Skip to content

පටුනට යන්න

ඔබේ දිවි මඟ කෙතරම් දිගද?

ඔබේ දිවි මඟ කෙතරම් දිගද?

ඔබේ දිවි මඟ කෙතරම් දිගද?

“ළදරුවෙකුගේ මාංසයට වඩා ඔහුගේ මාංසය අලුත් වෙයි. ඔහු තමාගේ යෞවනකමට නැවත පැමිණෙයි.”—යෝබ් 33:25.

වසර 10ක් හෝ 20ක් ජීවත් වී මිය යන බල්ලෙක් උගේ ජීවිත කාලයේදී සෑහෙන දෙයක් කර හමාරයි. මස් කටු කෑම, පැටවූ බිහි කිරීම, පූසන්ව එළවීම, තම ස්වාමියාව ආරක්ෂා කිරීම වැනි දේවල් රැසක් ඊට ඇතුළත්. ඒත් වසර 70ක් හෝ 80ක් ජීවත් වී මිය යන මිනිසෙක් තමන්ගේ හැකියාවෙන් බිඳක් පමණයි අත්හදා බලා ඇත්තේ. ඔහු ක්‍රීඩා ලෝලියෙක් නම් ඔහුට ප්‍රගුණ කරන්න ලැබෙන්නේ ඉන් එකක් හෝ දෙකක් පමණයි. ඔහු සංගීතයට ලැදි කෙනෙක් නම් උපරිමයෙන් වාදනය කිරීමට හැකි වන්නේ සංගීත භාණ්ඩ එකක් හෝ දෙකක් පමණයි. අන් අයට තේරෙන භාෂාවලින් කතා කරන්න කෙනෙක් ආස නම් චතුර ලෙස කතා කරන්න ලැබෙන්නේ භාෂා දෙකක් හෝ තුනක් පමණයි. විවිධ මිනිසුන් මුණගැසීමට, අලුත් අලුත් දේවල් සොයාගැනීමට හා දෙවිට තව තවත් කිට්ටු වීමට මෙන්ම තවත් බොහෝ දේ කිරීමට හැකියාවක් තිබුණත්, ඒවා කිරීමට පුළුවන් වන්නේ ඊට වැඩි කාලයක් ජීවත් වුණා නම් පමණයි.

සමහරවිට ඔබ මේ විදිහට කල්පනා කිරීමට ඉඩ තිබෙනවා. ‘සදාකාලිකව ක්‍රියා කිරීමට හැකි මොළයක් දීලා දෙවි මිනිසාව නිර්මාණය කළා නම්, එයින් පූර්ණ ප්‍රයෝජන ගන්න බැරි වන සේ මිනිසාගේ ආයු කාලය කෙටි කර ඔහුගේ බලාපොරොත්තු සුන් කරන්නේ ඇයි?’ මිනිසා නිර්මාණය වී ඇති ආකාරය ගැනත්, නිර්මාතෘවරයාගේ අරමුණ ගැනත් සලකා බලන කල, මිනිසාගේ කෙටි ආයු කාලය ඊට කොහෙත්ම ගැළපෙන්නේ නැහැ. ඒ වගේම ‘යුක්තිය සහ දයානුකම්පාව වැනි අතිවිශිෂ්ට ගුණාංග එක්ක මිනිසාව දෙවි මැව්වා නම් නරක දේවල් කිරීමේ නැඹුරුවාවකුත් ඔහුට දීලා තියෙන්නේ ඇයි’ කියාද ඔබ කල්පනා කළ හැකියි.

ලස්සන අලුත් රථයක එක තැනක් ඇතුළට එබිලා තියෙනවා දැක්කොත් එය නිපදවන විටම සිදු කළ දෙයක් කියා ඔබ සිතනවාද? නැහැ ඔබ මෙහෙම හිතයි. ‘මේක නම් රථය හදද්දී වුණ දෙයක් වෙන්න බැහැ. මේක හොඳට හදලා තියෙන්න ඇති හැබැයි පස්සේ කවුරුහරි හප්පන්න ඇති.’ අපේ ජීවිතයටත් වුණේ ඒ හා සමාන දෙයක්. අතිඅනර්ඝ ජීවිතයක් උරුම වුණත් දැන් ඒකේ දෝෂයක් ඇති වෙලා කියලයි අපට නිගමනය කරන්න සිදු වෙන්නේ. අපේ කෙටි ආයු කාලය වගේම නරක දේවල් කිරීමේ නැඹුරුවාවත් හරියට රථයේ එබී තිබෙන තැන වගෙයි. මිනිසාගේ අගනා ජීවිතයට කවරෙකු හෝ බරපතළ හානියක් කර තිබෙනවා. කවුද ඒක කළේ? බයිබලයේ පැහැදිලි සාක්ෂිවලින් එම වරදකරුවාව හෙළි කරනවා.

මුළු මිනිස්වර්ගයාටම කෙළවර නොවන දිවි ගමනක් උරුම වීමේ ප්‍රස්තාව ඇතුවයි මිනිසාගේ දිවි ගමන ඇරඹුණේ. එසේනම් එම උරුමය නැති කළේ කවුද? එය නැති කළේ මිනිස් සංහතියේ මුල්ම මුතුන්මිත්තා විය යුතුයි. ඔහුගෙන් පැවතෙන්නෙක් එය කළා නම් හානි වන්න තිබුණේ එම තැනැත්තාගෙන් බිහි වන අයට පමණයි. මෙම පැහැදිලි සාධකයන් සනාථ කරමින් දෙවිගේ වචනය වන බයිබලයෙහි පවසන්නේ “එක් මිනිසෙකුගෙන් [මුල් මිනිසා වන ආදම්ගෙන්] ලොවට පාපයත්, පාපය නිසා මරණයත් ඇතුල් වුණාක් මෙන් සියලුදෙනාම පව් කළ බැවින් මරණය සියලුදෙනා කෙරෙහි පැතිර ගියේය” කියායි. (රෝම 5:12) ශුද්ධ ලියවිල්ලේ එම වදන්වලට අනුව අපේ උරුමය නැති කළ වරදකරුවා ආදම්. එසේනම් මිනිසාගේ ජීවිතය මුලින්ම නිර්මාණය කර තිබුණේ කොයි ආකාරයටද?

මුල් නිර්මාණය වටහාගනිමු

මරණය ‘ලොවට ඇතුල් වුණා’ කීමෙන් බයිබලයේ පෙන්වන්නේ මිනිසාව මවා තිබෙන්නේ මිය යෑමට නොවන බවයි. මිනිසුන් මහලු වී මරණය අද්දකින්නේ දෙවිට විරුද්ධව මුල් මිනිසා කැරලිගැසූ නිසයි. නමුත් සත්වයන්ව මවා තිබෙන්නේ සදහටම ජීවත් වීමට නොවෙයි.—උත්පත්ති 3:21; 4:4; 9:3, 4.

මිනිසුන්ව නිර්මාණය කර තිබෙන්නේ සත්වයන්ට වඩා වෙනස් ආකාරයකටයි. මිනිස්සු සත්වයන්ට වඩා උසස් ජීවීන් බවත්, දේවදූතයන් මිනිසුන්ට වඩා උසස් ජීවීන් බවත් බයිබලයේ පෙන්වා තිබෙනවා. (හෙබ්‍රෙව් 2:7) සතුන්ට වඩා වෙනස්ව මිනිසාව සාදා තිබෙන්නේ “දෙවිගේ රූපයට” අනුවයි. (උත්පත්ති 1:27) එමෙන්ම සත්වයන්ට වඩා වෙනස්ව බයිබලයේ ආදම්ව හඳුන්වන්නේ “දෙවිගේ පුත්‍රයා” කියායි. (ලූක් 3:38) මිනිසාව මවා තිබෙන්නේ මහලු වී මිය යෑමට නොවන බව විශ්වාස කිරීමට අපට දැන් හොඳ හේතු තිබෙනවා. දෙවි මිය යන්නේ නැහැ වගේම ඔහු තම පුත්‍රයන්ව මැව්වෙත් මිය යන්න නොවෙයි.—හබක්කුක් 1:12; රෝම 8:20, 21.

මුල් මිනිස් පරම්පරාවන්ගේ ඓතිහාසික වාර්තා මගින් දෙවි මුල් මිනිසාව නිර්මාණය කළ ආකාරය පිළිබඳ අවබෝධය තවත් පුළුල් වෙනවා. ඒ කාලයේදී ජනයා මහලු වීමට පෙර සියවස් ගණනාවක් ජීවත් වුණා. ආදම් වසර 930ක් ජීවත් වුණා. ඉන් පරම්පරා කීපයකට පසුව සිටි නෝවාගේ පුත් ෂෙම් ජීවත් වුණේ වසර 600ක් පමණයි. නෝවාගේ මුනුබුරා වන අර්පක්ෂද් ජීවත් වුණේ වසර 438යි. * (උත්පත්ති 5:5; 11:10-13) ඊටපසු ආබ්‍රහම් ජීවත් වුණේ අවුරුදු 175යි. (උත්පත්ති 25:7) ආදම් දෙවිට අකීකරු වීමත් සමඟම මිනිසාගේ ආයු කාලයට සිදු වූ බලපෑම ක්‍රම ක්‍රමයෙන් වැඩි වුණා. කිසි අඩුවක් නැතුව මැවූ මිනිස් ජීවිතය කාලයාගේ ඇවෑමෙන් කෙටි වෙන්න පටන්ගත්තා. නමුත් මිනිසාව මැව්වේ සදහටම ජීවත් වීමටයි. එසේනම් ‘තවමත් දෙවිගේ කැමැත්ත මිනිස්සු නොමැරී සදහටම පොළොවේ කෙළවර නොවන ජීවිතයක් ගත කිරීමද’ කියා ඇසීම සාමාන්‍ය දෙයක්.

වයසට නොයන දා වැඩි ඈතක නෑ

තමාට අකීකරු වන තැනැත්තා තම වරදට දඬුවමක් වශයෙන් මිය යන බව යෙහෝවා දෙවි ප්‍රකාශ කළ නිසා ආදම්ගෙන් පැවතෙන්නන් අසරණ තත්වයකට වැටුණා. (උත්පත්ති 2:17) කෙසේනමුත් වයසට යෑමේ ක්‍රියාවලියෙන් මුදවාගැනීමට කෙනෙක් ඉදිරිපත් වෙයි කියා ශුද්ධ ලියවිල්ලේ දේවානුභාවයෙන් සඳහන් කර තිබෙනවා. එහි තිබෙන්නේ “ඔහු ඔහුට කරුණා කොට මිනීවළට නොයන ලෙස ඔහු මුදවා; මිදීමක් මට සම්බවීයයි කියන්නේය. ළදරුවෙකුගේ මාංසයට වඩා ඔහුගේ මාංසය අලුත් වෙයි. ඔහු තමාගේ යෞවනකමට නැවත පැමිණෙයි” කියායි. (යෝබ් 33:24, 25; යෙසායා 53:4, 12) මෙහිදී බයිබලයේ අපට ඉදිරිපත් කරන්නේ වයසට යෑමේ ක්‍රියාවලියෙන් මුදවාගැනීමට කවරෙකු හෝ වන්දියක් ගෙවයි යන ප්‍රීතිමත් බලාපොරොත්තුවයි.

මෙම වන්දිය ගෙවිය හැක්කේ කාටද? එය මිල කළ නොහැකි වන්දියක්. දෙවිගේ ප්‍රමිතිවලින් ඉවත් වූ මිනිසා ගැන බයිබලයේ මෙසේ පවසයි. ‘කිසිවෙක් තමාගේ සහෝදරයා නිදහස් කරන්ටවත් ඔහු සදාකල් ජීවත් වන පිණිස ඔහු උදෙසා දෙවිට මිදීමේ වස්තුවක් දෙන්ටවත් පොහොසත් නොවේ.’ (ගීතාවලිය 49:7-9) කෙසේවෙතත් යේසුස් ක්‍රිස්තුස් ළඟ මුදල්වලට වඩා වටිනා යමක් තිබුණා. යේසුස් දෙවිගේ පුත්‍රයා නිසා මේ පොළොවේ ජීවත් වූ කාලයේදී ඔහුට ආදම්ගේ පාපය උරුම වී තිබුණේ නැහැ. තමා පැමිණියේ “බොහෝදෙනෙකු වෙනුවෙන් තම ජීවිතය මිදීමේ මිලයක් ලෙස දීමට” බව යේසුස් පැවසුවා. තවත් අවස්ථාවක ඔහු මෙවැන්නක්ද කිව්වා. “මා ඇවිත් සිටින්නේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත්, එය අධික ලෙස ලැබෙන පිණිසත්ය.”—මතෙව් 20:28; යොහන් 10:10.

යේසුස්ගේ දේශනා සේවයේ ප්‍රධාන තේමාව කෙළවර නොවන දිවියක් ගැන බලාපොරොත්තුවයි. ඔහුගේ විශ්වාසවන්ත අනුගාමියෙකු වූ පේතෘස් වරක් ඔහුට මෙසේ පැවසුවා. “සදාකාල ජීවනයේ වචන ඇත්තේ ඔබ ළඟය.” (යොහන් 6:68) බයිබලයේ කතා කරන සදාකාල ජීවනයෙන් අදහස් කරන්නේ මොකක්ද?

නිම නොවන ජීවිතයක්

යේසුස්ගේ ගෝලයන් ආශාවෙන් බලා සිටියේ යේසුස්ගේ රාජ්‍යය පාලනයේ කොටස්කරුවන් ලෙස ස්වර්ගයේ නිම නොවන ජීවිතයක් ගත කිරීමටයි. (ලූක් 22:29; යොහන් 14:3) කෙසේනමුත් පොළොව සම්බන්ධයෙන් වූ දෙවිගේ අරමුණ ගැනත් යේසුස් නිතරම කතා කළා. (මතෙව් 5:5; 6:10; ලූක් 23:43) ඔහුගේ ප්‍රාතිහාර්යයන් හා සදාකාල ජීවිතය පිළිබඳ ඉගැන්වීම්, බොහෝ කලකට පෙර අනාගතවක්තෘ යෙසායා මගින් දෙවි දුන් පොරොන්දු සනාථ කරනවා. ඔහු මෙසේ ලිව්වා. “ඔහු මරණය සදාකාලයටම ගිල්ලේය; ස්වාමි වූ යෙහෝවා සියලු මුහුණුවලින් කඳුළු පිස දමන්නේය.” (යෙසායා 25:8) යෞවනයේ සොඳුරු වසන්තය නිම වී අබල දුබල සැඳෑ සමයට පා තබන දිවිය තුරන් වෙන බවයි ඉන් අඟවන්නේ.

දෙවි ගෙනෙන පාරාදීස පොළොවෙහි ඇදහිලිවන්ත මිනිසුන් පූර්ණ සෞඛ්‍යය අත් කරගනිද්දී වයසට යෑමේ ක්‍රියාවලියෙන් ඔවුන් මුළුමනින්ම නිදහස් වෙයි. බයිබලයේ මෙවැන්නක් පවසනවා. “මැවිල්ලද දිරාපත් වීමේ වහල්කමින් නිදහස් වී දෙවිගේ දරුවන්ට හිමි තේජවත් නිදහස [ලබන්නේය.]” (රෝම 8:21) මේ ගැන හිතන්න. කාලයාගේ ඇවෑමෙන් මිනිසුන් ඥානය හා අද්දැකීම්වලින් පරිණත වන අතර සියවස් ගණනාවක් ගෙවී ගියත් ඔවුන්ගේ යොවුන් ශක්තිය පහ වෙන්නේ නැහැ. ඔබටත් එම කාලය දැකගන්න හැකි වේවිද?

දීර්ඝ දිවි ගමනක් ඔබටත්?

යේසුස් පවසන ආකාරයට දෙවිගේ විනිශ්චය දවසේදී සෑහෙන සෙනඟක් පොළොවෙන් තුරන් වේවි. (මතෙව් 24:21, 22) “පටු දොරටුවෙන් ඇතුල් වන්න. මන්ද විනාශය කරා යන පාර පළල්ය, බොහෝ ඉඩ කඩද ඇත. එයින් ඇතුල් වන්නෝද බොහෝය. නමුත් ජීවනය කරා යන පාර අවහිරය, එහි දොරටුව පටුය. එය සොයාගන්නේ ස්වල්පදෙනෙකුය.”—මතෙව් 7:13, 14.

නිම නොවන දිවි මඟේ ගමන් කරන අය අතරේ ඔබත් සිටීමට නම් ඔබ දෙවිගේ අනුමැතිය ලැබිය යුතුයි. මුලින්ම කළ යුතු වන්නේ දෙවි ගැන දැනගැනීමයි. යේසුස් මෙසේ පැහැදිලි කළා. “සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැන . . . දැනුම ලබාගැනීමය.” (යොහන් 17:3) දෙවිව හොඳින් දැනගැනීමට මහත් වෑයමක් දැරිය යුතු වුවත් එයින් ලැබෙන ප්‍රතිඵල මිල කළ නොහැකියි. සෑම දිනකම ආහාර ගැනීමට නම් මුදල් හම්බ කිරීමට වෑයමක් දැරිය යුතුයි. දෙවි පිළිබඳ දැනුම ආහාරවලට සමාන කරමින් යේසුස් ඉල්ලා සිටියේ “නැති වී යන ආහාර සඳහා වැඩ නොකර, සදාකාල ජීවනය පිණිස සැමදා පවතින ආහාර සඳහා වැඩ කරන්න” කියායි. (යොහන් 6:27) එසේනම් නිම නොවන ජීවිතයක් ලබාගැනීමට ඔබ දරන වෑයම වටින්නේ නැද්ද?—මතෙව් 16:26.

යේසුස් මෙසේ පැවසුවා. “දෙවි ලෝකයට මොන තරම් ප්‍රේම කළාද යත්, ඔහු තමාගේම ඒකජාතක පුත්‍රයාව දුන්නේය. එසේ කළේ ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” (යොහන් 3:16) මේ අනුව ඔබ කෙතරම් කලක් ජීවත් වේවිද යන්න රඳා පවතින්නේ දෙවිගේ ප්‍රේමයට ඔබ දක්වන ප්‍රතිචාරය මතයි.

[පාදසටහන්වල]

^ 10 ඡේ. බයිබලයේ සඳහන් මෙම වාර්තාවේ දැක්වෙන වසර ගණන් ඇත්තෙන්ම මාස ගණන් කියා සමහරු පවසනවා. ඒත් එම පදයේ දක්වන්නේ තම පුත් ශෙලා ඉපදෙනකොට අර්පක්ෂද්ගේ වයස අවුරුදු 35ක් බවයි. එය මාස 35ක් කියා ගණන්ගත්තා නම් ඔහුට වයස අවුරුදු තුන වෙන්නත් කලින් ඔහු පියෙකු විය යුතුයි. ඒක කොහෙත්ම වෙන්න බැරි දෙයක්. ඊට අමතරව උත්පත්ති මුල් පරිච්ඡේදවල සූර්ය වර්ෂ සහ චන්ද්‍ර මාස අතර වෙනස දක්වා තිබෙනවා.—උත්පත්ති 1:14-16; 7:11.

[7වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

වසර 80ක් ජීවත් වූ මිනිසෙක් තමන්ගේ හැකියාවෙන් බිඳක් පමණයි අත්හදා බලා ඇත්තේ

[8වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

මිනිසාව නිර්මාණය කර තිබෙන්නේ සත්වයන්ට වඩා උසස් ජීවීන් ලෙසයි

[7වන පිටුවේ පින්තූරය]

මේ රථය නිපදෙව්වේ ඇතුළට එබුණ තැනක් ඇතුවද?

[8, 9වන පිටුවේ පින්තූරය]

මිනිසුන් ‘තම යෞවනකමට නැවත පැමිණෙන’ බව දේවවචනයේ පවසයි