Skip to content

පටුනට යන්න

ඔබට සාමකාමී පුද්ගලයෙක් විය හැකියි!

ඔබට සාමකාමී පුද්ගලයෙක් විය හැකියි!

ඔබට සාමකාමී පුද්ගලයෙක් විය හැකියි!

සමහරවිට කෙනෙකුට යම් නරක ගතිගුණ උපතින්ම උරුම වෙන්න පුළුවන්. ඒත් කිසිවෙක් සැහැසික පුද්ගලයෙක් ලෙස උපදින්නේ නැහැ. යමෙක් සැහැසික පුද්ගලයෙක් වන්නේ ඔහු එය ඉගෙනගන්නා නිසයි. එසේනම් සාමකාමී පුද්ගලයෙක් වීමටත් ඉගෙනගත හැකියි. සාමකාමී කෙනෙක් වීමට උගන්වන්න පුළුවන් කාටද? එය කළ හැක්කේ ප්‍රඥාවෙන් පූර්ණ අපගේ නිර්මාතෘ වන යෙහෝවා දෙවිටයි. බයිබලයේ ඇති ප්‍රඥාවන්ත වදන් කිහිපයක් සලකා බලමු.

1 “දාමරිකයන්ට ඊර්ෂ්‍යා නොකරන්න.” (හිතෝපදේශ 3:31) සැබෑ ශක්තිය තිබෙන්නේ තමන්ව පාලනය කරගත හැකි මෘදු පුද්ගලයන් ළඟයි. “ඉක්මනින් කේන්ති නොගන්න තැනැත්තා බලවන්තයෙකුට වඩා ශක්තිමත්ය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 16:32) ජල කන්දරාවක් දරා සිටින වේල්ලක් සේ ඔහුට කෝපය පාලනය කරගත හැකියි. ඔහු එවැනි අවස්ථාවකදී මෘදුව ක්‍රියා කරන නිසා ඔහුගේ “කෝපය නිවී යයි.” (හිතෝපදේශ 15:1) නමුත් කෝපය පාලනය කර නොගන්නා කෙනෙක් සුළු කාරණයකදී පවා කිපෙයි.—හිතෝපදේශ 25:28.

2 මිතුරන්ව තෝරාගැනීමේදී කල්පනාකාරී වන්න. “දරුණු මිනිසෙක් තම අසල්වැසියාව රවටා ඔහුව වැරදි මඟක ගෙන යයි.” (හිතෝපදේශ 16:29) නමුත් ‘ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන අය ප්‍රඥාවන්ත වෙයි.’ (හිතෝපදේශ 13:20) මෘදුකමින් හා ආත්මදමනයෙන් ක්‍රියා කරන අයව ඇසුරු කිරීමෙන් අපත් ඔවුන්ව ආදර්ශයට ගැනීමට පෙලඹෙයි.

3 අන් අයට අවංකවම ප්‍රේම කරන්න. ප්‍රේමය සම්බන්ධයෙන් හොඳම අර්ථකථනය සඳහන් වන්නේ බයිබලයේයි. එහි මෙසේ සඳහන් වෙයි. ‘ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා බොහෝ ඉවසිලිවන්තය, කරුණාවන්තය. ඉක්මනින් කෝප වන්නේ නැත. ඔහු අමනාපයක් සිතේ තබාගන්නේ නැත. ඔහු සියල්ල ඉවසා දරාගනියි. සියල්ල විඳදරාගනියි.’ (1 කොරින්ති 13:4-7) දෙවි මෙන් අන් අයට ප්‍රේම කරන කෙනෙක් සතුරන්ටත් ප්‍රේම කරනවා කියා යේසුස් පැවසුවා.—මතෙව් 5:44, 45.

4 පළි නොගෙන දෙවිට කාරණය භාර දෙන්න. ‘කාටවත් නපුරට නපුර නොකරන්න. මිනිසුන් සමඟ සමාදානයෙන් සිටීමට ඔබට පෞද්ගලිකව කළ හැකි උපරිමය කරන්න. හිතවත් සහෝදරයෙනි, පළිගැනීමෙන් වළකින්න. මන්ද ලියවිලිවල සඳහන් ආකාරයට, යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. දඬුවම් කරන්නේ මමය කියා යෙහෝවා දෙවි පවසන්නේය.’ (රෝම 12:17-19) දෙවි කෙරෙහිත් ඔහුගේ පොරොන්දු කෙරෙහිත් විශ්වාසයක් තිබෙන විට අපේ සිතට සහනයක් ලැබෙයි. නමුත් දෙවි කෙරෙහි විශ්වාසයක් නැති කෙනෙකුට එය තේරුම්ගන්න බැහැ.—ගීතාවලිය 7:14-16; ෆිලිප්පි 4:6, 7.

5 දෙවිගේ රාජ්‍යය ලොවට සාමය ගෙනන තුරු බලා සිටින්න. දෙවිගේ රාජ්‍යය යනු ස්වර්ගයේ ස්ථාපිත කර තිබෙන ආණ්ඩුවක්. එම රාජ්‍ය ළඟදීම ලෝකයේ තිබෙන සියලු දුෂ්ටකම් ඉවත් කර මිනිස් වර්ගයාව පාලනය කිරීම ආරම්භ කරයි. (ගීතාවලිය 37:8-11; දානියෙල් 2:44) “ඔහුගේ පාලන සමයේදී ධර්මිෂ්ඨයා සාර්ථක වන්නේය. සඳ පවතින තෙක් බොහෝ සමාදානය තිබෙන්නේය” කියා බයිබලයේ සඳහන් වෙනවා.—ගීතාවලිය 72:7.

බයිබලයේ සඳහන් එම ඉගැන්වීම්වලින්, සැහැසික දේවලට ඇල්මක් දැක්වූ අය ඇතුළුව මිලියන ගණන් ජනයා සාමකාමී පුද්ගලයන් වී තිබෙනවා. සැල්වාඩෝ ගාර්සාගේ අද්දැකීම බලමු.