Skip to content

පටුනට යන්න

ඔබේ මුදල් ඥානවන්තව පරිහරණය කරන්න

ඔබේ මුදල් ඥානවන්තව පරිහරණය කරන්න

“හැම දෙයකටම මුල සල්ලි” කියා කියමනක් තිබෙනවා. මේ හා සමාන අදහසක් බයිබලයේද සඳහන් වෙනවා. එනම් “මුදලට ප්‍රේම කිරීම සියලු ආකාර හානිකර දේවල්වල මුලක්ය.” (1 තිමෝති 6:10) සමහර අය මුදල්වලට දැඩි ආශාවක් දක්වන නිසා මුළු ජීවිතයම කැප කරන්නේ මුදල් හම්බකිරීමටයි. තවත් සමහරුන් සිතන්නේ මුදල් තරම් වටිනා දෙයක් තවත් මේ ලෝකයේ නැහැයි කියායි. එවැනි අයට අත් වන්නේ දුක්ඛදායක විපාකයි. කෙසේනමුත් මුදල නිසි ලෙස පරිහරණය කරනවා නම් එය විනාශකාරී අවියක් නොව සවියක් වෙයි. ‘මුදලින් සියලු අවශ්‍යතා පිරිමැසෙයි’ කියා බයිබලයේ පවසන්නේ ඒ නිසයි.—දේශනාකාරයා 10:19, නව ලොව පරිවර්තනය, NW.

බයිබලය මුදල් පරිහරණය කරන ආකාරය ගැන උපදෙස් දෙන පොතක් නොවුවත් එය ඥානවන්තව පරිහරණය කළ හැකි ආකාරය ගැන පෙන්වා දෙයි. පහත සඳහන් වන්නේ ආර්ථික උපදේශකයන් නිර්දේශ කර තිබෙන පියවර පහක්. ඒත් මේ පිළිබඳව බයිබලයේ සඳහන් වී තිබුණේ බොහෝ කාලයකට ඉහතදීයි.

ඔබට කොතරම් ආදායමක් ලැබෙනවාද කියා දැනගෙන ඒ අනුව වියදම් කරන්න

ඉතිරි කරන්න. ඉතිරි කිරීමේ ඇති වැදගත්කම පුරාණයේ සිටි ඊශ්‍රායෙල්වරුන්ට උගන්වා තිබුණා. සෑම වසරකදීම ඔවුන් සහභාගී විය යුතු මංගල්‍ය උත්සව සඳහා ඔවුන්ගේ ආදායමෙන් දසයෙන් කොටසක් වෙන් කර තබන මෙන් ඔවුන්ට උපදෙස් දී තිබුණා. (ද්විතීය කතාව 14:22-27) ඒ වගේම පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානීන්ටද අග හිඟකම්වලින් පෙළුණු ක්‍රිස්තියානීන්ගේ අවශ්‍යතා පිරිමැසීමට සෑම සතියකදීම යම් මුදලක් වෙන් කර තබන්න කියා පාවුල් උනන්දු කර තිබුණා. (1 කොරින්ති 16:1, 2) බොහෝ මුල්‍ය උපදේශකවරුන් ඉතිරි කිරීමේ වැදගත්කම පෙන්වා දෙනවා. ඔබට මාසික වැටුප ලැබුණු විගස ඔබ ඉතිරි කිරීමට බලාපොරොත්තු වන මුදල බැංකුවේ හෝ වෙනත් සුරක්ෂිත තැනක තැන්පත් කරන්න. මෙසේ කිරීමෙන් එම මුදල වෙනත් දේවල් සඳහා යෙදවීමෙන් වැළකී සිටිය හැකියි.

අය වැය සටහන් කරගන්න. ඔබ කොතරම් වැය කරනවාද කියා දැනගැනීමටත් මුදල් පාලනය කිරීමටත් හැකි එකම ක්‍රමය අය වැය සටහන් කරගැනීමයි. ඔබට හොඳ අය වැය ලේඛනයක් තිබෙනවා නම් ඔබ මුදල් යෙදෙව්වේ කුමන දේවලටද කියා දැනගත හැකියි. එසේ කරනවා නම් ඔබේ අතේ තිබෙන මුදල් නිසි ලෙස පරිහරණය කරන්නේ කෙසේද කියා දැනගත හැකියි. ඔබට කොතරම් ආදායමක් ලැබෙනවාද කියා දැනගෙන ඒ අනුව ඔබ වියදම් කරන්න. ඔබ යමක් මිල දී ගැනීමට පෙර එය ඔබට අත්‍යවශ්‍ය දෙයක්ද නැත්නම් එය ලබාගන්නේ ආශාව නිසාද කියා සොයා බලන්න. යේසුස්ද ඒ හා සමාන උපදෙසක් තම අසන්නන්ට දෙමින් පැවසුවේ යමක් කිරීමට පෙර ‘වියදම ගණන් බලන්න’ කියායි. (ලූක් 14:28) බයිබලයේ අපට උනන්දු කරන්නේ අනවශ්‍ය ණය බරින් මිදෙන්න කියායි.—හිතෝපදේශ 22:7.

සැලසුම් කරන්න. ඔබ යමක් මිල දී ගැනීමට පෙර ඒ ගැන හොඳින් සිතා බලන්න. උදාහරණයකට ඔබ නිවාස ණයක් ලබාගැනීමට සැලසුම් කරනවා නම් ඔබේ මාසික ආදායමට සරිලන වාරිකයක් ගෙවීමට හැකි වන සේ ණයක් ඔබ ලබාගැනීම ප්‍රයෝගිකයි. පවුලේ පියා හැටියට පවුලේ අය වෙනුවෙන් ජීවිත, සෞඛ්‍ය, ආබාධ තත්වයන් හෝ වෙනත් රක්ෂණ ඔප්පුවක් මිල දී ගත හැකියි. ඒ විතරක් නොවෙයි ඔබ විශ්‍රාම ගිය පසු ඔබේ අනාගතය ගැනත් ඔබ දැන් සිටම සැලසුම් යෙදිය යුතුයි. හිතෝපදේශ 21:5හි [NW] සඳහන් වන්නේ “උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක වෙයි” කියායි.

අත්‍යවශ්‍ය දේ හා ආශා වන දේ අතර වෙනස හඳුනාගන්න

හැකියාවන් දියුණු කරගන්න. හැකියාවන් සහ ප්‍රඥාව අත් කරගැනීමට දිගටම වෑයම් කරන්න. බයිබලයේ ‘ප්‍රඥාවත් සිතීමේ හැකියාවත්’ ඉතා වටිනවා කියා සඳහන් කරන අතර ඒවා දිනපතාම වැඩි දියුණු කරගන්න කියා උනන්දු කරනවා. ප්‍රඥාවන්ත කෙනෙක් ඥානවන්තව තම මුදල් පරිහරණය කරයි.—හිතෝපදේශ 3:21, 22NW; දේශනාකාරයා 10:10.

සමබර වන්න. ධන සම්පත්වලට ඇලුම්කමක් දක්වනවාට වඩා මිනිසුන් කෙරෙහි ඇල්මක් දක්වන අය ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන බව බොහෝ සමීක්ෂණවලින් ඔප්පු වී තිබෙනවා. සමහරුන් ධනයට තිබෙන ගිජුකම නිසා මුදල් පිළිබඳව තිබිය යුතු සමබර ආකල්පය නැති කර ගෙන තිබෙනවා. එසේ වී තිබෙන්නේ ඔවුන් තමන්ගේ මූලික අවශ්‍යතාවන් සපුරා ගන්නවාට වඩා වැඩි වැඩියෙන් ධනය රැස් කිරීමට වෙහෙසෙන නිසයි. ඇත්තටම යමෙකුට කන්න අඳින්න හා ඉන්න තැනක් තිබෙනවා නම් ඔහුට ඊටත් වඩා අවශ්‍ය වන්නේ කුමක්ද? බයිබල් ලේඛකයෙක් පවා එය මෙසේ පෙන්වා දී තිබෙනවා. “කන්න අඳින්න සහ ඉන්න හිටින්න තැනක් ඇත්නම්, අපි මේවායින් සෑහීමට පත් වෙමු.” (1 තිමෝති 6:8) මූලික අවශ්‍යතාවෙන් සෑහීමට පත් වෙනවා නම් ධනය රැස් කිරීමට දැඩි ආශාවක් දක්වන්නේ නැති අතර එයින් අත් වන අහිතකර බලපෑම්වලින් ආරක්ෂා විය හැකියි.

ධනයට ආශා වීම සෑම නපුරු ක්‍රියාවකටම හේතුවයි. ඔබ මුදලට ආශා වෙනවා නම් ඊට වහලෙක් විය හැකියි. ඒත් ඔබ මුදල් කල්පනාකාරීව පරිහරණය කරනවා නම් ඔබේ ජීවිතයේ වැදගත් දේවල් වන ඔබේ පවුල, මිත්‍රයන් හා දෙවි සමඟ තිබෙන බැඳීම් ශක්තිමත් කරගැනීමට කාලය දිය හැකි වෙනවා. කෙසේවෙතත් මේ ලෝකයේ දැනට මුළුමනින්ම මුදල් නිසා ඇති වන කනස්සල්ලෙන් මිදීය නොහැකියි. ඒත් මේ කනස්සල්ල සැමදා පවතීද? දුගීකම මෙලොවින් තුරන් වෙයිද? ඊළඟ ලිපියේ එම ප්‍රශ්නවලට පිළිතුරු සපයා තිබෙනවා.

යමෙකුට කන්න අඳින්න හා ඉන්න තැනක් තිබෙනවා නම් ඔහුට ඊටත් වඩා අවශ්‍ය වන්නේ කුමක්ද?