Skip to content

පටුනට යන්න

 මේ ඔබේ පවුලටයි | දෙමව්පියන්ට

එපා කිව්වට දරුවා අහන්නේ නැත්නම් . . .

එපා කිව්වට දරුවා අහන්නේ නැත්නම් . . .

ප්‍රශ්නය

එපා කියලා කොච්චර කිව්වත් දරුවා අහන්නේ නැහැ. ඔහුගේ * මුරණ්ඩුකම දැක්කම ඔබේ ඉවසීමත් නැති වෙනවා. අන්තිමේදි කරන්න දෙයක් නැති නිසා දරුවාට ඕන දේ කරන්න ඉඩ දෙනවා.

දරුවාට යම් දෙයක් එපා කිව්වාම ඒකට කීකරු වෙන්න උගන්වන්න ඔබට පුළුවන්. හැබැයි ඒ දේ කරන්නත් විදිහක් තියෙනවා. ඒ කොහොමද?

ඔබ දැනගත යුතු දේ

එපා කියන එක නපුරුකමක් නෙමෙයි. සමහර දෙමාපියන් නම් ඒකට එකඟ නැහැ. දරුවාට විරුද්ධ වෙන්න ගියොත් දෙමව්පියන් ගැන තරහක් ඇති වෙයි කියලා ඔවුන් බයයි.

එපා, නැහැ, බැහැ කියලා කියද්දී දරුවන්ට දුක හිතෙයි. ඒත් එහෙම කරන එකෙන් අපිට සීමාවන් තියෙනවා කියන දේ දරුවා තේරුම්ගනියි. හැබැයි ඔබ දරුවාගේ කීමට අවනත වෙන්න ගියොත් දරුවාට සීමා දාන්න ඔබට තියෙන අයිතිය නැති කරගන්නවා. ඒ වගේම තමන්ට යමක් ඕන වුණාම කෙඳිරිගාලා ඒ දේ ලබාගන්න පුළුවන් කියලා දරුවා හිතනවා. අන්තිමේදී දරුවා කියන දේකට ඔබ අකමැති වුණොත් එයාට කේන්ති යයි. හිතන්න, තමන්ගේ පදේට නටන දෙමව්පියන්ට දරුවෙක් ගරු කරයිද?

හොඳ යෞවනයෙක්, හොඳ වැඩිහිටියෙක් වෙන්න ඒක උදව්වක්. දරුවාව හොඳින් පුහුණු කළොත් තමන්ව පාලනය කරගන්න හැටි දරුවා ඉගෙනගනියි. තරුණයෙක් වුණාට පස්සේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න, විවාහයට පෙර ලිංගික සම්බන්ධකම් පවත්වන්න පෙලඹීම් ඇති වෙද්දී ඒවාට සාර්ථකව මුහුණ දෙන්න ඔහුට පුළුවන් වෙයි.

හොඳ වැඩිහිටියෙක් වෙන්නත් ඒක උදව්වක්. එක් වෛද්‍යවරයෙක් මෙහෙම කියලා තියෙනවා. “වැඩිහිටියන් හැටියට අපිටත් අපේ ජීවිතේ ඕන ඕන හැම දෙයක්ම ලැබෙන්නේ නැහැ. දරුවා ඉල්ලන ඉල්ලන හැම දෙයක්ම දෙන්න ගියොත් ඒ දේ තේරුම්ගන්න අපි දරුවාට උදව් කරන්නේ නැහැ.” *

 මොනවද කරන්න පුළුවන්?

ඔබේ අරමුණ ගැන හිතන්න. ඔබට අවශ්‍ය දරුවා තම හැඟීම් පාලනය කරගන්න පුළුවන් හොඳ වැඩිහිටියෙක් වෙනවා දකින්නයි. ඒත් දරුවා ඉල්ලන ඉල්ලන දේ දෙන්න ගියොත් නම් ඒ දේ ඉටු වෙන්නේ නැහැ. බයිබලයේ කියන්නේ “බාල කාලයේ සිටම පමණට වඩා සැලකිල්ල දැක්වුවහොත් පසු කලකදී ඔහු අගය නොපෙන්වන කෙනෙකු බවට පත් වෙයි” කියලයි. (හිතෝපදේශ 29:21) දරුවාව සාර්ථක වැඩිහිටියෙක් කරන්න ඔබ ගන්න වෑයමට දරුවාට සීමා දාන එකත් ඇතුළත්. එයින් දරුවාට හොඳක් මිසක් නරකක් වෙන්නේ නැහැ.හිතෝපදේශ 19:18 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

වචනය වෙනස් කරන්න එපා. දරුවා ඉන්නේ ඔබේ යටතේ නිසා යම් දේකට එපා කියලා කියන්න ඔහුගෙන් අවසර ගන්න ඕන නැහැ. ඒත් දරුවා වයසින් වැඩෙද්දී ඔබේ තීරණයට හේතු පහදලා දෙන්න. එතකොට ඔහුත් ‘වටහාගැනීමේ හැකියාව භාවිත කරලා හරි වැරැද්ද නිවැරදිව හඳුනාගැනීමට පුහුණු’ වෙයි. (හෙබ්‍රෙව් 5:14) ඒත් පුංචි දරුවෙක්ට නම් දිගින් දිගටම කරුණු පහදලා දෙන්න ඕන නැහැ. එහෙම කළොත් ඔබ ගත්ත තීරණය වෙනස් කරන්න පුළුවන් කියලා දරුවා හිතයි.එෆීස 6:1 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

තීරණය වෙනස් කරන්න එපා. දරුවා කෙඳිරිගාලා හරි තීරණය වෙනස් කරන්න බලයි. ඒ වගේ වෙලාවට කරන්න ඕන දේ ගැන පොතක මෙහෙම කියනවා. “ඔයා කොච්චර කිව්වත් මගේ තීරණේ වෙනස් වෙන්නෙ නෑ. ඔයා කෙඳිරි ගාන එක නතර කරන කල් කාමරයට වෙලා ඉන්න කියලා දරුවාට කියන්න.” (Loving Without Spoiling) එහෙම කරන එක ලේසි නැහැ. ළමයාටත් ඒක නපුරුකමක් වගේ දැනෙයි. ඒත් ඔබ වචනය වෙනස් කරන්නේ නැහැ කියලා දරුවා තේරුම්ගද්දී ඔහුගේ මුරණ්ඩුකම අඩු වෙයි.යාකොබ් 5:12 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

දෙමව්පියන් හැටියට ඔබේ බලය පෙන්නන්න ඕන නිසා දරුවා ඉල්ලන දේවල්වලට නැහැ, බැහැ කියන්න එපා

සාධාරණ වෙන්න. දෙමව්පියන් හැටියට බලය පෙන්නන්න ඕන නිසා දරුවා ඉල්ලන දේට අකමැති වෙන්න එපා. බයිබලයේ කියන්නේ ‘ඔබ සාධාරණ ලෙස කටයුතු කරන කෙනෙකු බව පැහැදිලි විය යුතුයි’ කියලයි. (ෆිලිප්පි 4:5) ඒ නිසා දරුවාගේ ඉල්ලීම සාධාරණ නම් ඊට එකඟ වෙන්න.කොලොස්සි 3:21 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

^ 4 ඡේ. මේ ලිපියේ තොරතුරු පිරිමි දරුවන්ට යොමු දැක්වුවත් ඒවා ගැහැනු දරුවන්ටත් අදාළයි.

^ 10 ඡේ. No: Why Kids—of All Ages—Need to Hear It and Ways Parents Can Say It නමැති පොතෙන්.