Skip to content

පටුනට යන්න

විශ්වාස කළ හැකි පොතක්—2වන කොටස

ඇසිරියාව ගැන බයිබල් වාර්තාව

විශ්වාස කළ හැකි පොතක්—2වන කොටස

බයිබල් ඉතිහාසයේ තිබූ විවිධ ලෝක අධිරාජ්‍යයන් හතෙන්, මෙහි කතා කරන්නේ දෙවෙනි අධිරාජ්‍යය ගැනයි. මෙම එක් එක් අධිරාජ්‍යය ගැන සාකච්ඡා කරන ලිපි මාලාවේ අරමුණ වන්නේ, බයිබලය දෙවිගෙන් ලැබුණු විශ්වසනීය පොතක් බව පෙන්වීම හා මිනිසුන්ගේ අනිසි පාලනය නිසා ඇති වී තිබෙන දුක් වේදනා අවසන් වන බවට බලාපොරොත්තුවක් අප තුළ ඇති කිරීමයි.

ඇසිරියාව යන නම ඇසීම පවා එදා සිටි මිනිසුන් තුළ මහත් බියක් ඇති කළා. දෙවි තම සේවකයෙකු වූ යෝනාට ඇසිරියාවේ අගනුවර වූ නිනිවයට ගොස් දෙවිගේ විනිශ්චය පණිවිඩය ප්‍රකාශ කරන්න කියා පැවසූ විට ඔහු එහි යනවා වෙනුවට වෙනත් දිශාවකට පලා ගියා. (යෝනා 1:1-3) සමහරවිට ඔහු එසේ කරන්න ඇත්තේ ඇසිරියාවේ වැසියන්ට තිබූ බිය නිසා විය හැකියි.

විශ්වාස කළ හැකි තොරතුරු

බයිබල් ලේඛකයෙක් වූ නාහුම්, නිනිවය ගැන පැවසුවේ එය ‘සිංහයන්ගේ ගුහාවක්’ හා ‘ලේ පිපාසිත නගරයක්’ කියායි. ඔහු තවදුරටත් මෙසේද පැවසුවා. “ඇය කෙසේ හෝ ගොදුරක් අල්ලාගන්නීය. අශ්ව රථ මහත් කලබලයකින් ඇගේ වීථි දිගේ ඒ මේ අත දිව යයි. අශ්වයන් දුවන ශබ්දයද රෝද කැරකැවෙන හඬද කස පහරේ හඬද ඇසෙයි. අසරුවෝ වේගයෙන් ඉදිරියට ඇදී එන්නෝය. කඩු ගිනිදලු මෙන් දිස් වෙයි. හෙල්ලද දිදුලයි. බලන බලන සෑම තැනකම ඇත්තේ මළ මිනී පමණි. පය තැබීමටවත් ඉඩක් නැත.” (නාහුම් 2:11; 3:1-3) ඇසිරියාව සහ එහි අගනුවර වන නිනිවය ගැන බයිබලයේ සඳහන් තොරතුරු සත්‍යයයි කියා ඉතිහාසයෙන් ඔප්පු වෙනවාද?

ඇසිරියාව ගැන එක් පොතක මෙවැනි දෙයක් සඳහන් වුණා. “ඇසිරියානු හමුදාව යුද්ධයට දක්ෂයි. ඔවුන්ට අවශ්‍ය වුණේ ඔවුන්ගේ සතුරන්ව දිගටම බියගන්වාගෙන සිටීමටයි.”—Light From the Ancient Past.

ඇසිරියාවේ සිටි දෙවෙනි අෂුනාසිපාල් රජ ඔහුගේ සතුරන්ට සැලකූ ආකාරය, ඔහුම විස්තර කර තිබෙන්නේ මෙසේයි. “එම නගරයේ ප්‍රධාන දොරටුව අසල මම විශාල කුලුනක් ඉදි කළෙමි. එය ඉදි කරන විට සතුරන්ගේ ප්‍රධානීන්ව එයටම තබා බදාම ගැසූ අතර තවත් අයව පණපිටින්ම හම ගසා කුලුන ඒවායින් ආවරණය කළේය. මට විරුද්ධ වූ රාජකීය නිලධාරීන්ගේ අතපය කපා දැමුවේය. විශාල පිරිසක්ව ගින්නෙන් පිලුස්සා දැමුවේය. ඉතිරි වූ අයව වහලුන් ලෙස ගත්තෙමි.” ඇසිරියාවේ රජ මාලිගාවල කැණීම් කළ පුරාවිද්‍යාඥයන්ට ඔවුන්ගේ කෲරකම් දැක්වෙන බිතුසිතුවම් හමු වී තිබෙනවා.

ක්‍රිස්තු පූර්ව 740දී ඇසිරියානුවන් උතුරු ඊශ්‍රායෙලයේ අගනුවර වන සමාරිය අල්ලාගෙන එහි වැසියන්ව වහලුන් ලෙස ගෙන ගියා. තවත් වසර අටකට පසුව ඔවුන් යුදා දේශයත් යටත් කරගත්තා. * (2 රාජාවලිය 18:13) ඉන්පසු යුදාහි හෙසකියා රජගෙන් කප්පමක් ලෙස රන් තලෙන්ත 30ක්ද රිදී තලෙන්ත 300ක්ද සෙනකෙරිබ් රජ ඉල්ලා සිටියා. හෙසකියා රජ ඒ සියල්ල දුන් බව බයිබලයේ සඳහන් වෙනවා. කෙසේවෙතත් කොන්දේසි රහිතව තමාට යටත් වෙන්න කියාත් සෙනකෙරිබ් රජ, හෙසකියා රජට බල කළා.—2 රාජාවලිය 18:9-17, 28-31.

එම සිදු වීම ගැන සඳහන් වන වාර්තාවක්, පුරාවිද්‍යාඥයන් විසින් නිනිවයේ කළ කැණීම්වලදී සොයාගෙන තිබෙනවා. එහි සෙනකෙරිබ් රජ පැවසූ දෙයක් සඳහන් වෙන්නේ මේ ආකාරයටයි. “යුදෙව්වෙක් වන හෙසකියා මගේ අණට කීකරු වූයේ නැහැ. මම ඔහුගේ ප්‍රධාන නගර 46ක්ද ගම්මාන රැසක්ද අල්ලාගත්තෙමි. කුරුල්ලෙක්ව කූඩු කරනවා වගේ මම ඔහුගේම මාලිගාවේ ඔහුව සිර කළෙමි. ඔහු මට රන් තලෙන්ත 30ක්ද රිදී තලෙන්ත 800ක්ද මුතු මැණික්ද තවත් බොහෝ වටිනා වස්තුද කප්පම් ලෙස දුන්ණේය.” නමුත් සෙනකෙරිබ් රජ වාර්තා කළ තරම් රීදී තලෙන්ත ප්‍රමාණයක් ඇත්තටම ඔහුට ලැබුණේ නැහැ.

නමුත් සෙනකෙරිබ් රජ යෙරුසලම යටත් කරගත්තේ නැති නිසා ඔහු ඒ ගැන කිසිවක් සඳහන් කළේ නැහැ. ඊට අමතරව එක් රාත්‍රියකදී ඔහුගේ සෙබළුන් 1,85,000ක් දෙවිගේ දූතයෙක් විසින් මරා දැමූ බවත් ඔහු සඳහන් කර නැහැ. (2 රාජාවලිය 19:35, 36) ඒ ගැන මහාචාර්යය ජැක් ෆිනෙගන් මෙසේ පැවසුවා. “ඇසිරියාවේ සිටි රජවරුන් වාර්තා කළේ තමන්ගේ වීර ක්‍රියා විතරයි. ඒ නිසා සෙනකෙරිබ් ඔහුගේ මෙවැනි පරාජයන් වාර්තා නොකිරීම පුදුමයක් නෙවෙයි.”

විශ්වාස කළ හැකි අනාවැකි

ඇසිරියානු අධිරාජ්‍යය බිඳ වැටීමට වසර 100කට පමණ පෙර අනාගතවක්තෘ යෙසායා මාර්ගයෙන් යෙහෝවා දෙවි මෙවැනි දෙයක් පැවසුවා. “ඇසිරියාවේ රජුගේ අහංකාරකමටත් ඔහු උද්ධච්චකමින් කළ සියලු දේවලටත් නිසි දඬුවම් දෙන්නෙමි.” (යෙසායා 10:12) නිනිවය ගැන නාහුම්ද පැවසුවේ ‘සතුරන් ඉදිරියේ ඔවුන්ගේ ආරක්ෂක දොරටු සියල්ලම විවෘත වී මුළු නගරයම සතුරන් කොල්ල කන’ බවයි. ඊට අමතරව එහි මුරකරුවන් පලා යන බවත් ඔහු පැවසුවා. (නාහුම් 2:8, 9; 3:7, 13, 17, 19) එමෙන්ම අනාගතවක්තෘ ශෙපනියා පැවසුවේ නිනිවය ‘පාළුකරයක් බවට පත් වෙන’ බවයි.—ශෙපනියා 2:13-15.

මේ සියලුම අනාවැකි ක්‍රි.පූ. 632දී ඉටු වුණා. ඒ වසරේදී බැබිලෝනියේ හා මේදියාවේ හමුදාව එක් වී ඇසිරියානු අධිරාජ්‍යය පරාජය කළා. මේ පිළිබඳව බැබිලෝනියෙන් සොයාගත් එක් වාර්තාවක් ලියා තිබුණේ මෙයයි. “ජය ගත් පිරිස නිනිවය නගරයෙන් සහ එහි දේවස්ථානවලින් විශාල වස්තු රැසක් රැගෙන ගියා. ඒ වගේම මුළු නගරයම සුන්බුන් ගොඩක් වුණා.” නවීන දින ඉරාකයේ මෝසුල් නගරයට නුදුරින් ඔබට නිනිවයේ නටබුන් දැකගත හැකියි.

යෙහෝවා දෙවි ක්‍රි.පූ. 740දී පමණ යෙසායා මාර්ගයෙන් ඇසිරියාවේ විනාශය ගැන තවත් අනාවැකියක් පැවසුවා. ඔහු එය පැවසුවේ ඊශ්‍රායෙලයේ දස ගෝත්‍ර රාජ්‍යයේ වැසියන්ව ඇසිරියාව විසින් වහලුන් ලෙස ගෙන ගිය අවස්ථාවේදීයි. දෙවි පැවසුවේ “මම ඇසිරියානු රජුව මගේ දේශයේදීම යටත් කරන්නෙමි” කියායි. ඒ වගේම ‘තම සෙනඟව බේරාගෙන, විසිරී සිටින යුදෙව්වරුන්ව නැවත එක් රැස් කරන’ බවත් ඔහු පැවසුවා. එම අනාවැකියත් ඒ ආකාරයෙන්ම ඉටු වුණා.—යෙසායා 11:11, 12; 14:25.

විශ්වාස කළ හැකි බලාපොරොත්තුවක්

ඇසිරියාවේ සිටි කෲර රජවරුන්ගේ විනාශය ගැන යෙසායා කල් ඇතුව පැවසූ ලෙසම අනාගතයේදී පැමිණීමට නියමිත ධර්මිෂ්ඨ රජෙකු ගැනත් ඔහු පැවසුවා. ඔහු එය විස්තර කළේ මෙසේයි. ‘අපට ළදරුවෙක් උපන්නේය. අපට පුත්‍රයෙකු දෙන ලද්දේය. රාජ්‍ය බලය ඔහුට භාර දෙනු ලබන්නේය. ඔහුව සමාදානයේ කුමාරයා ලෙස හඳුන්වනු ඇත. ඔහු දාවිත්ගේ සිංහාසනය මත හිඳ රාජ්‍ය පාලනය භාරගනියි. ඔහු මෙතැන් පටන් ධර්මිෂ්ඨකමින්ද යුක්තියෙන්ද රජකම් කරමින් සදහටම තම බලය පිහිටුවනු ඇත. ඔහුගේ රාජ්‍ය බලයට සීමාවක් නොතිබෙයි. සමාදානය සදහටම පවතිනු ඇත. ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මහත් ආශාවකින් මේ දේ ඉටු කරන්නේය.’—යෙසායා 9:6, 7.

මේ මුළු පොළොවම පාලනය කිරීමට නියමිත “සමාදානයේ කුමාරයා” වන්නේ යේසුස් ක්‍රිස්තුස් මිස වෙන කිසිවෙකු නොවේ. ඒ කාලයේදී සිදු වන දේ ගැන බයිබලයේ මෙසේ විස්තර කරනවා. “ඔහුගේ පාලන සමයේදී ධර්මිෂ්ඨයා සාර්ථක වන්නේය. සඳ පවතින තෙක් බොහෝ සමාදානය තිබෙන්නේය. මුහුදෙන් මුහුදටද මහ ගංගාවේ සිට පොළොවේ සියලු සීමා දක්වාද ඔහුගේ පාලනය විහිදී යන්නේය.”—ගීතාවලිය 72:7, 8.

“සාමයේ කුමාරයා” මාර්ගයෙන් යෙහෝවා දෙවි මේ දේවල්ද කිරීමට නියමිතයි. “ජනයෙනි, පැමිණ යෙහෝවා දෙවිගේ ක්‍රියා දෙස බලන්න. ඔහු පොළොවේ කර තිබෙන පුදුමාකාර දේවල් දෙසට ඔබේ නෙත් යොමු කරන්න. පොළොවේ සිදු වන සියලු යුද්ධ ඔහු නවත්වා දමන්නේය. දුන්න බිඳ හෙල්ලය කැබලිවලට කඩා දමන්නේය. යුධ රථ ගිනිබත් කරන්නේය.”—ගීතාවලිය 46:8, 9.

මේ පොරොන්දුව ඉටු වීමට පෙර යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලොව පුරා සිටින ජනයාට සාමයෙන් සිටිය හැකි ආකාරය ගැන කියා දෙනවා. යෙහෝවා දෙවි තම පොරොන්දුව ඉටු කරන දාට සිදු වන්නේ මෙයයි. සියලු ජාතීන් “තමුන්ගේ කඩුවලින් නගුල්ද හෙල්ලවලින් දෑකැතිද සාදාගන්නෝය. ඔවුහු තවදුරටත් එකිනෙකාට විරුද්ධව කඩු ඔසවන්නේවත් යුද්ධයට පුහුණු වන්නේවත් නැත.” (යෙසායා 2:4) නමුත් අද තත්වය නම් සෑම වසරකම ලෝකයේ පාලකයන් යුද්ධ සඳහා ට්‍රිලියන 100කට අධික මුදලක් වැය කිරීමයි.

බයිබලය ඇත්තෙන්ම විශිෂ්ට පොතක්. එහි සඳහන් වන ඉතිහාසය සහ අනාවැකි ඉතා නිවැරදියි. සත්‍යය දැනගැනීමට කැමති කෙනෙකුට ඒ බව තේරුම්ගැනීම අපහසු නැහැ. මෙම ලිපි මාලාවේ ඊළඟ ලිපියෙන් සාකච්ඡා කරන්නේ බයිබලයේ සඳහන් තුන්වන අධිරාජ්‍යය ගැනයි. එනම් බැබිලෝනිය ගැනයි.

^ 9 ඡේ. සාලමොන් රජගේ පාලන සමයෙන් පසු ඊශ්‍රායෙලයේ තිබූ ගෝත්‍ර 12 පාලනය කැඩුණා. යූදා සහ බෙන්ජමින් ගෝත්‍ර දකුණු දේශයේ වෙනම පාලනයක් ගෙන ගියා. එහි අගනුවර වුණේ යෙරුසලමයි. අනික් ගෝත්‍ර දහය උතුරු ප්‍රදේශයේ වෙනම පාලනයක් ගෙන ගියා. එහි අගනුවර වුණේ සමාරියයි.