Skip to content

පටුනට යන්න

4 සීමා තහංචි පැහැදිලි කර දෙන්න

4 සීමා තහංචි පැහැදිලි කර දෙන්න

“තනියම දරුවන්ව හදන එක ලෙහෙසි නෑ. විශේෂයෙන්ම ළමයි ලොකු වෙද්දී ඒගොල්ලන් මුරණ්ඩු වෙන නිසා ඒක තවත් අමාරුයි.”—දකුණු අප්‍රිකාවේ ඩල්සි.

අභියෝගය.

“අවසාන කාලයේදී” දරුවන් “දෙමාපියන්ට අකීකරු වන” බව බයිබලයේ සඳහන් වෙනවා.—2 තිමෝති 3:1, 2.

යෝජනා.

දරුවන්ගේ ජීවිතය සාර්ථක වෙන්න නම් ඔවුන්ට සීමා තහංචි අවශ්‍යයි. (The Single Parent Resource) දරුවන්ට හා පවුල්වලට උපදෙස් ලබා දෙන මනෝ වෛද්‍යවරයෙක් වන බැරී ජී. ජීන්ස්බර්ග් මෙසේ පවසනවා. “පවුල තුළ දමා තිබෙන සීමා තහංචි ගැන දරුවන්ට පැහැදිලි අවබෝධයක් තියෙනවා නම් ප්‍රශ්න ගැටලු අඩුයි. එතකොට බැඳීම් ශක්තිමත් වෙයි.” එසේනම් සීමා තහංචි දැමීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?

කියපු දේ ඒ විදිහටම කරන්න. (මතෙව් 5:37) දෙමාපියන් දමන සීමා තහංචි දරුවන්ට අවශ්‍ය විදිහට වෙනස් කරද්දී ඔවුන්ව හික්මවීම අපහසු බව ඕස්ට්‍රේලියාවේ කළ අධ්‍යයනයකින් හෙළි වුණා. “දරුවෙකුට හිතුමතේට ක්‍රියා කරන්න ඉඩහැරියොත් ඔහු තම මවව ලැජ්ජාවට පත් කරයි” කියා බයිබලයේද සඳහන් වෙනවා.—හිතෝපදේශ 29:15.

ඔබත් ඔබේ දරුවනුත් මුහුණ දෙන තත්වයට හේතුව ඔබේ අතින් සිදු වූ වරදක් කියා සිතමින් දරුවන් කරන සෑම දෙයකටම ඉඩ දෙන්න එපා. කලින් සඳහන් කළ යාස්මින් මෙසේ පවසනවා. “මගේ දරුවෝ දෙන්නට පොඩි කාලේ තාත්තගෙ රැකවරණය ලැබුණේ නෑ. ඒ ගැන මට හරි දුකයි.” නමුත් දරුවන්ට යම් හික්මවීමක් ලබා දීමට අවශ්‍ය වූ විට ඇය එම හැඟීම බාධාවක් කරගත්තේ නැහැ.

දඬුවම වෙනස් කරන්න එපා. “වරදකට දෙන දඬුවම ගැන දරුවන්ට කලින්ම කියා තිබෙනවා නම් ඔවුන් වැරදි කිරීමෙන් වළකිනවා. ඒ වගේම දඬුවමක් ලැබෙන විට කලකිරීමට පත් වන්නෙත් නැහැ.” (American Journal of Orthopsychiatry) යාස්මින් ඒ කාරණය හසුරවන්නේ මෙසේයි. “වරදක් කළොත් ඒකට දෙන දඬුවම මොකද්ද කියලා මම පුතාලට කියලා තියෙනවා. එයාලා අතින් ඒ වරද වුණාම කියපු දඬුවම ඒ විදිහටම දෙනවා. හැබැයි දඬුවම් කරන්න කලින් ඒගොල්ලන් කියන දේටත් මම ඇහුම්කන් දෙනවා. ඒ වගේම එයාලා කරපු වරදේ බරපතළකමත් අවබෝධ කරලා දෙනවා.”

සාධාරණ වෙන්න, කෝපයෙන් දඬුවම් නොකරන්න. වරදකට දඬුවම් දිය යුතු වුණත් යම් සාධාරණ හේතු තිබෙනවා නම් ඔබට වෙනස් වීමට සිදු වෙයි. බයිබලයේ සඳහන් වන්නේ දෙවිගෙන් ‘පැමිණෙන ප්‍රඥාව තිබෙන කෙනෙකු සාධාරණ ලෙස කටයුතු කරන’ බවයි. (යාකොබ් 3:17) එවැනි කෙනෙක් කලබල වන්නේවත් කෝපයෙන් ක්‍රියා කරන්නේවත් නැහැ. ඒ වගේම වෙනස් නොවන දරුණු පුද්ගලයෙක්ද නොවෙයි. ඔහු කාරණා හොඳින් සිතා බලා සන්සුන් ලෙස කටයුතු කරන අතර සමහර කාරණාවලදී දෙවිගේ උපකාරයද පතයි.

දරුවන්ට සීමා තහංචි දැමීමේදී ඔබ කියපු දේ ඒ විදිහටම කරනවා නම් දඬුවම වෙනස් නොකරනවා නම් සාධාරණ ලෙස කටයුතු කරනවා නම් සහ හොඳ ආදර්ශයක් තබනවා නම් අසීරු කාලවලදී වුණත් ඔබේ දරුවාට සාර්ථක විය හැකියි.