Skip to content

පටුනට යන්න

‘යූකල්ට අයත්’ මුද්‍රාවක්

‘යූකල්ට අයත්’ මුද්‍රාවක්

‘යූකල්ට අයත්’ මුද්‍රාවක්

බැබිලෝනියේ පාලකයා වූ නෙබුකද්නෙශර් ක්‍රි.පූ. හත්වන සියවසේදී යෙරුසලම් නගරය යටත් කරගැනීමෙන් පසු එයට ගිනි තබා විනාශ කළා. එහි පවුරු බිඳ දැමුවා. එහි රජ වූ ශෙදකියාව අල්ලාගෙන ඔහුගේ ඇස් අන්ධ කළා. ඒ විතරක් නොවෙයි, ‘බැබිලෝනියෙහි රජ යූදාහි සෑම උත්තමයන්වද මරා දැමුවා.’—යෙරෙමියා 39:1-8.

බැබිලෝනියේ හමුදාව අතින් මැරුම් කෑ යූදාහි උත්තමයන් අතර ෂෙලමියාගේ පුත්‍රයා වූ යූකල්ද සිටි බව විශ්වාස කළ හැකියි. බයිබලයේ සඳහන් මෙම තැනැත්තා ගැන තවත් තොරතුරු මෑතකදී හෙළි වුණා. ඒ ගැන සලකා බලන්න කලින් යූකල් ගැනත් ඔහුගේ කාලයේ පැවති තත්වය ගැනත් බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද කියා බලමු.

ඔවුහු ජය නොගන්නෝය’

යෙහෝවා දෙවි යූදා දේශයට හා යෙරුසලමට එරෙහිව තමන් ගෙනෙන විනිශ්චය ගැන එහි වැසියන්ට අනතුරු අඟවන්න අනාගතවක්තෘ යෙරෙමියාව පත් කළා. යූදාහි රජවරුන්ද, අධිපතීන්ද, පූජකයන්ද යෙරෙමියාට “විරුද්ධව සටන් කරන” බව දෙවි ඔහුට පැවසුවා. “එහෙත් [ඔවුහු] ජය නොගන්නෝය; මක්නිසාද ඔබ ගලවන්ට මම ඔබ සමඟ සිටිමියි යෙහෝවා කියන්නේය.”—යෙරෙමියා 1:17-19.

බැබිලෝනිය හමුදාව විසින් යූදාහි අගනුවර වූ යෙරුසලම වටලාගෙන සිටි කාලයේදී ශෙදකියා රජ ඔහුගේ පණිවිඩකරුවන්ව දෙවතාවක් යෙරෙමියා ළඟට යැව්වා. ඔවුන්ව යැව්වේ නෙබුකද්නෙශර් නගරය අත්හැර යයිද කියා දැනගැනීමට හා එවැනි දෙයක් සිදුවීම සඳහා යාච්ඤා කරන මෙන් යෙරෙමියාගෙන් ඉල්ලා සිටීමටයි. රජගේ නියෝජිතයන්ගෙන් කෙනෙක් වූයේ යූකල්. ඔහුව යෙහුකල් කියාද හඳුන්වා තිබෙනවා. දෙවි යෙරෙමියාට දුන් පණිවිඩය වූයේ බැබිලෝනිවරුන් යෙරුසලම නගරය විනාශ කරන බවයි. නගරයේ රැඳී සිටින අය සාගතයෙන්, වසංගතයෙන් හා කඩුවෙන් මැරුම්කන බවද පැවසුවා. එහෙත් බැබිලෝනිවරුන්ට යටත් වෙන අය පණ බේරගන්න බවද පැවසුවා. යෙරෙමියා පැවසූ ඒ දේවල් ඇසූ යූදයේ අධිපතීන් කෝප වුණා.—යෙරෙමියා 21:1-10; 37:3-10; 38:1-3.

යූකල්ද යෙරෙමියා ගැන ශෙදකියා රජුට මෙසේ පැවසූ අධිපතීන්ගෙන් කෙනෙක්. ‘මේ මනුෂ්‍යයාව [යෙරෙමියාව] මරණයට පත් කරන්න. මොහු යුද්ධකාරයන්ගේ අත් බෙලහීන කරයි.’ යෙරෙමියාව මඩ වළකට දැමූ අය අතර දුෂ්ට යූකල්ද සිටියා. කෙසේවෙතත් යෙරෙමියාගේ ජීවිතය බේරුණා. (යෙරෙමියා 37:15; 38:4-6) බැබිලෝනිවරුන් නගරය විනාශ කරද්දී යෙරෙමියා යෙහෝවා දෙවිට කීකරු වූ නිසා දිවි ගලවාගත්තත් යූකල් මැරුම් කෑ බව පෙනෙන්න තිබෙනවා. ඔහු විශ්වාසය තැබුවේ දෙවි කෙරෙහි නොව යුදෙව් පාලනය කෙරෙහියි.

සිත්ගන්නාසුලු නව තොරතුරක්

යූකල් ගැන අලුත් තොරතුරක් යෙරුසලමේ කළ කැණීම්වලදී සොයාගනු ලැබුවේ 2005 වසරේදීයි. පුරාවිද්‍යාඥයන් දාවිත් රජුගේ මාලිගාව තිබූ තැන කියා විශ්වාස කළ ස්ථානයක කැණීම් කරමින් සිටියා. එහිදී ඔවුන්ට හමු වූයේ ගලින් නිම කළ විශාල ඉදි කිරීමක කොටස්. මෙය යෙරෙමියාගේ කාලයේදී බැබිලෝනිවරුන් යෙරුසලම අල්ලාගැනීමෙන් පසු කඩා බිඳ දැමූ ගොඩනැඟිල්ලක කොටස් බව ඔවුන් විශ්වාස කරනවා.

එය දාවිත්ගේ මාලිගාවද නැද්ද යන්න තවමත් තහවුරු කරගෙන නැහැ. දාහතරවන පිටුවේ පෙන්වා තිබෙන ආකාරයේ සෙන්ටි මීටරයක් පළල කුඩා මැටි මුද්‍රාවක් එම පුරාවිද්‍යාඥයන්ට සොයාගැනීමට හැකි වුණා. මෙය මීට බොහෝ කාලයකට පෙර දිරාපත් වී තිබෙන ලියවිල්ලක් මත තැබූ මුද්‍රාවක්. මෙම මුද්‍රාවේ මෙසේ සඳහන් වෙනවා. “ෂොවිගේ පුත්‍ර වූ ෂෙලම්යාහුගේ පුත්‍රයා වන යෙහුකාල්ට අයත් වෙයි.” මෙම මුද්‍රාව යෙරෙමියාට විරුද්ධවාදිකම් එල්ල කළ ෂෙලමියාගේ පුත්‍රයා වූ යෙහුකාල් හෙවත් යූකල්ට අයත් බව පෙනී යනවා.

මෙම මුද්‍රාවේ සඳහන් වදන්වල අර්ථය පහදා දෙන පුරාවිද්‍යාඥයෙකු වන එලාට් මසාර් සඳහන් කරන ආකාරයට යෙහුකල් කියන්නේ ෂාපාන්ගේ පුත්‍රයා වූ ගෙමරියාට පසුව සිටි “රජුගේ දෙවන ඇමතිවරයායි.” දාවිත්ගේ නගරය කියා හැඳින්වූ යෙරුසලමේ තිබී සොයාගත් මැටි මුද්‍රාවක යූකල්ගේ නම සඳහන් වී තිබෙනවා දැකිය හැකියි. *

බයිබලය ගැන යමෙකුගේ විශ්වාසය රඳා පැවතිය යුත්තේ ඓතිහාසික වැදගත්කමක් තිබෙන තොරතුරු මත නොවෙයි. බයිබලයේ සඳහන් දේවල් විශ්වාස කිරීමට තිබෙන එක් හොඳ හේතුවක් නම් දෙවිගේ මඟ පෙන්වීම යටතේ ලියා තිබෙන අනාවැකිවල ඉටුවීමයි. ඓතිහාසික තොරතුරුවලින් සනාථ වන්නේ යෙරුසලමේ විනාශය ගැන යෙරෙමියා නිවැරදිව පුරෝකථනය කළ බවයි. යෙරෙමියාට විරුද්ධ වූ අයට අත් වූයේ නින්දාසහගත මරණයක්. මින් පෙනී යන්නේ අපිත් යෙරෙමියා වගේ යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටියොත් අපිට සතුරුකම් පාන අය ‘ජය නොගන්න’ බවයි. ‘මක්නිසාද යෙහෝවා දෙවි අප සමඟ සිටිනවා.’

[පාදසටහන]

^ 11 ඡේ. ගෙමරියා සහ ෂාපාන් ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා 2002 දෙසැම්බර් 15 මුරටැඹ සඟරාවේ 19 සිට 22 දක්වා පිටුවල පළ වූ “ෂාපාන් සහ ඔහුගේ පවුල ගැන ඔබ අසා තිබෙනවාද?” නමැති ලිපිය බලන්න.

[15වන පිටුවේ පින්තූරය]

දෙවිගේ පණිවිඩයේ බරපතළකම අඩු කරන්න තමන්ට එල්ල වූ බලපෑම්වලට යෙරෙමියා ඉඩ දුන්නේ නැහැ

[14වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Gabi Laron/​Institute of Archaeology/​Hebrew University ©Eilat Mazar