Skip to content

පටුනට යන්න

අපි වයසට ගිහින් මැරෙන්නේ ඇයි?

අපි වයසට ගිහින් මැරෙන්නේ ඇයි?

දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ මැරෙන්න නෙවෙයි. ඔහු මුල් මිනිස් යුවළ වුණු ආදම්ටත් ඒවටත් දුන්නේ කිසිම අඩුවක් නැති පරිපූර්ණ ශරීරයක් සහ මනසක්. හැමදාටම ජීවත් වෙන්න එයාලට අවස්ථාව තිබුණා. යෙහෝවා දෙවියන් ඒදන් උයනේ තිබුණු ගහක් ගැන ආදම්ට කියපු දේකින් ඒක හොඳින්ම පැහැදිලි වෙනවා.

දෙවියන් ආදම්ට කිව්වා ඒ ගහෙන් “කෑ දවසේදීම ඔබ අනිවාර්යයෙන්ම මැරෙන්නෙහිය” කියලා. (උත්පත්ති 2:17) ඔහු ආදම්ව නිර්මාණය කළේ වයසට ගිහින් මැරිලා යන්න නම් ඒ වගේ දෙයක් කියයි කියලා හිතන්න පුළුවන්ද? ආදම් හොඳින්ම දැනගෙන හිටියා ඒ ගහෙන් නොකා හිටියොත් නොමැරී ඉන්න පුළුවන් කියලා.

දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ මැරෙන්න නෙවෙයි

ඒදන් උයනේ ඕන තරම් පලතුරු ගස් තිබුණා. (උත්පත්ති 2:9) ඒ නිසා ඒ ගහෙන් නොකා හිටියා කියලා ආදම්ටයි, ඒවටයි බඩගින්නේ මැරෙන්න වෙන්නේ නැහැ. ඒකෙන් නොකා හිටියා නම් ජීවිතය දීපු දෙවියන්ට තමන් කීකරු වෙනවා කියලා පෙන්වන්න එයාලට අවස්ථාව තිබුණා. ජීවත් වෙන්න ඕන විදිහ කියලා දෙන්න දෙවියන්ට අයිතිය තියෙනවා කියන දේ තමන් පිළිගන්නවා කියලා පෙන්වන්නත් අවස්ථාව තිබුණා.

ආදම් සහ ඒව මැරුණේ ඇයි?

ඒ දෙන්නා මැරුණේ ඇයි කියලා තේරුම්ගන්න නම් අපි ඒදන් උයනේදී වුණු දෙයක් ගැන දැනගන්න ඕනේ. ඒ දේ අපි හැමෝටම බලපානවා. සාතන් හැටියටත් හඳුන්වන යක්ෂයා සර්පයෙක් කතා කරනවා වගේ පේන්න සලස්වලා අමූලික බොරුවක් කිව්වා. බයිබලයේ ඒ ගැන කියන්නේ මෙහෙමයි. “යෙහෝවා දෙවි සෑදූ සියලු සතුන්ට වඩා සර්පයා සුපරීක්ෂාකාරී විය. ඌ ස්ත්‍රියට කතා කර මෙසේ ඇසුවේය. ‘උයනේ ගස්වලින් කන්න එපා කියා දෙවි ඔබට පැවසූ බව ඇත්තද?’”—උත්පත්ති 3:1.

ඒව මෙහෙම උත්තර දුන්නා. “උයනේ ගස්වල පලතුරු කන්න අපිට පුළුවන්. නමුත් උයන මැද තියෙන ගහේ පලතුරු කන්න අපිට බැහැ. ‘ඒ ගහට අත තබන්නවත් එහි පලතුරු කන්නවත් එපා. එසේ කළොත් ඔබ මිය යනවා’ කියා දෙවි අපිට පැවසුවා.” ඊළඟට සාතන් මෙහෙම කිව්වා. “ඔබ කවදාවත් මිය යන්නේ නැහැ. එයින් කන දවසේම ඔබේ ඇස් ඇරෙන බවත් ඔබ හොඳ හා නරක දැනගෙන දෙවිට සමාන වන බවත් දෙවි දන්නේය.” සාතන් නොකියා කිව්වේ යෙහෝවා දෙවියන් ආදම්ටයි, ඒවටයි ලැබෙන්න ඕන හොඳ දෙයක් නොදී ඉන්න බොරුකාරයෙක් කියලයි.—උත්පත්ති 3:2-5.

ඒව හිතුවා සාතන් කිව්වේ ඇත්තක් කියලා. ඒ නිසා එයා ඒ ගහ දිහා බලද්දී ඒකෙන් කන්න එයාට ලොකු ආසාවක් ඇති වුණා. අන්තිමේදී එයා ඒකෙන් ගෙඩියක් කඩන් කෑවා. ඊළඟට වුණු දේ ගැන බයිබලයේ මෙහෙම කියනවා. “පසුව ඇය තම ස්වාමිපුරුෂයාටත් එයින් කන්න දුන්නාය. ඔහුද එය කෑවේය.”—උත්පත්ති 3:6.

දෙවියන් ආදම්ට කිව්වා “එයින් කෑ දවසේදීම ඔබ අනිවාර්යයෙන්ම මැරෙන්නෙහිය” කියලා.—උත්පත්ති 2:17

තමන් හුඟක් ආදරේ කරපු දරුවන් දෙන්නා හිතාමතාම අකීකරු වුණාම යෙහෝවා දෙවියන්ට ඒ ගැන කොයි තරම් දුකක් දැනෙන්න ඇද්ද! ඒ දෙන්නා අකීකරු වුණාම දෙවියන් කළේ මොකක්ද? ඔහු ආදම්ට මෙහෙම කිව්වා. ‘භූමියෙන් ගන්නා ලද ඔබ, භූමියට හැරී යන්නෙහිය. ඔබ දූවිලිය, දූවිල්ලටම හැරී යන්නෙහිය.’ (උත්පත්ති 3:17-19) දෙවියන් කියපු විදිහටම ‘ආදම් මිය ගියා.’ එයා ජීවත් වුණේ “අවුරුදු නවසිය තිහක්” විතරයි. (උත්පත්ති 5:5) ආදම් මැරුණාට පස්සේ ස්වර්ගයට හරි වෙන තැනකට හරි ගිහින් ජීවත් වුණා කියලා බයිබලයේ කියන්නේ නැහැ. යෙහෝවා දෙවියන් දූවිල්ලෙන් ආදම්ව නිර්මාණය කරන්න කලින් එයා කොහේවත් ජීවත් වුණේ නැහැ. මැරුණාට පස්සේ එයා දූවිල්ලටම හැරිලා ගියා. ඒකෙන් අදහස් කළේ එතැනින් එයාගේ ජීවිතය අවසන් වුණා කියන එකයි.

පරිපූර්ණත්වය අපිටත් අහිමි වුණේ ඇයි?

ආදම් සහ ඒව හිතාමතාම අකීකරු වුණු නිසා එයාලට ලැබිලා තිබුණු පරිපූර්ණ ජීවිතය අහිමි වුණා. හැමදාටම ජීවත් වෙන්න තිබුණු අවස්ථාවත් නැති වුණා. දෙවියන්ට අකීකරු වුණු නිසා එයාලට හිමි වුණු පව්කාර ස්වභාවය එයාලගෙන් පැවතෙන හැමෝටමත් උරුම වුණා. ඒ ගැන රෝම 5:12 කියන්නේ මෙහෙමයි. “එක් මිනිසෙකු පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි. සියලුදෙනා තුළම මෙම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණය සියලුදෙනාටම උරුම විය.”

බයිබලයේ මරණය ‘සියලු ජාතීන්ව වෙලාගත්ත අඳුරු වලාවකටත් ඔවුන් වටා එතී තියෙන දැලකටත්’ සමාන කරලා තියෙනවා. (යෙසායා 25:7) ඒ අඳුරු වලාව විෂ වායුවක් වගේ අපි හැමෝවම වෙලාගන්නවා. බයිබලයේ කියන්නේ ‘ආදම් නිසා සියලුදෙනාම මිය යනවා’ කියලයි. (1 කොරින්ති 15:22) ඇත්තෙන්ම මරණයෙන් ගැලවෙන්න අපි කාටවත් බැහැ. බයිබල් ලේඛකයෙක් වුණු පාවුලුත් එක අවස්ථාවකදී මෙහෙම අහලා තියෙනවා. “මරණයට හේතු වන මේ ශරීරයෙන් මාව බේරගන්නේ කවුද?” ඇත්තටම අපිව බේරගන්න පුළුවන් කෙනෙක් ඉන්නවාද?—රෝම 7:24.