Skip to content

පටුනට යන්න

නිර්මාණයක්ද?

වලිගෙන් වැඩ දාන කටුස්සා

වලිගෙන් වැඩ දාන කටුස්සා

පැතලි මතුපිටක ඉඳන් බිත්තියකට පනින එක ඇගමා කටුස්සාට මහ දෙයක් නෙමෙයි. හැබැයි පැතලි මතුපිට ලිස්සනසුලු නම් පනිද්දී උගේ සමබරතාවය නැති වුණත් ඌ කොහොමහරි පැනගන්නවා. රහස තියෙන්නේ උගේ වලිගේ!

මේ ගැන සිතන්න: මතුපිට රළුයි නම් කටුස්සාගේ පාදවලට ඒක හොඳට අහු වෙන නිසා සමබරව බිත්තියේ ඕන තැනට පනින්න ඌට අමාරු නෑ. ඒ වෙලාවට උගේ වලිගෙ තියෙන්නේ පහළට. හැබැයි ලිස්සනසුලු මතුපිටක ඉඳන් පනිද්දී උගේ පාද ලිස්සන නිසා සමබරව නියමිත තැනට පනින්න බැරි වෙනවා. “ඒ වගේ වෙලාවට අතරමඟ නොවැටී හරි තැනට පනින්න ඌ වලිගෙ උස්සලා සමබරතාවය හරියටම හදාගන්නවා” කියලා කැලිෆෝර්නියාවේ විශ්ව විද්‍යාලයේ වාර්තාවක තිබුණා. මතුපිට ලිස්සනසුලු බව වැඩි වෙන තරමට හරි තැනට පනින්න කටුස්සා ගුවනේදී උගේ වලිගේ උස්සන ප්‍රමාණයත් වැඩි කරගන්නවා.

ස්වාභාවික විපත්වලදී සුන්බුන්වලට යට වුණ අයව හොයාගන්න පුළුවන් රොබෝවරු හදන්න ඉංජිනේරුවන් බලාපොරොත්තු වෙනවා. ඕනෑම මතුපිටක පෙරලෙන්නැතුව ගමන් කරන්න පුළුවන් රොබෝවරුන් හදන්න මේ කටුස්සාගේ වලිග උපක්‍රමය උදව් වෙනවා. “කටුස්සන්ට තියෙන හැකියාව රොබෝවරුන්ට නැහැ. ඒත් උන්ගෙන් අපි ඉගෙනගන්න දේ රොබෝවරුන්ව වැඩි දියුණු කරන්න උදව් වෙනවා” කියලා පර්යේෂකයෙක් කිව්වා.

ඔබේ නිගමනය කුමක්ද? ඇගමා කටුස්සාට උගේ වලිගෙන් එතරම් දෙයක් කරන්න හැකියාව ලැබුණේ අහම්බෙන්ද? නැත්නම් එය බුද්ධිමත් තැනැත්තෙකුගේ නිර්මාණයක්ද?