Skip to content

පටුනට යන්න

දික්කසාදය ගැන ඔබ දැනගත යුතු කරුණු හතරක්

දික්කසාදය ගැන ඔබ දැනගත යුතු කරුණු හතරක්

සිදු වී ඇති හානිය තක්සේරු කළ පසු එය කඩා බිඳ දමනවාද නැත්නම් එය අලුත්වැඩියා කරනවාද යන තීරණය නිවෙස් හිමියන් සතුයි.

ඔබේ විවාහයත් එවැනි තත්වයකට පත් වී තිබෙනවාද? ඔබේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව අනියම් සම්බන්ධයක් ඇති කරගෙන තිබීම නිසා හෝ නිතර නිතර ඇති වන මතගැටුම් නිසා විවාහයේ ප්‍රීතිය අහිමි වී ඇති බවක් ඔබට හැඟෙන්න පුළුවන්. ඒ නිසා ‘අපි දැන් දෙන්නට දෙන්නා ආදරේ නැහැ,’ ‘අපි දෙන්නගේ අදහස් ගැළපෙන්නේ නැහැ’ හෝ ‘අපි විවාහ වුණේ කිසිම අවබෝධයක් නැතුවයි’ කියා ඔබට සිතෙන්න පුළුවන්. ඒ නිසා ‘අපි දික්කසාද වුණා නම් හොඳයි’ කියා අවසානයේදී ඔබට සිතෙන්න පුළුවන්.

ඔබේ විවාහය කටු ගා දැමීමට ඉක්මන් නොවී ඒ ගැන දෙවරක් සිතන්න. විවාහ ජීවිතයේ පැනනඟින සෑම ගැටලුවක්ම දික්කසාදයෙන් අවසන් වන්නේ නැහැ. ඒ වෙනුවට ඉන් සිදු වන්නේ තිබෙන ප්‍රශ්න දී තවත් ප්‍රශ්න වැලක් ලබාගැනීමයි. දික්කසාදය පිළිබඳව මහාචාර්ය බ්‍රැඩ් සැක්ස් තම පොතේ මෙසේ අනතුරු ඇඟෙව්වා. “දික්කසාද වන අය සිතන්නේ එමගින් තමන්ට අද්දකින්න සිදු වන සියලුම කටුක අද්දැකීම් හා අමිහිරි මතකයන් සම්පූර්ණයෙන්ම අවසන් වී කිසිම බාධාවකින් තොර නිස්කලංක ජීවිතයක් ගත කරන්න ලැබේවි කියායි. නමුත් එය හරියට කිසිම අඩුපාඩුවක් නැති විවාහ ජීවිතයක් ගත කරන්න සිහින දකිනවා හා සමානයි.” එමනිසා දික්කසාදය ගැන හොඳ අවබෝධයක් ඇතුව එම තීරණය ගැනීම ඉතා වැදගත්.—එම පොත The Good Enough Teen.

බයිබලයේ සඳහන් දේ

බයිබලයේ සඳහන් ලෙස යෙහෝවා දෙවි දික්කසාදය සලකන්නේ සැහැල්ලුවට ගත යුතු දෙයක් ලෙස නොවෙයි. එමෙන්ම සුළු සුළු හේතූන් නිසා හෝ නැවත විවාහ වීමේ යටි අරමුණ ඇතුව තම සහකරුව හෝ සහකාරියව අත්හරින අයව යෙහෝවා දෙවි සලකන්නේ ඉතාමත් දුෂ්ට ද්‍රෝහි පුද්ගලයන් ලෙසයි. (මලාකි 2:13-16) එමෙන්ම දෙවි විවාහය සලකන්නේ සදාකාලික බැඳීමක් ලෙසයි. (මතෙව් 19:6) එතරම් බරපතල නොවන ගැටලු පැනනඟින විට යුවළයන් එකිනෙකාට සමාව දී තිබුණා නම් මෙතෙක් සිදු වී ඇති බොහෝ දික්කසාදයන් වළක්වාගැනීමට ඔවුන්ට හැකියාව තිබුණා.—මතෙව් 18:21, 22.

ඒ වගේම කෙනෙකුට දික්කසාද වී නැවත විවාහ වීමට තිබෙන එකම පදනම වන්නේ තම ස්වාමිපුරුෂයා හෝ භාර්යාව වෙනත් කෙනෙකු සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීමයි. (මතෙව් 19:9) එමනිසා ඔහු හෝ ඇය එවැනි ක්‍රියාවක නිරත වී ඇත්නම් ඔහුව හෝ ඇයව දික්කසාද කිරීමට ඔබට අයිතිය තිබෙනවා. නමුත් ඔබ එම තීරණය ගත යුත්තේ අන් අයගේ අදහස් උදහස් මත නොවෙයි. මෙම ලිපිය සකස් කර තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් ඔබ ගත යුතු තීරණය කුමක්ද කියා ඔබට පැවසීමට නොවන බවද සලකන්න. ඔබ ගන්නා තීරණයේ ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදු වන්නේ ඔබටම නිසා එම තීරණය ගත යුත්තේ ඔබමයි.—ගලාති 6:5.

එසේ කිරීමේදී බයිබලයේ සඳහන් මෙම උපදෙස සලකා බැලීමද ඉතා නැණවත්. “සිහිබුද්ධිය ඇති අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි.” (හිතෝපදේශ 14:15) එමනිසා බයිබලයේ සඳහන් පදනමට අනුව දික්කසාද වීමට ඔබට අයිතිය තිබුණත් එම තීරණය ගැනීමේදී ඊට අයත් වන්නේ කුමක්ද කියා හොඳින් කල්පනා කර බැලීම ඉතා යෝග්‍යයි. (1 කොරින්ති 6:12) බ්‍රිතාන්‍යයේ ජීවත් වන ඩේවිඩ් ඒ ගැන මෙසේ පවසනවා. “සමහර අය හිතන්නේ ඒක ඉක්මනින්ම ගන්න අවශ්‍ය තීරණයක් කියලයි. නමුත් දික්කසාදය කියන්නේ හොඳට හිතලා බලලා ගන්න අවශ්‍ය තීරණයක් කියන එක මම අද්දැකීමෙන්ම දන්නවා.” *

දික්කසාදය සම්බන්ධයෙන් ඔබ හොඳින් සිතා බැලිය යුතු වැදගත් කාරණා හතරක් දැන් අපි සලකා බලමු. දික්කසාද වී ඇති අයගේ අදහස් සමහරක්ද මෙහිදී අප සලකා බැලීමට නියමිතයි. නමුත් තමන් ගත් එම තීරණය වැරදියි කියා ඔවුන්ගෙන් කිසිවෙක් පවසන්නේ නැති බව සැලකිල්ලට ගන්න. කෙසේනමුත් ඔවුන්ගේ අදහස්වලින් පැහැදිලි වන්නේ දික්කසාද වී මාස හෝ අවුරුදු ගණනාවකට පසුව පවා ඔවුන්ට විවිධ අභියෝගයන්ට මුහුණ දීමට සිදු වී ඇති බවයි.

1 ආර්ථික ගැටලු

ඉතාලියේ ජීවත් වන ඩැනියෙලා විවාහ වී අවුරුදු 12කට පසුව තම ස්වාමිපුරුෂයාට රැකියා ස්ථානයේ කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධයක් පටන්ගෙන ඇති බව ඇයට දැනගන්න ලැබුණා. ඒ ගැන ඇය මෙසේ පවසනවා. “මට ඒ ගැන දැනගන්න ලැබෙන කොට ඇය ගැබ්ගෙන මාස හයකුත් ගත වෙලා.”

යම් කලකට ඔවුන් වෙන්ව සිටි පසු ඩැනියෙලා තම ස්වාමිපුරුෂයාගෙන් දික්කසාද වීමට තීරණය කළා. ඒ ගැන ඇය කියන්නේ මෙහෙමයි. “අපේ විවාහය රැකගන්න මම ගොඩක් උත්සාහ කළත් එයා දිගින් දිගටම මගේ විශ්වාසය බින්දා.” ඇය පවසන්නේ ඔහුගෙන් දික්කසාද වීමට තමන් ගත් තීරණය නිවැරදි බවයි. ඒ වුණත් ඉන්පසුව ඇය පවසන දේ බලන්න. “අපි වෙන් වුණ මුල් කාලයේ මම පුදුම විදියේ ආර්ථික අමාරුකම්වලට මුහුණ දුන්නා. සමහර දවස්වලට රෑට කන්නවත් සල්ලි නැහැ. ඒ නිසා කිරි වීදුරුවක් බීලා නිදාගන්නවා.”

ස්පාඤ්ඤයේ ජීවත් වන මාරියාගේ අද්දැකීමත් ඒ හා සමානයි. “මම දික්කසාද වුණාට පස්සේ මට ජීවත් වෙන්න එයාගෙන් කිසිම උපකාරයක් ලැබුණේ නැහැ. ඒ විතරක් නෙවෙයි එයාගේ ණය ගෙවන්න සිද්ධ වුණෙත් මටයි. ඒ නිසා ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න මට සිද්ධ වුණා. ඒ වගේම මම හිටපු ලොකු නිවස අත්හැරලා එතරම් ආරක්ෂාවක් නැති පැත්තක පොඩි කාමර කෑල්ලක පදිංචියට යන්නත් සිද්ධ වුණා.”

අප මෙතෙක් සලකා බැලූ අද්දැකීම්වලින් පැහැදිලි වන්නේ දික්කසාදය නිසා කාන්තාවන්ට බරපතල ආර්ථික ගැටලුවලට මුහුණ දීමට සිදු වන බවයි. ඒ ගැන අවුරුදු හතක් පුරා යුරෝපයේ කළ අධ්‍යයනයකින් හෙළි වූයේ දික්කසාදයෙන් පසුව පුරුෂයන්ගේ ආදායම සියයට 11කින් ඉහළ ගිය බව සහ කාන්තාවන්ගේ ආදායම සියයට 17කින් පහළ ගිය බවයි. එම අධ්‍යයනය මෙහෙය වූ මීකා යාන්සන් ඒ ගැන මෙසේ පැවසුවා. “දරුවන්ව නඩත්තු කරන්න, රැකියාවක් සොයාගන්න සහ දික්කසාදයෙන් ඇති වූ කම්පනය සමඟ පොරබදන්න සිදු වන නිසා එය සමහර කාන්තාවන්ට ඉතාමත් දුෂ්කර අද්දැකීමක් වී තිබෙනවා.” එක් පුවත්පතකද ඒ ගැන සඳහන් වුණේ ඉහත කී කරුණු නිසා “දික්කසාදය ගැන දෙවරක් හිතන්න බොහෝදෙනා පෙලඹී තිබෙනවා” කියායි.—Daily Telegraph.

ප්‍රතිඵලය කුමක් විය හැකිද? ඔබ දික්කසාද වුවහොත් ඔබට ආර්ථික අමාරුකම්වලට මුහුණ දීමටත් ඔබ සිටින නිවසින් පිට වීමටත් සිදු විය හැකියි. ඔබට දරුවන්ගේ භාරකාරත්වය හිමි වුවහොත් ඔවුන්ව රැකබලා ගැනීම හා ඔබගේ වියහියදම් පිරිමසා ගැනීමද දුෂ්කර විය හැකියි.—1 තිමෝති 5:8.

2 දරුවන් රැකබලා ගැනීමේ අභියෝග

“මගේ ස්වාමිපුරුෂයාට අනියම් සම්බන්ධයක් ඇති බව දැනගැනීමෙන් මම විශාල කම්පනයකට පත් වුණා. එයා අපිව දාලා යන්න ගත්ත ඒ තීරණය ගැන මට නම් හිතාගන්නවත් බැහැ” කියා බ්‍රිතාන්‍යයේ ජීවත් වන ජේන් පවසනවා. ඇය ඔහුගෙන් දික්කසාද වූ අතර තමන් ගත් තීරණය නිවැරදි බව ඇය විශ්වාස කරනවා. ඒ වුණත් ඇය මෙසේද පවසනවා. “මගේ දරුවන්ට අම්මයි තාත්තයි දෙන්නම වෙන එක මට තියෙන ලොකු අභියෝගයක්. ඒ නිසා හැම තීරණයක්ම ගන්න සිද්ධ වෙලා තියෙන්නේ මටයි.”

ස්පාඤ්ඤයේ ජීවත් වන ග්‍රසයිලා නමැති මවගේ අද්දැකීමද ඒ හා සමානයි. ඇය මෙසේ පවසනවා. “අවුරුදු 16ක් වයස අපේ පුතාව සම්පූර්ණයෙන්ම බලාගන්න පැවරුණේ මටයි. මේ වයසේ දරුවෙකුව හදා වඩා ගන්න එක ලෙහෙසි දෙයක් නෙවෙයි. අනික තනියම එහෙම කරන එක ගැන මට හරි අවබෝධයක් තිබුණෙත් නැහැ. ඒ නිසා ගොඩක් දවස්වල රෑට මම හරියට ඇඬුවා. මට හිතුණේ මම සාර්ථක මවක් නෙවෙයි කියලයි.”

දරුවාගේ භාරකාරත්වය දෙදෙනාටම පැවරෙන විට යම් සංවේදී ප්‍රශ්න ගැටලුවලටද මුහුණ දීමට දෙදෙනාටම සිදු වෙනවා. එනම් දරුවාගේ මව හෝ පියා ඔහුව බලන්න පැමිණීම, උපකාර කිරීම සහ පුහුණු කිරීම සම්බන්ධ කාරණාවලදී ඔහු හෝ ඇය සමඟ එකඟතාවකට පැමිණීම දුෂ්කර දෙයක් විය හැකියි. ඒ ගැන දික්කසාද වූ මවක් වන ක්‍රිස්ටීන් මෙසේ පවසනවා. “දරුවාව බැලීමට සහ උපකාර කිරීමට ඉඩ දීම සම්බන්ධ කාරණාවලදී දරුවාගේ පියා සමඟ එකඟතාවකට පැමිණීම ලෙහෙසි දෙයක් නෙමෙයි. ඒක මනසටත් හරිම අමාරු දෙයක්. නමුත් අපි ප්‍රවේසම් වුණේ නැත්නම් එවන් අවස්ථා අපගේ වාසියට හරවාගැනීමට අප නොදැනුවත්වම දරුවාව ආයුධයක් කරගත හැකියි.”

ප්‍රතිඵලය කුමක් විය හැකිද? දරුවාගේ භාරකාරීත්වය පිළිබඳව ඔබ බලාපොරොත්තු නොවූ ආකාරයේ තීරණයක් උසාවියෙන් ලබා දිය හැකියි. එමෙන්ම භාරකාරීත්වය දෙදෙනාටම පැවරුනහොත් දරුවාව බැලීම, උපකාර කිරීම හා පුහුණු කිරීම සම්බන්ධයෙන් ඔහු හෝ ඇය ඔබ මෙන් සාධාරණව කටයුතු නොකිරීමට ඉඩ තිබෙනවා.

3 ඔබට මුහුණ දීමට සිදු වන අභියෝග

බ්‍රිතාන්‍යයේ ජීවත් වන මාක් නමැති ස්වාමිපුරුෂයාගේ බිරිඳ දෙවතාවක්ම අනියම් සම්බන්ධකමක් ඇති කරගැනීමෙන් ඔහුට අවිශ්වාසවන්තව කටයුතු කළා. ඒ ගැන ඔහු පවසන දේ බලන්න. “මේ ඇය එහෙම කරපු දෙවෙනි වතාවයි. තවපාරක් මේ දේ වෙන්නේ නැහැයි කියලා මම විශ්වාසකරන්නේ කොහොමද?” පසුව මාක් ඇයව දික්කසාද කළත් ඇය කෙරෙහි තිබූ ආදරය කාලයක් යන තුරුම තිබුණා. ඒ ගැන ඔහු මෙහෙම කියනවා. “අනික් අය මාත් එක්ක එයාට දොස් කිව්වා. ඒක මට සහනයක් කියලා ඒ අය හිතුවත් ඇත්තටම ඒක එහෙම නෙවෙයි. මට එයා ගැන තිබුණු ආදරය ලෙහෙසියෙන් නැති වෙලා ගියේ නැහැ.”

ඉහත සඳහන් කළ ඩේවිඩ්ද තම බිරිඳට අනියම් සම්බන්ධයක් ඇති බව දැනගත් විට දැඩි කලකිරීමකට පත් වුණා. ඒ ගැන ඔහු මෙහෙම කියනවා. “මට නම් ඒක අදහාගන්න බැරුව ගියා. මට හැමදාමත් ඕන වුණේ මුළු ජීවිත කාලයම බිරිඳයි දරුවොයි එක්ක ගත කරන්නයි.” ඔහු ඇයව දික්කසාද කළා. එනමුත් ඔහුගේ අනාගතය පිළිබඳව ඔහුට දැඩි අස්ථිර භාවයක් ඇති වුණා. ඒ ගැන ඔහු කියන්නේ මෙහෙමයි. “මට ඇත්තටම ආදරය කරන කෙනෙක් ඉඳියිද? මම නැවත විවාහ වුණොත් එයත් මට මේ දේම කරයිද කියලා මට භයයි. ඒ සිද්ධිය නිසා තව කෙනෙකුව විශ්වාස කරන්න බැරි තත්වයකට මම පත් වුණා.”

ඔබ දික්කසාද වුණොත් එහි ප්‍රතිඵලය වන්නේ කැලඹුණු සිතුවිලි රාශියකින් ඔබ යටපත් වීමයි. එක් පැත්තකින් ඔබ දෙදෙනා එකට ගත කළ කාලයේ තිබූ ඒ ආදරය නැවතත් ඔබ තුළ ඇති විය හැකියි. (උත්පත්ති 2:24) අනික් අතට සිදු වූ දේ ගැන විශාල කෝපයක්ද ඔබට ඇති විය හැකියි. කලින් සඳහන් කළ ග්‍රසයිලා ඒ ගැන මෙසේ පවසනවා. “අවුරුදු කිහිපයකට පසුව පවා අවුල්සහගත බවක්, ලැජ්ජාවක් මෙන්ම අසරණකමක් දැනෙනවා. දෙදෙනා අතර තිබූ ආදර මතකයන් ආයෙත් මතක් වෙලා මෙහෙම හිතෙන්න පටන්ගන්නවා. ‘ඔයා නැතුව මම කොහොම ජීවත් වෙන්නද කියලා කියපු එයා, මට මේ වගේ දෙයක් කෙරුවේ ඇයි? එයා මට කියපු දේවල් ඔක්කෝම බොරුද?’”

ප්‍රතිඵලය කුමක් විය හැකිද? ඔහු හෝ ඇය ඔබව රැවටීම ගැන විශාල කෝපයක් දිගින් දිගටම ඔබ තුළ ඇති විය හැකියි. ඒ වගේම විටින් විට පාලුව සහ තනිකම ඔබව වෙළාගන්නත් පුළුවන්.—හිතෝපදේශ 14:29; 18:1.

4 දරුවන් මුහුණ දෙන අභියෝග

ස්පාඤ්ඤයේ ජීවත් වන හෝසේ නමැති පියා මුහුණ දුන් අද්දැකීම සලකා බලන්න. “මගේ බිරිඳගේ අනියම් සැමියා මගේ නංගිගේ මහත්තයා කියලා දැනගත්තාම මට මැරෙන්න හිතුණා” කියා ඔහු පවසනවා. ඇය කළ දේ අවුරුදු දෙකත් හතරත් වයසේ පසුවන පුතුන් දෙදෙනාටද තදින් බලපා ඇති බව හෝසේ තේරුම්ගත්තා. ඔහු ඒ ගැන මෙසේද පවසනවා. “වෙලා තියෙන සිද්ධිය සම්පූර්ණයෙන්ම ඔවුන්ට තේරුණේ නැහැ. ඒ වගේම අම්මා, මාමලගේ ගෙදර ඉන්නේ ඇයි කියලත් මම ඒ දෙන්නයි මගේ නංගියි මගේ අම්මයි එක්ක වෙනම ගෙදරක ජීවත් වෙන්නේ ඇයි කියලත් ඒගොල්ලන්ට හරියට තේරුණේ නැහැ. මම කොහේ හරි යන කොට ‘තාත්තා ආයේ එන්නේ කවදද’ කියලා අහනවා. එහෙමත් නැත්නම් ‘අනේ තාත්තේ අපිව දාලා යන්න එපා’ කියලා කියනවා.”

දික්කසාදය නමැති යුධ පිටියේ වැඩියෙන්ම බැටකන්නේ දරුවන් බව බොහෝ යුවළයන්ට අමතක වෙනවා. නමුත් දෙදෙනා අතර නිතර නිතර එකඟ නොවීම් ඇති වෙනවා නම් තත්වය කුමක්ද? එවැනි තත්වයකදී දික්කසාද වීමෙන් “දරුවන්ට යහපතක්” සිදු වන බව සමහරුන්ගේ විශ්වාසයයි. නමුත් පවුලක් තුළ තිබෙන එකඟ නොවීම් වැනි සිද්ධීන් දික්කසාදය තරම් දරුවන්ට බල නොපාන බව මෑත වර්ෂවලදී කළ අධ්‍යයනයන්ගෙන් තහවුරු වී තිබෙනවා. ඒ ගැන එක් පොතක මෙසේ සඳහන් වුණා. “දෙමාපියන් නිතරම වාද කළත් පවුල තුළ සතුටක් නැතත් දරුවන් කැමති වන්නේ දෙමාපියන් සමඟ ජීවත් වීමටයි. අම්මයි තාත්තයි ඔවුන් සමඟ එකට සිටින තාක් කල් ඔවුන් දෙදෙනා නිදාගන්නේ වෙන වෙනමද කියන කාරණය ඔවුන්ට එතරම් වැදගත් නැහැ.”—එම පොත The Unexpected Legacy of Divorce.

කෙසේනමුත් දෙමාපියන් අතර ඇති වන ඝට්ටන ගැන බොහෝවිට දරුවන් දන්නා බවත් දෙදෙනා අතර තිබෙන ප්‍රශ්න ගැටලු දරුවන්ගේ මනස්වලට විශාල බලපෑමක් එල්ල කරන බවත් අප පිළිගත යුතුයි. ඒ නිසා දික්කසාද වීම දරුවන්ට හොඳයි කියා කෙනෙක් සිතනවා නම් එය ලොකු වැරදීමක්. “විවාහය හොඳම තත්වයක නොතිබුණත් මව සහ පියා එකට සිටිනවා නම් නිවස තුළ යම් කටයුතු නිසි පිළිවෙළකට කිරීමටත් දරුවන්ව හොඳින් හික්මවීමටත් එය දෙමාපියන්ට උපකාරයක්” කියා එක් පොතක සඳහන් වුණා.—The Case for Marriage.

ප්‍රතිඵලය කුමක් විය හැකිද? දික්කසාදය දරුවන්ට ඉතා අහිතකර බලපෑමක් ඇති කළ හැකියි. විශේෂයෙන්ම ඔබ සමඟත් දරුවන්ගේ පියා හෝ මව සමඟත් කිට්ටු බැඳීමක් ඇති කරගැනීමට ඔබ ඔවුන්ට උපකාර නොකළොත් එම බලපෑම තවත් උග්‍ර විය හැකියි.— “දික්කසාදය නමැති යුද්ධයට මැදි වූවෝ” යන කොටුව බලන්න.

ඔබ දික්කසාද වීමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් නම් අප මෙතෙක් සලකා බැලූ කරුණු හතර ගැන ඉතා හොඳින් කල්පනා කර බලන්න. කලින් සඳහන් කළාක් මෙන් ඔබේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව අනියම් සම්බන්ධකමක් පටන්ගෙන තිබෙනවා නම් ගත යුතු තීරණය ඔබ සතුයි. ඔබ ගන්නා තීරණය කුමක් වුණත් ඉන් අත් වන ප්‍රතිවිපාක ගැන දැනුවත් වී ඒවාට හොඳින් මුහුණ දීමට සූදානම් වන්න.

සියලු කරුණු සලකා බැලීමෙන් පසු ඔබේ විවාහය රැකගැනීම හොඳම තීරණය බව ඔබට සිතෙන්න පුළුවන්. නමුත් එය කළ හැකි දෙයක්ද?

^ 8 ඡේ. මෙම ලිපියේ සමහර නම් වෙනස් කර ඇත.