්, මල්ලක් සහ ගල්පටියක් විතරයි. ගල්පටියෙන් කොහොමද යෝධයෙක්ව මෙල්ල කරන්නේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි ගල්පටිය කියන්නේ හරිම ප්‍රබල අවියක්. ගලක් රඳවන්න පුළුවන් තරමේ සම් කැබැල්ලක දෙපසින් දිග සම්පටි දෙකක් සම්බන්ධ කරලයි ගල්පටියක් සාදා තිබුණේ. ගල්පටියේ හරි මැද ගලක් රඳවා එය ඉතා වේගයෙන් කරකවා එක් කොනක් අත්හැරිය විට ගල වේගයෙන් විසි වී යනවා. ගල්පටියෙන් නිවැරදිව ඉලක්කයට විදින්න පුළුවන් නිසා එඬේරුන් ඒක ආයුධයක් විදිහටත් භාවිත කළා. සමහර හමුදාවල වෙනම ගල්පටි බළඇණියක් හිටියා.

වතුර හිඳී ගිය නිම්නයට යන දාවිත් ගල්පටියෙන් විදින්න ගල් පහක් අහුලාගන්නවා. ඒ වෙලාවේ දාවිත් දෙවියන්ගේ උපකාරය ඉල්ලලා යාච්ඤා කරන්නත් ඇති. ගොලියත් සමඟ සටනට සූදානම් වෙලා ඉන්න දාවිත් දැන් කෙළින්ම යන්නේ සටන්බිමටයි. ඇත්තෙන්ම ඔහු යනවා නෙවෙයි සටන්බිමට දුවනවා කිව්වොත් නිවැරදියි.

තමන් එක්ක සටනට එන කෙනාව දැක්කාම ගොලියත් මොනවද කළේ? “දාවිත් රතට හුරු සමක් තිබූ කඩවසම් තරුණයෙක්” කියලා දැක්ක ගොලියත් ‘ඔහුට සමච්චල් කරනවා.’ ඒ විතරක් නෙමෙයි “පොල්ලක් අරගෙන නුඹ මගේ ඉස්සරහට එන්නේ මං බල්ලෙක් කියා සිතූ නිසාද” කියලත් ඔහු කෑගසනවා. පෙනෙන විදිහට දාවිත්ගේ අතේ තියෙන සැරයටිය දැක්කත් ඔහුගේ ගල්පටිය ගොලියත් දැක්කේ නැහැ. තමන් අදහන දෙවිවරුන්ගේ නාමයෙන් දාවිත්ට ශාප කරන ගොලියත් දාවිත්ව මරලා කුරුල්ලන්ට සහ වනසතුන්ට කන්න දෙනවා කියලත් තර්ජනය කරනවා.—1 සාමුවෙල් 17:41-44.

ගොලියත්ට දෙන පිළිතුරෙන් දාවිත්ගේ හිතේ යෙහෝවා දෙවියන් ගැන මොන තරම් විශ්වාසයක් තියෙනවාද කියලා පැහැදිලි වෙනවා. යෞවනයෙක් යෝධයෙකුට මේ වචන කියන විදිහ හිතින් මවාගන්න පුළුවන්ද? “නුඹ මා ළඟට එන්නේ කඩුවක්, ලොකු හෙල්ලයක් හා කුඩා හෙල්ලයක් රැගෙනයි. නමුත් මම නුඹ ළඟට එන්නේ නුඹ නින්දා කළ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ නාමයෙන්. ඊශ්‍රායෙල්වරුන්ගේ සේනාවේ දෙවි ඔහුයි.” දෙවියන් ඉදිරියේ ආයුධවලින්වත් සවිශක්තියෙන්වත් වැඩක් නැහැ. ගොලියත් දෙවියන්ට අපහාස කරපු නිසා දෙවියන් ඔහුට විරුද්ධව නැඟී සිටියි කියලා දාවිත් විශ්වාස කළා. ඒ නිසයි දාවිත් මෙහෙම කියන්නේ. “මේ යුද්දේ යෙහෝවා දෙවිගේ.”—1 සාමුවෙල් 17:45-47.

ගොලියත්ගේ උස මහත, ඔහුගේ ආයුධ දාවිත් නොදැක්කා නෙවෙයි. ඒත් ඒ ගැන හිතලා සාවුල් සහ ඊශ්‍රායෙල් සෙබළුන් වගේ දාවිත් බය වුණේ නැහැ. ඒකට හේතුව අඩි නවයහමාරක් (මීටර් 2.9ක්) උස මේ යෝධයාව තමන් එක්ක සසඳනවා වෙනුවට දාවිත් සැසඳුවේ යෙහෝවා දෙවියන් එක්කයි. මිනිසුන්ට සාපේක්ෂව ඔහු මොන තරම් සද්දන්තයෙක් වුණත් යෙහෝවා දෙවියන් ඉදිරියේ ඔහු නිකම්ම නිකම් මිනිසෙක් විතරයි කියලා දාවිත් දැක්කා.

ගොලියත් එක්ක සටන් කරන්න දුවගෙන යන දාවිත් මල්ලට අත දාලා ගලක් අරන් ඒක ගල්පටියට දාලා වේගයෙන් කරකවනවා. ඔහුගේ ඉලක්කය ගොලියත්ගේ හිසයි. අනික් අන්තයෙන් ගොලියත් සහ ඔහුගේ පලිහ දරන්නා දාවිත් ඉන්න පැත්තට එනවා. මිනිසුන්ගේ සිත් බියෙන් සලිත කළ ගොලියත්ගේ අසාමාන්‍ය උස මේ අවස්ථාවේ ඔහුට ලොකු අවාසියක්. මොකද පලිහ දරන්නාට ගොලියත්ගේ හිස වැහෙන තරම් උසට පලිහ අල්ලන්න හැකියාවක් නැහැ.—1 සාමුවෙල් 17:41.

යෙහෝවා දෙවියන් එක්ක සසඳද්දී යෝධයෙක් වුණත් දූවිලි පොදක් හා සමානයි කියලා දාවිත් තේරුම්ගත්තා

දාවිත්ගේ ගල් පටියෙන් ගිලිහෙන ගල වේගයෙන් ඉලක්කය කරා යනවා. හැමෝම හුස්මක් නොගෙන සිදු වන දේ දිහා බලා සිටින ආකාරය ඔබට හිතින් මවාගන්න පුළුවන්ද? නිමේෂයකින් ඒ ගල ගොලියත්ගේ නළලේ තදින් වදිනවා. දැවැන්ත මිනිසා ඒ මොහොතෙම මුණින් අතට බිම වැටෙද්දී පලිහ දරන්නා බයේ දුවන්න ඇති. ගොලියත් ළඟට දිව යන දාවිත් ගොලියත්ගේ කඩුවෙන්ම ඔහුගේ හිස කපා දානවා.—1 සාමුවෙල් 17:48-51.

මොහොතකට පෙර බියෙන් වෙලී සිටි සාවුල් රජු සහ සෙබළුන් දැන් මහත් හඬින් කෑගසමින් පිලිස්තිවරුන් පසුපස ලුහුබඳිමින් පහර දෙන්න පටන්ගන්නවා. ‘යෙහෝවා දෙවි අද නුඹලාව අපේ අතට හසු කර දෙන බවට කිසිම සැකයක් නැහැ’ කියලා දාවිත් ගොලියත්ට කියපු දේ ඒ විදිහටම ඉටු වුණා.—1 සාමුවෙල් 17:47, 52, 53.

දෙවිගේ සේවකයන් එදා වගේ අද යුද්ධවලට හවුල් වෙන්නේ නැහැ. (මතෙව් 26:52) ඒ වුණත් දාවිත්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් වටිනා පාඩම් තියෙනවා. දාවිත් වගේ අපිත් යෙහෝවා දෙවිව ඇත්ත කෙනෙක් විදිහට දකින්න ඕනේ. සමහර වෙලාවලදී අපි මුහුණ දෙන ප්‍රශ්න හරියට දැවැන්ත යෝධයන් වගේ. ඒත් දෙවියන්ගේ අතිමහත් බලය එක්ක බලද්දී ඒ ප්‍රශ්න කිසිත් නැති තරම්. අපිත් දාවිත් වගේ දෙවියන් ගැන ලොකු විශ්වාසයකින් ඉන්නවා නම් මොන ප්‍රශ්න ගැටලු ආවත් අපි බය වෙන්නේ නැහැ. මොකද දෙවියන්ගේ උපකාරයෙන් අපිට ඕනම අභියෝගයක් ජය ගන්න පුළුවන්.