Skip to content

පටුනට යන්න

ඔවුන් විඳින වේදනාව තේරුම්ගනිමු!

ඔවුන් විඳින වේදනාව තේරුම්ගනිමු!

ඔවුන් විඳින වේදනාව තේරුම්ගනිමු!

“මගේ පපුව ගැහෙන්න පටන්ගත්තා. මට දැනුණේ හුස්ම හිරවුණා වගේ. හොඳටම දාඩියත් දැම්මා. ලොකු භයක් ඇති වුණා. මනසත් නිකං අවුල් වෙලා වගේ දැනුණා.”—සන්ත්‍රාසය නිසා ඇති වන අක්‍රමතාව නමැති රෝගයෙන් පෙළෙන, අවුරුදු හතළිස් ගණන්වල පසු වන ඉසබෙලා.

ඕනෑම කෙනෙකුට කාංසාවක් ඇති වීම සාමාන්‍යයි. උදාහරණයකට දරුණු බල්ලෙක් අප ඉදිරියට පැමිණියොත් බියක් ඇති වීම සාමාන්‍යයි. බල්ලා එතැනින් ගිය පසු බිය අඩු වී යනවා. නමුත් කාංසාමය රෝගී තත්වයකින් පෙළෙන කෙනෙක් ක්‍රියා කරන්නේ ඊට වඩා වෙනස් විදිහටයි. එනම් බල්ලා එතැනින් ගිය පසුවත් දිගින් දිගටම බියට පත් වෙනවා.

එලෙස දිගින් දිගටම බියෙන් පසු වෙනවා නම් එය රෝගී තත්වයක්. එක්සත් ජනපදයේ මානසික සෞඛ්‍ය පිළිබඳ ජාතික ආයතනය මෙවැනි වාර්තාවක් සපයනවා. “ඇමරිකාවේ වෙසෙන අවුරුදු 18ක් සහ ඊට වඩා වැඩි වයස් කාණ්ඩවලට අයත් පුද්ගලයන් මිලියන 40ක් පමණ කාංසාමය රෝගී තත්වයන්ගෙන් පෙළෙනවා.” මෙම ලිපිය ආරම්භයේදී සඳහන් කළ කාන්තාවත් එවැනි කෙනෙක්.

එවැනි රෝගයක් තිබෙන විට රෝගියා පමණක් නොව ඔහුගේ පවුලේ අයටත් එය විශාල පීඩනයක්. නමුත් එවැනි පීඩාකාරී තත්වයන්ගෙන් මිදීමට ප්‍රතිකාර තිබෙන බව ඉහත සඳහන් සෞඛ්‍ය සංවිධානය පවසනවා. එය ඇත්තෙන්ම සහනයක්.

කාංසාමය රෝගී තත්වයන්ගෙන් පෙළෙන කෙනෙකුට උපකාර කිරීමට පවුලේ අයට හා හිතමිතුරන්ට කළ හැක්කේ කුමක්ද?

කළ හැකි දේ

තත්වය තේරුම්ගන්න: පොදු කාංසා අක්‍රමතාවෙන් හා පශ්චාත් ව්‍යසන ක්ලමත අක්‍රමතාවෙන් පෙළෙන මොනිකා තම දුක්බර හැඟීම් මෙසේ ප්‍රකාශ කරනවා. “ගොඩක් අයට මගේ මානසික තත්වය තේරෙන්නේ නැහැ.”

ඒ හේතුව නිසා කාංසාමය රෝගී තත්වයෙන් පෙළෙන බොහෝදෙනෙක් තමන්ගේ හැඟීම් අන් අයගෙන් සැඟවීමට උත්සාහ දරනවා. මෙය ඔවුන්ගේ පීඩාකාරී තත්වය දරුණු වීමට හේතු වෙයි. ඒ නිසා පවුලේ අය සහ හිතමිතුරන් ඔවුන්ට උපකාර කිරීම ඉතා වැදගත්.

දැනුවත් වෙන්න: එවැනි පීඩාකාරී තත්වයක් අද්දකින කෙනෙක් පවුලේ සිටිනවා නම් හෝ ඔබ එවැනි කෙනෙකුව කිට්ටුවෙන් ඇසුරු කරනවා නම් එම රෝගය ගැන දැනුවත්ව සිටීම ප්‍රයෝජනවත් වෙයි.

සැනසීම ලබා දෙන්න: තෙසලෝනික නගරයේ සිටි ක්‍රිස්තියානීන්ට බයිබල් ලේඛකයෙක් වූ පාවුල් මෙසේ දිරිගැන්වුවා. “දිගටම එකිනෙකාව සනසවමින් එකිනෙකාව ශක්තිමත් කරන්න.” (1 තෙසලෝනික 5:11) අප පවසන වචනවලින් හා අප කතා කරන විලාසයෙන් සැනසීම ලබා දිය හැකියි. එසේ කිරීමෙන් ඔබ ඔවුන් ගැන සැලකිලිමත් බව පෙන්වන්න.

බයිබලයේ සඳහන් යෝබ් නමැති තැනැත්තාගේ අද්දැකීමෙන්ද අපට යමක් ඉගෙනගත හැකියි. ඔහුව සනසවන්න පැමිණි මිතුරන් සැබෑ මිතුරන් නොවෙයි. මන්ද ඔවුන් යෝබ්ට චෝදනා කළේ ඔහු කළ වැරැද්ද සඟවන නිසා ඔහු පීඩා විඳිනවා කියායි.

යෝබ්ගේ මිතුරන් මෙන් නොවී කෙනෙකුගේ මානසික තත්වය තේරුම්ගැනීමට උත්සාහ කරන්න. හොඳින් සවන් දෙන්න. ඔවුන්ගේ තත්වයේ ඔබ සිටියා නම් ඔබට කෙසේ දැනෙයිද කියා සිතා බලන්න. යෝබ්ගේ මිතුරන් එලෙස ක්‍රියා කළේ නැහැ. ඒ නිසා යෝබ් ඔවුන්ව හැඳින්වූයේ ‘මාගේ සිත බිඳ දැමූ’ මිතුරන් කියායි.—යෝබ් 16:2.

පීඩා විඳින අයට තමන්ගේ හැඟීම් නිදහසේ ප්‍රකාශ කරන්න ඉඩ දෙන්න. එවිට ඔවුන්ගේ තත්වය තේරුම්ගැනීමට ඔබට හැකි වෙයි. එසේ කරනවා නම් ඔවුන්ට සැනසීමක් මෙන්ම සතුටක් ගෙන දෙන්න ඔබට පුළුවන්.

[27වන පිටුවේ කොටුව/පින්තූරය]

මානසික අක්‍රමතා

පවුලේ කෙනෙකු හෝ කිට්ටු මිතුරෙකු මානසික අක්‍රමතාවකින් පෙළෙනවා නම් ඒ ගැන දැනුවත් වී සිටීම ඉතා වැදගත්. මානසික අක්‍රමතා පහක් ගැන දැනුවත් වෙමු.

සන්ත්‍රාසය නිසා ඇති වන අක්‍රමතාව. (Panic Disorders) මේ ලිපියේ ආරම්භයේ සඳහන් කළ ඉසබෙලාගේ අද්දැකීම නැවත වරක් සලකා බලන්න. ඇයට බියක් දැනුණේ ඇය මුහුණ දුන් තත්වය නිසාම නොවෙයි. “නැවතත් ඒ වගේ දෙයකට මුහුණ දෙන්න සිදු වෙයි කියලා මට ලොකු භයක් දැනෙනවා” කියා ඇය පවසනවා. එවැනි අක්‍රමතාවකින් පෙළෙන කෙනෙක් තමන් අමිහිරි අද්දැකීම් ලද ස්ථාන මඟහරියි. සමහර අය කොතරම් අන්තයට යනවාද කියනවා නම් නිවසටම කොටු වෙයි. ඒ වගේම විශ්වාසවන්ත කෙනෙක් නැතුව සමහර ගමන්බිමන් යෑම ප්‍රතික්ෂේප කරයි. ඉසබෙලා මෙසේ පවසයි. “තනියම ඉන්න මම හරිම භයයි. ඒත් අම්මා ඉන්නවා නම් මට ලොකු ආරක්ෂාවක් දැනෙනවා.”

ග්‍රස්ථිය අනිවාර්යතා අක්‍රමතාව. (Obsessive-Compulsive Disorder) මෙම අක්‍රමතාවෙන් පෙළෙන කෙනෙක් එකම ක්‍රියාව නැවත නැවතත් සිදු කරයි. උදාහරණයකට තමන් අත සේදුවත් අත පිරිසිදු නැහැ කියා සිතමින් නැවත නැවතත් අත සෝදයි. රෙනාන් මෙසේ පවසනවා. “මගේ අතින් වුණ වැරදි ගැන හිතහිතා දුක් වෙනවා. ඒක මට මානසික වදයක්.” මේ නිසා ඔහු නිතරම අන් අය සමඟ ඒ ගැන කතා කරමින් සහනයක් බලාපොරොත්තු වෙනවා. වෛද්‍ය ප්‍රතිකාර නිසා ඔහුට එම තත්වය මර්දනය කරගැනීමට හැකි වී තිබෙනවා. *

පශ්චාත් ව්‍යසන ක්ලමත අක්‍රමතාව. (Post-Traumatic Stress Disorders) මෙම යෙදුම භාවිත කරන්නේ දරුණු ව්‍යසනයකට මුහුණ දුන් අය අද්දකින මානසික තත්වය විස්තර කිරීමටයි. මෙම මානසික රෝගයෙන් පෙළෙන අය සුළු දේටත් තිගැස්සීම, නුරුස්සනා ගතිය, හැඟීම් දැනීම් නැති කෙනෙකු සේ සිටීම, කලින් ආශාවෙන් කළ දේවලට දැන් ප්‍රිය නොකිරීම, ආදරයෙන් සැලකූ අයට දැන් එසේ නොකිරීම වැනි ලක්ෂණ පෙන්නුම් කරයි. ඒත් සමහර රෝගීන් දරුණු වී සැහැසික දේ කිරීමට පවා පෙලඹෙන අතර තමන් ලද අමිහිරි අද්දැකීම මතක් වෙන තත්වයන් මඟහරියි.

සමාජ භීතිකාව. (Social Phobia, or Social Anxiety Disorder) සමාජ ඇසුරට අසාමාන්‍ය ලෙස බියක් දැක්වීම හෝ අනවශ්‍ය ලෙස ඒ ගැන කරදර වෙයි. අන් අය තමන් කෙරෙහි අවධානය යොමු කරයි යන බිය සමහර අයට තිබෙනවා. යම් විශේෂ අවස්ථාවකට යෑමට තිබෙන විට ඒ ගැන දවස් ගණන් හෝ සති ගණන් තිස්සේ අනවශ්‍ය ලෙස කනස්සලු වෙයි. ඔවුන් කොතරම් කනස්සලු වෙනවාද කියනවා නම් එය පාසැල් කටයුතු හා රැකියාව වැනි එදිනෙදා කටයුතුවලටද බලපායි.

පොදු කාංසා අක්‍රමතාව. (Generalized Anxiety Disorder) කලින් සඳහන් කළ මොනිකා නමැති කාන්තාව පීඩා විඳින්නේ පොදු කාංසා අක්‍රමතාවෙනුයි. ඇය එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය වැඩකටයුතු ගැන අසාමාන්‍ය ලෙස කනස්සලු වෙයි. ප්‍රශ්නයක් ඇති වීමට පෙර ඒ ගැන උපකල්පනය කරමින් භය වෙයි. එමෙන්ම සෞඛ්‍යය ගැන, පවුල ගැන, ආර්ථිකය ගැන සීමාව ඉක්මවා කනස්සලු වෙයි. *

[පාදසටහන්වල]

^ 19 ඡේ. පිබිදෙව්! සඟරාව යම් විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් නිර්දේශ කරන්නේ නැහැ.

^ 22 ඡේ. මෙම තොරතුරු ලබාගෙන තිබෙන්නේ එක්සත් ජනපදයේ මානසික සෞඛ්‍යය හා මානව සේවා දෙපාර්තුමේන්තුවෙනුයි.

[26වන පිටුවේ පින්තූරය]

සැනසීම ලබා දෙන්න