“එයාලගේ සැලකිල්ල පුදුම විදිහට අපේ හිතට දැනුණා”
2015 අප්‍රියෙල් 25වෙනි සෙනසුරාදා රික්ටර් මාපකයේ ඒකක 7.8ක් විදිහට සටහන් වුණු දරුණු භූ කම්පනයක් නේපාලයේ සිදු වුණා. ඒකෙන් ජීවිත 8,500කට වඩා අහිමි වුණා. නිවාස ලක්ෂ 5කට වඩා විනාශ වුණා. මේක තමයි නේපාලයේ සිදු වෙලා තියෙන දරුණුම ව්‍යසනය. නේපාලයේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 2,200දෙනාගෙන් වැඩිදෙනෙක් ඉන්නේ භූමිකම්පාව සිදු වුණ ප්‍රදේශයේ. ඒ අතරින් එක සාක්ෂිකරුවෙකුයි එයාගේ දරුවෝ දෙන්නයි මරණයට පත් වීම දුකට හේතුවක්.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් වන මිෂෙල් මෙහෙම කිව්වා. “භූමිකම්පාව දරුණුවටම බලපාපු පැත්තේ සාක්ෂිකරුවන් ඒ වෙද්දී හිටියේ නමස්කාර මධ්‍යස්ථානවල. මොකද ඒක රැස්වීම් පවත්වපු වෙලාවක්. හැබැයි එයාලා ගෙදර ඉන්න වෙලාවක මේක වුණා නම් හුඟදෙනෙක්ගේ ජීවිත නැති වෙන්නත් තිබුණා.” සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථානවල හිටපු අයගේ ජීවිත රැකුණේ ඇයි?
“දැනුයි තේරෙන්නේ එහෙම කරපු එකේ වටිනාකම”
නේපාලයේ අලුත්ම නමස්කාර මධ්‍යස්ථාන හදලා තියෙන්නේ භූමිකම්පාවලට ඔරොත්තු දෙන විදිහට. ඒවා හදන්න හවුල් වන මාන් බහාදූර් මේ දේ කිව්වා. “හුඟක් අය අපෙන් අහනවා පොඩි බිල්ඩිමකට මෙච්චර ලොකු අත්තිවාරමක් දාන්නේ මොකටද කියලා. දැනුයි තේරෙන්නේ එහෙම කරපු එකේ වටිනාකම.” උන්හිටි තැන් අහිමි වුණු අයට තාවකාලික නවාතැන් විදිහට නමස්කාර මධ්‍යස්ථාන පාවිච්චි කරන්න අවසර ලැබුණා. පසුකම්පන ඇති වුණත් ඒවායේ හිටපු සාක්ෂිකරුවන්ට සහ වෙනත් අයට ආරක්ෂාවක් දැනුණා.
අතුරුදහන් වුණු අයව හොයන්න සභාවල වැඩිමහල්ලන් ඉක්මනින්ම පටන්ගත්තා. බබීතා කියන සාක්ෂිකාරිය ඒ ගැන කිව්වේ මෙහෙමයි. “වැඩිමහල්ලන් තමන් ගැනවත් හිතන්නේ නැතුව අනිත් අයට උදව් කෙරුවා. එයාලගේ සැලකිල්ල පුදුම විදිහට අපේ හිතට දැනුණා.” භූමිකම්පාවෙන් පස්සේ දවසෙම නේපාලයේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු බලාගන්න කමිටුවේ සේවය කරන තුන්දෙනා, සභා කිහිපයක වැඩ කටයුතු බලාගන්න සේවකයන් එක්ක එකතු වෙලා විපතට පත් සාක්ෂිකරුවන්ගේ අවශ්‍යතා ගැන සොයා බලන්න ගියා.
භූමිකම්පාවෙන් දවස් 6කට පස්සේ එක්සත් ජනපදයේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ සේවය කරන ගැරී බ්‍රෝ සහ එයාගේ බිරිඳ රූබි නේපාලයට ආවා. කලින් සඳහන් කරපු කමිටුවේ සේවය කරන රූබන් එයාලා ආපු එක ගැන කිව්වේ මෙහෙමයි. “තිබුණු කලබලෙයි පසුකම්පනයි හින්දා සහෝදර බ්‍රෝට එන්න පුළුවන් වෙයිද කියලා අපිට හිතුණා. ඒත් එයාට එන්න ලොකු උවමනාවක් තිබුණා. එයා ආවාම නේපාලයේ සාක්ෂිකරුවන් හුඟක් සතුටු වුණා.”
භූමිකම්පාවෙන්වත් නොබිඳුණු ආදරයක්
නේපාලයේ සාක්ෂිකරුවන්ගේ කාර්යාලයේ වැඩ කරන ෂීලස් මෙහෙම කිව්වා. “දුරකථන පද්ධතිය හදපු ගමන් අපේ තොරතුරු අහලා රෑ දවල් දෙකේම එක දිගට අනිත් රටවල ඉන්න අපේ සහෝදරයන් කෝල් කරා. සමහර අයගේ භාෂාව අපිට තේරුණේ නැතත් ඒ අයගේ ආදරය, අපිට උදව් කරන්න එයාලාගේ හිතේ තිබුණු ආශාව අපිට දැනුණා.”
ඒ පළාත්වල හිටපු සාක්ෂිකරුවන් නමස්කාර මධ්‍යස්ථානවල නතර වෙලා හිටපු අයට දවස් ගාණක් පුරා කෑම ගෙනත් දුන්නා. ඒ වැඩ විධිමත්ව කරන්න සහන සේවා කමිටුවකුත් පත් කළා. බංග්ලාදේශය, ඉන්දියාව සහ ජපානය වගේ රටවලින් එක දිගටම සහනාධාර ලැබුණා. සාක්ෂිකරුවන් 5දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමකුත් යුරෝපයෙන් ඇවිත් නමස්කාර මධ්‍යස්ථානයක ඉඳන් ඉක්මනින්ම ප්‍රතිකාර කළා. එයාලා තුවාලවලට බෙහෙත් දාන එක විතරක් නෙවෙයි, මානසිකව වැටිලා හිටපු අයට සහනයකුත් දුන්නා.
උත්තරා කියන සාක්ෂිකාරිය තමන්ගේ හැඟීම් විස්තර කළේ මෙහෙමයි. “මේ භූමිකම්පාව හරිම භයානක එකක්. ඒත් ඒකෙන් පස්සේ අපේ බැඳීම තවත් වැඩි වුණා.” භූමිකම්පාව කොච්චර බිහිසුණු එකක් වුණත් යෙහෝවා දෙවියන්ගේ සෙනඟ අතරේ තියෙන ආදරය බිඳින්න ඒකට පුළුවන් වුණේ නැහැ. ඒකෙන් වුණේ එයාලා අතරේ තිබුණ ආදරය සහ බැඳීම තවත් වැඩි වුණ එකයි.