Skip to content

පටුනට යන්න

මේ ඔබේ පවුලටයි | යෞවනයන්ට

යාළුවන්ට ඕන විදිහටද ඔයා වැඩ කරන්නේ?

යාළුවන්ට ඕන විදිහටද ඔයා වැඩ කරන්නේ?

ප්‍රශ්නය

“පොඩි පන්තිවල ඉන්නකොට ළමයි මාව ගණන් ගත්තේ නෑ. යාළුවෝ නැති එක ලොකු අඩුවක් වගෙයි මට දැනුණේ. ඒ නිසා ලොකු පන්තියට ගියාම මම එයාලට ඕන විදහට වෙනස් වුණා. හැබැයි ඒක හොඳ අතට වුණ වෙනසක් නම් නෙමෙයි.”—16 හැවිරිදි ජෙනිෆ. *

ඔයාටත් යාළුවන් නිසා පීඩනයක් දැනෙනවාද? එහෙමනම් මේ ලිපියේ තියෙන මඟ පෙන්වීම් ඔයාට උදව් වෙයි.

යාළුවන්ට ඕන විදිහට වැඩ කළොත් ඔයත් හරියට වෙන කෙනෙක් අතින් පාලනය වෙන රොබෝ කෙනෙක් වගෙයි. ඔයා ආසද එහෙම වෙන්න? ඒ වගේ දේකට ඇයි ඔයා ඉඩ දෙන්නේ?රෝම 6:16.

ඔබ දැනගත යුතු දේ

හොඳ අයත් යාළුවෝ නිසා නරක දේවල් කරන්න පෙලඹෙනවා.

“නරක ආශ්‍රය නිසා ඔබේ හොඳ පුරුදු නැති වී යයි.”1 කොරින්ති 15:33.

“සමහර දේවල් කරන එක වැරදියි කියලා දන්නවා. ඒත් යාළුවන්ව සතුටු කරන්න වැරදි දේවල් පවා කරන්න වෙනවා.”—ඩේනා.

පීඩනයක් එල්ල වෙන්නේ යාළුවෝ නිසාම නෙමෙයි.

“මා හරි දේ කිරීමට කැමැත්තෙන් සිටියත් මා තුළින් ඉස්මතු වන්නේ වැරදි දේ කිරීමට තිබෙන නැඹුරුවාවයි.”රෝම 7:21.

“සමහර දේවල් කරන්න කියලා යාළුවෝ බල කරන්නෙ නෑ. මමයි එයාලගේ හිත දිනාගන්න එයාලා කැමති දේවල් කරන්නෙ.”—ඩයනා.

ඔයා අනිත් අය කියන කියන දේ කරන කෙනෙක් නෙමෙයි නම් ඒ ගැන ආඩම්බර වෙන්න.

“නිදොස් හෘදය සාක්ෂියක් පවත්වාගැනීමට උත්සාහ කරන්න.”1 පේතෘස් 3:16.

“ඉස්සර නම් යාළුවන්ට ඕන විදිහට තමයි මං වැඩ කළේ. ඒත් දැන් එහෙම නෑ. මට දැන් කෙළින් තීරණ ගන්න පුළුවන්. ඒ නිසා ලොකු නිදහසකුත් දැනෙනවා.”කාර්ලා.

මොනවාද කරන්න පුළුවන්?

වැරදි දේ කරන්න යාළුවන්ගෙන් පීඩනයක් එල්ල වෙද්දී මේ දේවල් කරලා බලන්න.

ප්‍රතිඵල ගැන හිතන්න. මෙහෙම හිතන්න. “යාළුවෝ කියන නිසා වැරදි දෙයක් කරලා අහු වුණොත් මොනවා වෙයිද? මගේ දෙමව්පියෝ මං ගැන මොනවා හිතයිද? මට මං ගැනම මොනවා හිතෙයිද?”ගලාති 6:7 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

“‘යාළුවන් කියන දේවල් කරන්න ගියොත් ඔයාට මොනවා වෙයිද’ වගේ ප්‍රශ්න අහලා මගේ අනාගතයට වෙන්න පුළුවන් හානිය තේරුම්ගන්න අම්මලා මට උදව් කළා.”—ඔලිවියා.

අධිෂ්ඨානය ශක්තිමත් කරගන්න. යාළුවන්ගේ පෙලඹීමකට වැරදි දෙයක් කරන්නේ නැහැ කියලා තීරණය කළේ මොන හේතුවක් නිසාද කියලා නිතර නිතර හිතලා බලන්න.හෙබ්‍රෙව් 5:14 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

“පුංචි කාලේ නම් මම නිකම්ම නැහැ බැහැ කියලා කිව්වත් දැන්නම් දෙයක් කරන්නේ නැත්තෙ ඇයි කියලා පැහැදිලි කරන්න මට පුළුවන්. මං උත්තර දෙන්නේ හොඳට හිතලා බලලා. කාගෙවත් කීමකට නෙමෙයි. ඒ නිසා හරි දේ කරන්න දැන් මං බය නෑ.”අනීටා.

ඔයා කවුද කියලා අමතක කරන්න එපා. මෙහෙම හිතන්න. ඔයාට ඕනේ කොයි වගේ කෙනෙක් වෙන්නද? අනිත් අය කියන කියන දේ කරන කෙනෙක් වෙන්නද? කෙළින් වැඩ කරන කෙනෙක් වෙන්නද? ඔයා කැමති කෙළින් වැඩ කරන කෙනෙක් වෙන්න නම් යාළුවන්ගෙන් පීඩනයක් එද්දී ඔයා මොනවාද කරන්නේ?2 කොරින්ති 13:5 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

“අනිත් අය මං ගැන මොනවා හිතයිද කියලා මං ඕනෑවට වඩා හිතන්නෑ. මං මවාපාන කෙනෙක් නෙමෙයි. කොහොමත් මවාපාන අයට මිනිස්සු කැමති නෑනෙ.”අලීෂියා.

අනාගතය ගැන හිතන්න. ඔයා ඉස්කෝලේ යන කෙනෙක් නම් මේක මතක තියාගන්න. ඔයා හිත දිනාගන්න හදන යාළුවෝ ඔයත් එක්ක ඉන්නේ ඉස්කෝලේ යන කාලෙදී විතරයි.

“ඉස්කෝලේ යන කාලේ ගත්ත ෆොටෝ එකක් ළඟදී මං බැලුවා. ඒකෙ හිටපු සමහර යාළුවන්ගේ නම් මට දැන් මතකත් නැහැ. ඒත් ඒ කාලේදී නම් ඒ යාළුවෝ කියන විදිහට තමයි මං හැම දේම කළේ. කොච්චර මෝඩද!”22 හැවිරිදි ඩෝන්.

කලින්ම සූදානම් වෙන්න. බයිබලයේ කියන්නේ ‘එකිනෙකාට පිළිතුරු දිය යුතු අන්දම ගැන අවබෝධයෙන් ක්‍රියා කිරීමට ඔබට හැකියි’ කියලයි.කොලොස්සි 4:6.

“මගේ දෙමව්පියෝ, මටයි නංගිටයි මුහුණ දෙන්න වෙයි කියලා හිතෙන දේවල් ගැන අපිව දැනුවත් කළා. ඒවට මුහුණ දෙන විදිහ අපි රඟපෑවා. ඒ නිසා ඇත්තටම ඒ වගේ තත්වයන්ට මුහුණ දෙද්දී කරන්න ඕන දේ අපි දැනගෙන හිටියා.”ක්‍රිස්ටීන්.

^ 4 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.