Skip to content

පටුනට යන්න

ප්‍රීතිමත් යුග දිවියකට මඟ කුමක්ද?

ප්‍රීතිමත් යුග දිවියකට මඟ කුමක්ද?

බයිබලයෙන් පිළිතුරක්

ප්‍රීතිමත් යුග දිවියකට මඟ කුමක්ද?

‘දෙවි මිනිසුන්ව සෑදූ කාලයේදී ඔහු ඔවුන්ව පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් සෑදුවා. “ඒ නිසා මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී තම බිරිඳට ඇලුම් වන්නේය කියාද ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය” කියාද ලියා තිබෙනවා. දෙවි ඔවුන්ව එලෙස එක් කළ නිසා කිසි මිනිසෙක් ඔවුන්ව වෙන් නොකළ යුතුයි’ කියා යේසුස් මතෙව් 19:4-6හි පැවසුවා.

කාලයකට ඉහතදී මිනිසුන් විවාහය සැලකුවේ ජීවිත කාලය පුරාවටම පැවතිය යුතු දෙයක් ලෙසයි. නමුත් දැන් තත්වය වෙනස්. විවාහ දිවියේ ප්‍රශ්න ගැටලු ඇති වූ විට හෝ එකිනෙකා කෙරෙහි මුලින් තිබූ ආකර්ෂණය නැති වූ විට ඔවුන් වෙන් වෙනවා. කනගාටුවට කරුණක් නම් එවැනි දේවල් නිසා අසරණ වන්නේ දරුවනුයි.

අප ජීවත් වන කාලයේදී එනම්, “අවසාන කාලයේදී” පවුල් ජීවිතය ශක්තිමත් කිරීමට අවශ්‍ය වන විශ්වාසවන්තකම, තමන්ගේ අය කෙරෙහි ඇති ස්නේහය වැනි ගුණාංග බොහෝ අය තුළ දක්නට නොලැබෙන බව බයිබලයේ සඳහන් වෙනවා. (2 තිමෝති 3:1-5) පවුල් ජීවිතයට බලපාන එවැනි දේවල් ගැන ඔබ සැලකිලිමත්ද? විවාහය වටිනා දෙයක් කියා ඔබ සිතනවාද?

විවාහය ගැන බයිබලයේ දී ඇති නොවරදින මඟ පෙන්වීම් බොහෝ විවාහක යුවළයන්ට ප්‍රයෝජනවත් වී තිබෙනවා. එවැනි මඟ පෙන්වීම් පහක් පහත සඳහන් වෙනවා. *

ප්‍රීතිමත් යුග දිවියක් සඳහා

(1) විවාහය අනර්ඝ දෙයක් ලෙස සලකන්න. මෙම ලිපිය ආරම්භයේදී යේසුස් පැවසූ වදන්වලින් පෙනී යන්නේ ඔහු විවාහය අනර්ඝ දෙයක් ලෙස සලකන බවයි. යෙහෝවා දෙවිද එසේ සලකන බව බයිබලයේ සඳහන් වෙනවා. අතීතයේදී ඇතැම් පුරුෂයන් තරුණ ස්ත්‍රීන්ව විවාහ කරගැනීමට තම භාර්යාවන්ව අත්හැරියා. ඔවුන්ට දෙවි තදින්ම මෙසේ පැවසුවා. ‘ඔබ තරුණ කාලයේදී විවාහ කරගත් බිරිඳට ද්‍රෝහි වී ඇත. ඔබ ඇයව සහකාරියක ලෙස තෝරාගෙන මුළු ජීවිත කාලය පුරාවටම ඇය සමඟ සිටින්න ගිවිසගත්තා නොවෙයිද? නමුත් ඔබ ඒ ගිවිසුම කඩ කළා.’—මලාකි 2:14-16.

(2) වගකීමෙන් වැඩ කරන ස්වාමිපුරුෂයෙක් වන්න. විවාහ ජීවිතයේ බැරෑරුම් තීරණ ගැනීමට සිදු වන අවස්ථාවලදී එම වගකීම පැවරෙන්නේ ස්වාමිපුරුෂයාටයි. ඊට හේතුව ‘ස්වාමිපුරුෂයා භාර්යාවගේ හිස’ බව බයිබලයේ පවසා තිබීමයි. (එෆීස 5:23) නමුත් පවුලේ හිස වීම පුරුෂාධිපත්‍යය පැතිර වීමට බලපත්‍රයක් නොවෙයි. ඒ වෙනුවට පුරුෂයා හා භාර්යාව එක් කෙනෙකු බව ඔහු තේරුම්ගත යුතුයි. ඒ නිසා ඇයට ගෞරව කිරීමත් පවුලේ තීරණවලදී ඇයව හවුල් කරගැනීමත් අවශ්‍යයි. (1 පේතෘස් 3:7) එමෙන්ම ‘ස්වාමිපුරුෂයන් තම ශරීර ගැන සැලකිලිමත් වෙනවා වගේ තම භාර්යාවන්ට ප්‍රේම කළ යුතුයි.’—එෆීස 5:28.

(3) සහයෝගය දක්වන භාර්යාවක් වන්න. බයිබලයේ භාර්යාවක්ව හඳුන්වන්නේ ස්වාමිපුරුෂයාගේ ‘සහකාරිය’ ලෙසයි. (උත්පත්ති 2:18) ඒ නිසා ඇය කෙදිනකවත් තම ස්වාමිපුරුෂයා සමඟ තරඟකාරී ස්වභාවයකින් ක්‍රියා කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔහුට සහයෝගය දක්වමින් පවුල තුළ සාමය පවත්වාගෙන යෑමට ක්‍රියා කරනවා. බයිබලයේ පවසන්නේ ‘භාර්යාවන් තම ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටිය යුතුයි’ කියායි. (එෆීස 5:22) නමුත් ස්වාමිපුරුෂයා පවසන දෙයකට එකඟ විය නොහැකි අවස්ථා මතු විය හැකියි. එවිට භාර්යාව ඇගේ අදහස් ස්වාමිපුරුෂයාට ගෞරවනීයව හා යටහත්පහත්ව පැවසිය යුතුයි. ස්වාමිපුරුෂයා තමන්ට කතා කරනවාට කැමති ආකාරයටම ඇයද ඔහුට කතා කිරීම සුදුසුයි.

(4) අභියෝගවලට මුහුණ දෙන්න සූදානම් වන්න. ආර්ථික ප්‍රශ්න, බරපතළ අසනීප හෝ දරුවන්ව ඇති දැඩි කිරීම වැනි අභියෝග නිසා විවාහකයන් අතර ප්‍රශ්න ගැටලු මතු විය හැකියි. බයිබලයේද පවසන්නේ ‘විවාහ වන අයට ජීවිතයේ දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදු’ වන බවයි. (1 කොරින්ති 7:28) නමුත් විවාහ බැඳීම පලුදු වීමට ඒවා හේතුවක් කර නොගත යුතුයි. විවාහකයන් එකිනෙකාට ප්‍රේම කරනවා නම් දේවවචනය තුළින් ප්‍රඥාව ලබාගන්නවා නම් ගැටලු නිරාකරණය කරගත හැකියි. බයිබලයේ මෙසේ පවසනවා. ‘තමාට ප්‍රඥාව අඩුයි කියා යමෙකුට හැඟෙනවා නම් එය ඔහුට නොකඩවා දෙවිගෙන් ඉල්ලිය හැකියි. එවිට දෙවි අදිමදි නොකර සියල්ලන්ට ප්‍රඥාව ත්‍යාගශීලීව ලබා දෙයි.’—යාකොබ් 1:5.

(5) එකිනෙකාට විශ්වාසවන්ත වන්න. දික්කසාද වීමට ඇති එකම පදනම වන්නේ තම විවාහක සහකරු හැර වෙනත් කෙනෙකු සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීම බව බයිබලයේ පවසනවා. (මතෙව් 19:9) බයිබලයේ මෙසේද සඳහන් වෙනවා. “විවාහය සියලුදෙනා ගෞරවයෙන් සැලකිය යුතු දෙයකි. එලෙසම විවාහයට කිසිදු කැළැලක් සිදු වීමට ඉඩ නොදිය යුතුයි. මන්ද වේශ්‍යාකමෙහි සහ අනාචාරයෙහි යෙදෙන සියලුදෙනාටම දෙවිගේ විනිශ්චය ලැබේ.” (හෙබ්‍රෙව් 13:4) වෙනත් කෙනෙකු මාර්ගයෙන් තම ලිංගික ආශාවන් ඉටු කරගැනීමෙන් වැළකී සිටීම සඳහා විවාහකයන් කළ යුතු දේ ගැන බයිබලයේ මෙසේ පවසනවා. “ස්වාමිපුරුෂයා සහ භාර්යාව අඹුසැමියන් ලෙස එකිනෙකාගේ අවශ්‍යතා ඉටු කර දිය යුතුයි.”—1 කොරින්ති 7:3, 4.

විවාහය සම්බන්ධයෙන් අප ඉහත සාකච්ඡා කළ තොරතුරු යල් පැන ගිය ඒවා කියා කෙනෙක් සිතිය හැකියි. නමුත් කෙනෙක් බයිබලයේ සඳහන් මඟ පෙන්වීම් ජීවිතයේ සෑම කාරණයකදීම ඒනම්, විවාහ ජීවිතයේදී පවා අදාළ කරගන්නවා නම් ඔහුට සාර්ථක විය හැකියි. දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව ක්‍රියා කරන කෙනෙක් ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ඔහු දිය දහරා අසල සිටෙව්වාවූ, නියම වාරයට පල හටගන්නාවූ, කොළ මැලවී නොයන්නාවූ ගසක් මෙන් වන්නේය. ඔහු කරන සෑම දෙයක්ම සාර්ථක වන්නේය.”ගීතාවලිය 1:2, 3.

[පාදසටහන]

^ 6 ඡේ. වැඩි විස්තර සඳහා 2011 පෙබරවාරි 1 මුරටැඹ සඟරාව බලන්න.

මේ ගැන ඔබ සිතුවාද?

● දික්කසාද වීම දෙවි සලකන්නේ කොහොමද?—මලාකි 2:14-16.

● ස්වාමිපුරුෂයෙක් භාර්යාවට සැලකිය යුත්තේ කොහොමද?—එෆීස 5:23, 28.

● විවාහ දිවිය සාර්ථක කරගැනීමට ප්‍රඥාවන්ත උපදෙස් ලබා දෙන්නේ කවුද?—ගීතාවලිය 1:2, 3.