Skip to content

පටුනට යන්න

හොඳ තේරීමක්ද?

හොඳ තේරීමක්ද?

හොඳ තේරීමක්ද?

“අපේ අම්මලා අහන්නේ පරණ තාලේ සින්දු. ඒවාවල කිසි ගතියක් නැහැ.”—ජොර්ඩන්, අවුරුදු 17යි. *

“අපේ පුතා අහන්නේ එයාට සුදුසු නැති සින්දුයි. ඒවා අහන් ඉන්නත් අමාරුයි.”—ජොර්ඩන්ගේ මව වන ඩෙනීස්.

සංගීතය පිළිබඳව දෙමාපියන්ට හා දරුවන්ට තිබෙන අදහස් හරියට අහසට පොළොව වගෙයි. කාලයෙන් කාලයට සංගීතය වෙනස් වෙනවා. ඒ වගේම වයස අනුව කෙනෙක් ප්‍රිය කරන සංගීතයද වෙනස් වෙනවා.

ඔබ කුමන වයසක සිටියත් ඔබේ සිතට විශාල බලපෑමක් කිරීමට සංගීතයට හැකි බව මතක තබාගන්න. හොඳ සංගීතය මගින් කෙනෙකු තුළ සතුට හා ප්‍රේමය වැනි හොඳ හැඟීම් ඇති වෙනවා. ඊට කදිම උදාහරණයක් වන්නේ අතීතයේ සිටි සාවුල් රජයි. ඔහුගේ සිත නොසන්සුන් තත්වයක තිබූ අවස්ථාවක මිහිරි සංගීතයට සවන් දීමෙන් ඔහුගේ සිත සන්සුන් වූ බව බයිබලයේ සඳහන් වෙනවා. (1 සාමුවෙල් 16:23) අනික් අතට නරක සංගීතය මගින් කෙනෙකු තුළ කෝපය හා වෛරය වැනි හැඟීම්ද ඇති විය හැකියි.—හිතෝපදේශ 13:20.

ඒ නිසා බාල මහලු අපි සියලුදෙනාම අප අසන සංගීතය ගැන හුඟක් පරෙස්සම් විය යුතුයි. ඔබ දෙමාපියෙකු නම් ඔබේ දරුවා සවන් දෙන්නේ මොන වගේ සංගීතවලටද කියා සොයා බලන්න.

ඔබේ දරුවා සවන් දෙන සංගීතය එතරම් සුදුසු නැහැ කියා ඔබට සිතුණොත් ඒවා සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ඔබ පෙලඹෙන්න පුළුවන්. නමුත් ඔබ එසේ කිරීමට පෙර ඔහුට සුදුසු සංගීතය කුමක්ද කියා තෝරා දෙන්න. එයට හේතුව එක් පොතක මෙසේ සඳහන් කර තිබුණා. “යම් කෙනෙක් ප්‍රිය කරන දෙයක් ඔහුගෙන් සම්පූර්ණයෙන්ම අයින් කළොත් ඔහු නැවතත් ඒ දේ ලබාගන්න දැඩි උත්සාහයක් දරන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ වන්නේ අයින් කළ දේ වෙනුවට අලුත් දෙයක් ඔහුට දීමයි.”—On Becoming Teenwise.

දෙමාපියෙනි, ඔබ සැලකිලිමත් විය යුතු තවත් වැදගත් දෙයක් වන්නේ ඔබේ දරුවා සංගීතය ඇසීමට කොතරම් කාලයක් වැය කරනවාද යන්නයි. “සෑම දෙයකටම නියමිත කාලයක් ඇත” කියා බයිබලයේද පවසනවා. (දේශනාකාරයා 3:1) ඒ නිසා දරුවන්ගේ පාසැල් වැඩ, ගෙදර දොරේ වැඩකටයුතු හා නමස්කාර කටයුතු වැනි වැදගත් දේවල් සංගීතය නිසා අතපසු වෙනවාද කියා බලන්න.

සමහර යෞවනයන් වැඩි කාලයක් තනිව ගෙවන්න කැමතියි. ඇත්තටම අපි කාටත් තනිව සිටීමට යම් කාලයක් අවශ්‍යයි. යම් දේවල් ගැන ගැඹුරින් සිතා බැලීමට මෙම කාලය අපට උපකාරවත් වෙනවා. (ගීතාවලිය 1:2, 3) නමුත් ප්‍රමාණය ඉක්මවා තනිව සිටිනවා නම් එය නුසුදුසු ආශාවන් පසුපස හඹා යන්න පෙලඹීමක් වෙන්න පුළුවන්. (හිතෝපදේශ 18:1) විසි හැවිරිදි ෆිලිප් මෙවැනි දෙයක් පැවසුවා. “මම හුඟක් වෙලාවට තනියෙම ඉඳන් සින්දු අහනවා. ඒත් අම්මා නම් කියන්නේ මම ඕනෑවට වඩා තනියම ඉන්නවා කියලයි.”

දරුවන් සමඟ මත භේද ඇති නොවන ආකාරයෙන් ඔවුන්ට සුදුසු ගීත තෝරාගන්න උපකාර කළ හැක්කේ කෙසේද? ඒ සඳහා බොහෝ අයට බයිබල් ප්‍රතිපත්ති උපකාරවත් වී තිබෙනවා. ඒ නිසා පහත සඳහන් ප්‍රශ්න තුන ගැන සැලකිලිමත් වීම ප්‍රයෝජනවත් විය හැකියි.

ගීතයෙන් කියවෙන්නේ කුමක් ගැනද? “වේශ්‍යාකම ගැනවත් ඕනෑම ආකාරයක අපවිත්‍ර ක්‍රියා ගැනවත් කෑදරකම ගැනවත් ඔබ අතරේ කිසිසේත් සඳහන් නොකළ යුතුයි” කියා බයිබලයේ පවසනවා. (එෆීස 5:3) නමුත් සමහර ගීතවල කෙළින්ම හෝ වක්‍රාකාරව සඳහන් වෙන්නේ එවැනි දේවලුයි. එක් කර්තෘවරියක් වන කෙරන් ස්ටර්න්හයිම මෙසේ පැවසුවා. “දැන් තියෙන රැප් සංගීත හුඟක් වෙලාවට ස්ත්‍රීන් කෙරෙහි දැඩි වෛරයක් ඇති කරනවා. ඒවාවල අසභ්‍ය වචනත් ඇතුළත්.” සමහර රොක් සංගීතවලත් සැහැසික දේවල් මෙන්ම භූතයන් හා සම්බන්ධ දේවල්ද මුසු කර තිබෙනවා. සමහරවිට අප හොඳයි කියා සිතන ගීතවලත් නුසුදුසු හැසිරීමකට පොලඹවන අදහස් තිබෙනවා විය හැකියි. ඒ නිසා යම් ගීයකට ලස්සන තාලයක් තිබූ පමණින් එය සුදුසුයි කියා සිතන්න එපා. “බුද්ධිමත් ලෙස” ඒවා තෝරා බේරා ගන්න.—රෝම 12:1.

ගීතයක් මගේ හැඟීම්වලට බලපාන්නේ කෙසේද? “සියලු දේටම වඩා ඔබේ සිත ආරක්ෂා කරගන්න. මන්ද ජීවනය නික්මෙන්නේ එයින්ය.” (හිතෝපදේශ 4:23) ඔබ අසන ගීත ඔබේ සිතුවිලිවලට වගේම ක්‍රියාවලටත් විශාල ලෙස බලපානවා. කලින් සඳහන් කළ ජොර්ඩන් පවසන්නේ “සමහර ගීත අහනකොට මට හුඟක් කේන්ති යනවා” කියායි. එසේනම් ඔබෙන්ම මෙසේ අසාගන්න. සාමාන්‍යයෙන් මම සවන් දෙන සංගීතය මගේ මනස සන්සුන් කරනවාද නැත්නම් කලහකාරී හැඟීම් ඇති කරනවාද? ඒ වගේම මම අසන ගීත හැඟීම් අවුස්සනවාද? (කොලොස්සි 3:5) ඔබ සවන් දෙන ගීත, ඔබ තුළ වැරදි හැඟීම් ඇති කරනවා නම් ඥානවන්තම දේ වන්නේ එවැනි ගීත සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමයි. (මතෙව් 5:28, 29) වයස අවුරුදු 17ක් වන හැනා පවසන්නේ මෙයයි. “නුසුදුසු ගීතවලින් මට වෙන්න පුළුවන් හානිය ගැන මම හොඳට දන්නවා. ඒ නිසා මම ඒ වගේ ගීත අහන්න කැමති නැහැ.”

සංගීතය මගේ ගුණ ධර්මවලට හානි කරයිද? “දුෂ්ට දේට පිළිකුල් කර යහපත් දේට ඇලුම් කරන්න” කියා බයිබලයේ පවසනවා. (ආමොස් 5:15) නමුත් අද ‘මිනිස්සු තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින, පුරසාරම් දොඩන, උඩඟු, දෙවිට අපහාස කරන, දෙමාපියන්ට අකීකරු වන, ස්තුතිවන්ත නොවන, ද්‍රෝහිකම් කරන, තමන්ගේම අය කෙරෙහිවත් කිසි සෙනෙහසක් නැති, කිසිම දෙයක් ගැන එකඟ නොවන, නින්දා කරන, තමන්වම පාලනය කරගත නොහැකි, දරුණු, යහපත්කමට කිසි ඇල්මක් නොදක්වන, දෙවිට වඩා විනෝදයට ඇල්මක් දක්වන අයයි.’ ඒ නිසා බයිබලයේ පවසන්නේ “එවැනි අයගෙන් අහක්ව සිටින්න” කියායි.—2 තිමෝති 3:1-5.

එවැනි අයව ඇසුරු කිරීමට ඔබ අකමැති ඇති. නමුත් එවැනි හැසිරීමකට තුඩු දෙන ගීතවලට ඔබ සවන් දෙනවා විය හැකියි. එසේනම් ඔබ කළ යුතු වන්නේ එවැනි ගීත පවා ප්‍රතික්ෂේප කිරීම නොවේද? (එෆීස 4:25, 29, 31) ගීත පිළිබඳව මෙතරම් තේරීමක් කරන්න අවශ්‍ය නම් ඇත්තටම අපට අසන්න දෙයක් ඉතිරි වෙයිද?

තෝරාගන්න සංගීතය ඇති තරම්

සමහර දරුවන් හා දෙමාපියන් තමන් කැමති සංගීතය එකිනෙකා අතර හුවමාරු කරගන්නවා. ඒ ගැන එක් මවක් වන ලීනා මෙවැනි දෙයක් පවසනවා. “මගේ දුවගේ වයස අවුරුදු 13යි. දවසක් එයා කැමතිම සින්දු කිහිපයක් මට අහන්න දුන්නා. එදා ඉඳන් මමත් ඒවා අහන්නේ හරිම ආසාවෙන්.” දහසය හැවිරිදි හෙදර් සහ ඇයගේ දෙමාපියනුත් ඔවුන් කැමති සංගීත තැටි හුවමාරු කරගන්නවා.

ලොව පුරා සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විවිධ සංගීත රස විඳිනවා. ඒ අතරින් ගයමු ගී දෙවි යෙහෝවාට යන ගීතිකා පොතේ සඳහන් ගීතවලට ඔවුන් හුඟක් ප්‍රිය කරනවා. * ඒවායෙහි තාල ඔවුන්ට හුරු පුරුදු නොවුණත් ඔවුන් ඒ ගීත ඉගෙනගන්නේ හුඟක් ආශාවෙන්.

සංගීතය රස විඳීමේ හැකියාව අපට දී තිබෙන්නේ දෙවියි. ඔබ එය අගය කරනවාද නැද්ද කියා ඔබ තෝරාගන්නා සංගීතයෙන් පෙන්නුම් කරයි. දෙවි දී තිබෙන ප්‍රතිපත්තිවලට එකඟව අපි සංගීතය තෝරාගන්නවා නම් දෙවි ඒ ගැන සතුටු වන අතර ඔබත් ඉන් ප්‍රීතියක් ලබයි.—හිතෝපදේශ 27:11.

[පාදසටහන්වල]

^ 2 ඡේ. නම් වෙනස් කර ඇත.

^ 17 ඡේ. මෙම ගීතිකා www.dan124.com යන වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.

[7වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

සමහර ගීත පහත් හැසිරීමකට පොලඹවයි

[8වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

රස විඳිය හැකි ගුණාත්මක සංගීතය ඕනෑ තරම් තිබෙනවා

[7වන පිටුවේ කොටුව]

මම කළ වෙනස්කම්

“මගේ යෞවන කාලය පිරිලා තිබුණේ බීමත්කම, මත්ද්‍රව්‍ය සහ රණ්ඩු දබරවලිනුයි. මට එහෙම වුණේ මම පහත් රැප් සහ නරක රොක් සංගීතයට ඇබ්බැහි වෙලා හිටිය නිසයි. මගේ වීරයන් වුණේ රැප් සහ රොක් ගායකයනුයි.

“දවසක් මම මත්ද්‍රව්‍ය ඕනෑවට වඩා ගත්ත නිසා මැරෙන්න ගියා. එතකොට මට වයස අවුරුදු 17යි. පියවි සිහියට ආවට පස්සේ මම දෙවියන්ට යාච්ඤා කළා. ඒ වෙලාවේ මට මතක් වුණා දෙවිගේ නම යෙහෝවා කියලා එක ළමයෙක් මට කියලා දුන්නා. දෙවිගේ නම පාවිච්චි කරන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නිසා මම ඒගොල්ලන්ට දුරකථන ඇමතුමක් දීලා පස්සේ බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා.

“ටිකෙන් ටික මම මගේ නරක පුරුදු අත්හැරියා. ඒ වගේම මගේ ළඟ තිබුණ CD තැටිත් මම විනාශ කළා. ඒ වෙලාවේ මට ලොකු දුකක් දැනුණා. නමුත් ‘මගේ යෞවන කාලය විනාශ කළේ මේ නරක සංගීතය නේද’ කියලා මම හිත හදාගත්තා.

“දැන් වුණත් රැප් හා රොක් ගීත ඇහෙනකොට මට ආසාවක් ඇති වෙනවා. ඒ නිසා මම පුළුවන් තරම් උත්සාහ කරන්නේ ඒ වගේ අවස්ථාවන් මඟහරින්නයි. මම දැන් අහන්නේ මගේ සිත සන්සුන් කරන, සිතට සතුටක් ගෙනෙන ගීත විතරයි. ඒ වගේම ගීත ඇල්බම් තෝරාගන්නෙත් හොඳට හිතලයි.”—ඈෂ්ලි, අවුරුදු 24යි.

[9වන පිටුවේ කොටුව]

දෙමාපියනි මේ ඔබටයි!

ඔබේ දරුවා සවන් දෙන සංගීතය නොසුදුසුයි කියා ඔබට සිතෙනවාද? එසේනම් විශාල ගැටලුවක් ඇති කරගන්නේ නැතුව ඔබේ දරුවාට උපකාර කළ හැක්කේ කෙසේද? ඒ සඳහා පහත දැක්වෙන කරුණු ඔබට ප්‍රයෝජනවත් වෙයි.

කරුණු සොයා බලන්න. බයිබලයේ පවසන්නේ මෙයයි. “ප්‍රඥාවන්තයා තම වචන හසුරුවන්නේ වටහාගැනීමේ හැකියාව යොදාගෙනයි. අන් අයගේ සිත් දිනාගැනීමටද එය උපකාරවත් වෙයි.” (හිතෝපදේශ 16:23) දරුවන් සමඟ කතා කරන්න කලින් ඔවුන් අසන සංගීතයට සවන් දෙන්න. ඉන්පසුව ඒ සංගීතය ඇත්තටම නුසුදුසුද කියා ඔබට දැනගන්න හැකි වේවි.

බුද්ධිමත්ව කටයුතු කරන්න. ඔබේ දරුවා අසන ගීතවලින් ඔහු සිතන්නේ කුමක්ද කියා යම් අවබෝධයක් ලබාගැනීමට ඔබට හැකි වෙයි. ඒ නිසා දරුවාගෙන් මෙසේ අසන්න. “ඔයා මේ සින්දුවට ආස ඇයි?” ඉන්පසු දරුවා දෙන පිළිතුරට හොඳින් සවන් දෙන්න. බයිබලයේ මෙසේ පවසනවා. “මිනිසෙකුගේ සිතේ කල්පනාව ගැඹුරු ජලය මෙනි. එහෙත් වටහාගැනීමේ හැකියාව ඇති මිනිසා එය ඇදගනියි.”—හිතෝපදේශ 20:5.

උපකාර කරන්න. ඔබට අවශ්‍ය වන්නේ ‘තම වටහාගැනීමේ හැකියාව භාවිත කර හරි වැරැද්ද නිවැරදිව හඳුනාගැනීමට’ ඔබේ දරුවාව පුහුණු කිරීමයි. එවිට තමාට නුසුදුසු දේ ඔහුම ඉවත් කරයි. (හෙබ්‍රෙව් 5:14) ඒ නිසා බයිබලයේ සඳහන් වන ප්‍රතිපත්ති ගැන සොයා බලන්න ඔහුව පුහුණු කරන්න. එසේ කිරීමෙන් තමන්ගේ වටහාගැනීමේ හැකියාව දියුණු කරගන්නත් දෙවි සිතන ආකාරයට දේවල් සිතන්නත් ඔහු පුරුදු වෙයි. එය අන් සෑම දේටම වඩා ඔබේ දරුවාගේ ජීවිතයට හුඟක් වටිනා බව මතක තබාගන්න.—හිතෝපදේශ 2:10-14; 3:13, 14.

ප්‍රේමණීයව හා ඍජුව කියන්න. “ඉමහත් දයානුකම්පාවකින්, කරුණාවන්තකමින්, නිහතමානිකමින්, මෘදුකමින් සහ බොහෝ ඉවසිලිවන්තකමින් කටයුතු කරන්න” කියා බයිබලයේ පවසනවා. (කොලොස්සි 3:12) ඔබේ දරුවා සමඟ මේ ගැන සාකච්ඡා කරන විට ඔවුන් සමඟ වාද කරන්න එපා. ඔහුව හෝ ඇයව තේරුම්ගැනීමට උත්සාහ කරන්න.

[8වන පිටුවේ පින්තූරය]

වැරදි හැඟීම් ඇති කරන ගීත සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න ඔබත් සූදානම්ද?