Skip to content

පටුනට යන්න

යොහන් සහ යූද් යන පොත්වලින් විශේෂාංග

යොහන් සහ යූද් යන පොත්වලින් විශේෂාංග

යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි

යොහන් සහ යූද් යන පොත්වලින් විශේෂාංග

ක්‍රිස්තු වර්ෂ 98දී පමණ යොහන් විසින් මෙම ලිපි තුන ලියනු ලැබුවා. ඒ එෆීසයේදී හෝ ඒ අසල විය හැකියි. දෙවිගේ බලයෙන් ලියැවුණු බයිබලයේ අවසන් පොත් අතරට ඒවාද අයත් වෙනවා. යොහන්ගේ මුල් ලිපි දෙක මගින් ක්‍රිස්තියානීන්ට දිරිගන්වා තිබෙන්නේ ආලෝකයේ ගමන් කිරීමට හා ඇදහිල්ල අත්හැර ගිය අයට විරුද්ධව සිටින්න කියායි. තුන්වන ලිපියෙන් ඔහු ක්‍රිස්තියානීන්ව දිරිගන්වා තිබෙන්නේ සත්‍යයෙහි ගමන් කරමින් එකිනෙකා සමඟ සහයෝගයෙන් වැඩ කිරීමටයි.

යේසුස්ගේ සහෝදරයෙක් වූ යූද් විසින් තම ලිපිය ලියනු ලැබුවේ ක්‍රි.ව. 65දී පමණ පලස්තීනයේදීයි. ඔහු ක්‍රිස්තියානීන්ට විශේෂයෙන්ම අනතුරු ඇඟෙව්වේ සභාවට රහසිගතව ඇතුළු වී සිටින දුෂ්ට පුද්ගලයන් ගැනයි. ඔවුන්ගේ බලපෑම්වලට විරුද්ධ වන්නේ කෙසේද කියා යූද් පෙන්වා දුන්නා. යොහන්ගේ හා යූද්ගේ මෙම ලිපි සලකා බැලීම, අවසාන කාලයේදී පැමිණෙන විරුද්ධවාදිකම් මැද පවා ඇදහිල්ලේ ස්ථිරව සිටීමට අපට උපකාරයක් වෙනවා.—හෙබ්‍රෙ. 4:12.

ඇදහිල්ලෙන් හා ප්‍රේමයෙන් යුතුව ආලෝකයේ ගමන් කරමු

(1 යොහ. 1:1–5:21)

යොහන් තම පළමු ලිපිය ලිව්වේ මුළු සහෝදර සංගමයම යේසුස් තුළ එක්සත් කිරීමේ අරමුණ ඇතුවයි. එමෙන්ම සත්‍යයෙහි හා ධර්මිෂ්ඨකමෙහි ස්ථිරව පිහිටා සිටිමින් ඇදහිල්ල අත්හැර යෑමට එරෙහිව කටයුතු කිරීමට අවශ්‍ය පැහැදිලි උපදෙස්ද ඔහු ලබා දුන්නා. ඔහු විශේෂයෙන්ම කාවැද්දුවේ ඇදහිල්ලෙන් හා ප්‍රේමයෙන් යුතුව ආලෝකයේ ගමන් කරන්න කියායි.

“ඔහු [දෙවි] ආලෝකයෙහි සිටින්නාක් මෙන් අපත් ආලෝකයෙහි ගමන් කරන්නෙමු නම්, එකිනෙකා සමඟ පංගුකාරකමක් අපට තිබේ” කියා යොහාන් පැවසුවා. යෙහෝවා දෙවි ප්‍රේමයේ උල්පත නිසා “අප එකිනෙකාට දිගටම ප්‍රේම කරමු” කියාද යොහන් දිරිගැන්නුවා. දෙවිගේ ‘ආඥා පැවැත්වීමට’ අපව පොලඹවන්නේ ‘දෙවිගේ ප්‍රේමයයි.’ එමෙන්ම මේ ලෝකයෙන් ජයගැනීමට අපට හැකි කරවන්නේ යෙහෝවා දෙවි, ඔහුගේ වචනය හා ඔහුගේ පුත්‍රයා කෙරෙහි ‘අපි ඇදහිල්ල’ තබන නිසයි.—1 යොහ. 1:7; 4:7; 5:3, 4.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

2:2; 4:10යේසුස් ‘සමඟි කිරීමේ පූජාවක්’ වන්නේ කෙසේද? ආදම් අහිමි කරගත් පරිපූර්ණ ජීවිතය වෙනුවට යේසුස් තම පරිපූර්ණ ජීවිතය පූජා කළා. එම ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තබන මනුෂ්‍යයන්ට දෙවි සමඟ සමඟි වීමට එනම්, තම පව්වලට සමාව ලබාගැනීමට අවස්ථාව උදා වුණා.—යොහ. 3:16; රෝම 6:23.

2:7,8—යොහන් සඳහන් කරන “පරණ” හා “අලුත්” ආඥාව කුමක්ද? යොහන් මෙහි සඳහන් කරන්නේ පරිත්‍යාගශීලී සහෝදර ප්‍රේමය ගැනයි. (යොහ. 13:34) ඔහු එය “පරණ” ආඥාව ලෙස හඳුන්වන්නේ යේසුස් මෙම ආඥාව දුන්නේ, යොහන් මෙම ලිපිය ලිවීමට අවුරුදු 60කට කලින් නිසයි. සෙසු සහෝදරයන් “පටන්ගැන්මේ සිට” එනම් ක්‍රිස්තියානීන් බවට පත් වූ දා සිටම එම ආඥාව ගැන දැන සිටියා. නමුත් ඔහු එම ආඥාව අලුත් එකක් කියා සඳහන් කරන්නේ ඇයි? දෙවි එදා ඊශ්‍රායෙල්වරුන්ට පවසා තිබුණේ “ඔබට මෙන් ඔබේ අසල්වාසියාට ප්‍රේම කරන්න” කියායි. නමුත් යේසුස් දුන් ආඥාවට ඊට වඩා යමක් ඇතුළත්. එනම් ක්‍රිස්තියානීන් යේසුස් මෙන් අන් අයට ප්‍රේම කළ යුතුයි. එනම් තම ජීවිතය වුවත් පරිත්‍යාග කිරීමට සූදානමින් සිටිය යුතුයි. ඒ අර්ථයෙන් එය “අලුත්” ආඥාවක් බව පැවසිය හැකියි.—ලෙවී. 19:18; යොහ. 15:12, 13.

3:2—අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට ‘තවමත් ප්‍රකාශ වී’ නැත්තේ කුමක්ද? එමෙන්ම ‘ඔහු සිටින ආකාරයටම’ ඔවුන් දකින්නේ කවුරුන්වද? අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට තවමත් ප්‍රකාශ වී නැති දෙය වන්නේ ඔවුන් ස්වර්ගයේ ජීවිතයකට නැවත නැඟිටුණු පසු තමන් කුමනාකාර තත්වයක සිටීද යන්නයි. (ෆිලි. 3:20, 21) නමුත් ඔවුන් දන්නා දේ වන්නේ ‘ඔහු [දෙවි] ප්‍රකාශ වන විට ඔවුන්, ඔහු මෙන් වන බව සහ ඔහු සිටින ආකාරයටම ඔවුන් ඔහුව දකින’ බවයි.—2 කොරි. 3:17, 18.

5:5-8—“යේසුස් යනු දෙවිගේ පුත්‍රයා” බවට වතුර, රුධිරය හා ආත්මය හෙවත් දෙවිගේ බලය සාක්ෂි දෙන්නේ කෙසේද? වතුර, සාක්ෂිකරුවෙක් ලෙස කටයුතු කළ බව කිව හැක්කේ යේසුස් වතුරෙන් බව්තීස්ම වූ අවස්ථාවේදී දෙවි, යේසුස්ව තම පුත්‍රයා ලෙස අනුමත කළ නිසයි. (මතෙ. 3:17) “සියල්ලන් උදෙසා, අනුරූපී මිදීමේ මිලයක්” ලෙස තම ජීවිතය පූජා කිරීමේදී යේසුස් වැගිරෙවූ රුධිරය මගින්ද සාක්ෂි දුන්නේ යේසුස් දෙවිගේ පුත්‍රයා බවයි. (1 තිමෝ. 2:5, 6) යේසුස් බව්තීස්ම වී දියෙන් උඩට මතු වූ විගස දෙවිගේ බලය යේසුස් මතට පැමිණීමෙන්ද සාක්ෂි දැරුවේ ඔහු දෙවිගේ පුත්‍රයා බවයි. ඒ වගේම “ඔහු දේශය පුරාම ගමන් කර යක්ෂයාගේ පීඩා හිරිහැරවලට ලක් වූ සියලුදෙනාටම සුවයක් ගෙන” දුන්නා.—යොහ. 1:29-34; ක්‍රියා 10:38.

අපට ගත හැකි පාඩම්:

2:9-11; 3:15. ක්‍රිස්තියානියෙකු තමා තුළ ඇති සහෝදර ප්‍රේමය නැති කිරීමට කිසිවෙකුට හෝ කිසිවකට ඉඩහැරියොත් ඔහු හරියට තමන් යන්නේ කොහේද කියා නොදැන අන්ධකාරයේ ගමන් කරන කෙනෙකු හා සමානයි.

“සත්‍යයෙහි ගමන් කරන්න”

(2 යොහන් 1-13)

යොහන් තම දෙවන ලිපිය ආරම්භ කරන්නේ මෙසේයි. ‘වැඩිමහල්ලෙකු වන මම, තෝරාගත් කාන්තාව සහ ඇගේ දරුවන් වෙත ලියමි.’ ‘ඇගේ දරුවන්ගෙන් සමහරදෙනෙකු සත්‍යයෙහි ගමන් කරන බව’ ඇසීම නිසා යොහන් සතුටට පත් වුණා.—2 යොහ. 1, 4.

ප්‍රේමය වර්ධනය කරගන්න කියා සහෝදරයන්ව දිරිගැන්වීමෙන් පසු ඔහු තවදුරටත් මෙසේ පවසනවා. “ප්‍රේමය නම් මේය. අප ඔහුගේ ආඥාවලට අනුව ජීවත් වීමය.” එමෙන්ම “රවටන්නා සහ ක්‍රිස්තු-විරෝධියා” ගැනද ඔහු අනතුරු අඟවනවා.—2 යොහ. 5-7.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

1, 13—මෙම “තෝරාගත් කාන්තාව” කවුද? යොහන් මෙය ලිව්වේ කයිරියා නමැති කාන්තාවකට විය හැකියි. ග්‍රීක භාෂාවෙන් එම නමේ තේරුම “කාන්තාව” යන්නයි. එසේ නැත්නම් සමහර විට ඔහු එම නම භාවිත කරන්න ඇත්තේ ක්‍රිස්තියානීන්ට පීඩා කළ අයට මෙම ලිපිය වටහාගැනීමට නොහැකි වන අයුරින් විය හැකියි. ඔහුගේ අරමුණ වුණේ එය නම්, ඔහු කී පරිදි එම කාන්තාවගේ දරුවන් කීමෙන් අදහස් කළේ එම සභාවේ සාමාජිකයන්වයි. එමෙන්ම ඇගේ “සහෝදරියගේ දරුවෝ” කීමෙන් අදහස් කෙළේ වෙනත් සභාවක සාමාජිකයන්වයි.

7—යේසුස් “පැමිණි බව” සඳහන් කිරීමෙන් යොහන් අදහස් කළේ කුමක්ද? එහිදී යොහන් කතා කරමින් සිටියේ යේසුස් රජු හැටියට පැමිණීම ගැන නොවෙයි. ඒ වෙනුවට යේසුස් මිනිසෙකු ලෙස මේ පොළොවට පැමිණි අවස්ථාව ගැනයි. (1 යොහ. 4:2) යේසුස් එසේ පැමිණි බව පිළි නොගන්නා පිරිසක්ද සිටින අතර දෙවිගේ බලයෙන් ඔහු අභිෂේක ලැබූ බවද සමහරුන් පිළිගන්නේ නැහැ.

අපට ගත හැකි පාඩම්:

2, 4. අප ඉගෙනගන්නා ‘සත්‍යයට’ බයිබලයේ සඳහන් සියලුම ඉගැන්වීම් ඇතුළත්. අපගේ ගැලවීම සඳහා ඒවාට කීකරු වීම අත්‍යවශ්‍යයි.—3 යොහ. 3, 4.

8-11. ‘දෙවිගේත් ඔහුගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්ගෙන්ද වූ මහත් කරුණාවත්, දයාවත්, සමාදානයත්’ අපට නැති වී යනවාට අප කැමති නැහැ. එමෙන්ම සෙසු ක්‍රිස්තියානීන් සමඟ අපට තිබෙන ප්‍රේමණීය ඇසුර අහිමි වෙනවාටද අපි කැමති නැහැ. එසේ නම් අපි සියලුදෙනාම අපට දෙවි සමඟ ඇති අපගේ මිත්‍රත්වය ආරක්ෂා කරගැනීමට “වගබලා ගන්න” අවශ්‍යයි. ඒ වගේම “ක්‍රිස්තුස්ගේ ඉගැන්වීමෙහි නොපැවතී” සිටින අයව ප්‍රතික්ෂේප කිරීමද අවශ්‍යයි.—2 යොහ. 3.

“සත්‍යය තුළ හවුල් සේවකයන්” වන්න

(3 යොහන් 1-14)

යොහන් තම තුන්වන ලිපිය තම මිත්‍ර ගායස්ට ලියමින් මෙසේ පවසනවා. “මාගේ දරුවන් සත්‍යයෙහි ගමන් කරමින් සිටින බව ඇසීමට වඩා ස්තුතිවන්ත වීමට හේතුවක් මට නැත.”—3 යොහ 4.

සභාවන් දිරිගැන්වීමට පැමිණෙන සහෝදරයන්ට උපකාර කිරීම සම්බන්ධයෙන් ගායස් ‘විශ්වාසවන්තව සේවය’ කිරීම ගැන යොහන් ඔහුට ප්‍රශංසා කරනවා. “අප සත්‍යය තුළ හවුල් සේවකයන් වන පිණිස, එවැනි අයව සාදරයෙන් පිළිගැනීමට බැඳී සිටින්නෙමු” කියාද ඔහු පැවසුවා.—3 යොහ. 5-8.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

11—සමහරුන් වැරදි ක්‍රියාවල නිරත වෙන්නේ ඇයි? බයිබල් ඉගැන්වීම් ගැන අගයක් නැති නිසා සමහරුන් එවැනි තත්වයකට පත් වෙනවා. තවත් අය තමන් කරන කියන සියල්ල දෙවිට පෙනෙනවා කියා අවබෝධ කරගෙන නැහැ. එවැනි අය සිතන්නේ තමන් කරන වැරදි ක්‍රියා දෙවිට නොපෙනෙන බවයි.—එස. 9:9.

14—මෙහි “මිත්‍රයෝ” කියා හඳුන්වන්නේ කාවද? මිත්‍රයන් කියද්දී ඔහු අදහස් කළේ තමන් කිට්ටුවෙන් ඇසුර කළ කිහිපදෙනෙකු ගැන පමණක් නොව පොදුවේ සියලුම සහෝදරයන්වයි.

අපට ගත හැකි පාඩම්:

4. සභාවේ සිටින යෞවන ක්‍රිස්තියානීන් “සත්‍යයෙහි ගමන් කරමින්” සිටිනවා දැකීම අද්දැකීම් ලත් ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ට මහත් ප්‍රීතියක්. ඒ වගේම දෙවිට සේවය කරන්න තම දරුවන්ට උපකාර කර ඇති දෙමාපියන් අද්දකින ප්‍රීතියද කියා නිම කළ නොහැකියි.

5-8. ප්‍රේමයෙන් පෙලඹී වෙහෙස නොබලා යෙහෝවා දෙවිටත් සෙසු සහෝදර සහෝදරියන්ටත් සේවය කරන ක්‍රිස්තියානි සේවකයන් බොහෝදෙනෙක් සිටිනවා. සංචාරක අවේක්ෂකයන්, මිෂනාරිවරුන්, බෙතෙල් සේවකයන් හෝ ශාඛා කාර්යාලවල සේවය කරන අය හා පුරෝගාමී සහෝදර සහෝදරියන් ඒ අය අතරට අයත්. ඔවුන්ගේ ඇදහිල්ල අපට ආදර්ශයක් වන අතර අපගේ ප්‍රේමණීය උපකාරය ලබන්නත් ඔවුන් ඉතා වටිනවා.

9-12. ඇදහිලිවන්තයෙකු වූ දෙමේත්‍රියස්ව අප අනුකරණය කළ යුතු අතර දියොත්‍රෙෆස් වැනි නිරතම දොස් තබන, දුෂ්ට වචන පවසන කෙනෙක් නොවිය යුතුයි.

“දෙවිගේ ප්‍රේමයෙහි පවතින්න”

(යූද් 1-25)

ක්‍රිස්තියානි සභාවට රහසින් ඇතුල් වී සිටි සමහරුන්ව යූද් විස්තර කළේ මෙසේයි. ඔවුන් “මැසිවිලි නඟන්නෝය, තම ජීවිතය ගැන කොඳුරන්නෝය, ඔවුහු තමුන්ගේම ආශාවන් අනුව හැසිරෙන අයය. තමුන්ගේම වාසි ප්‍රයෝජන තකා අනුන්ව වර්ණනා කරමින්, ඔවුහු තමුන්ගේ කටින් උඩඟු වචන කියන්නෝය.”—යූද් 4, 16.

නරක බලපෑම්වලට එරෙහිව සිටීමට ක්‍රිස්තියානීන්ට හැක්කේ කෙසේද? “ප්‍රේමණීය තැනැත්තෙනි” කියා අමතමින් යූද් පැවසුවේ “ඔබ අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ ප්‍රේරිතයන් විසින් කලින් පවසන ලද වචන සිහි කරන්න” කියායි. තවදුරටත් ඔහු පැවසුවේ “දෙවිගේ ප්‍රේමයේ පවතින්න” කියායි.—යූද් 17-21.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

3, 4—“ඇදහිල්ල උදෙසා දැඩි සටනක් කරන මෙන්” යූද් ක්‍රිස්තියානීන්ට උනන්දු කළේ ඇයි? ‘සභාවට රහසින් ඇතුල් වී සිටි අභක්තික මිනිසුන් දෙවිගේ මහත් කරුණාව, නින්දිත හැසිරීමේ නියැලීමට මඟක් කරගනිමින්’ සිටි නිසයි.

20, 21—“දෙවිගේ ප්‍රේමයෙහි පවතින්න” අපට හැක්කේ කෙසේද? අපට එය ක්‍රම තුනකින් කළ හැකියි. (1) දෙවිගේ වචනය උනන්දුවෙන් අධ්‍යයනය කිරීමෙන් හා ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙහි උද්‍යෝගයෙන් හවුල් වීම මගින් අපගේ ‘ඉතා ශුද්ධ වූ ඇදහිල්ල’ වර්ධනය කරගැනීමෙන්. (2) ‘ශුද්ධාත්මය’ හෙවත් දෙවිගේ බලයේ උපකාර ඉල්ලා යාච්ඤා කිරීම හෝ එහි මඟ පෙන්වීම්වලට එකඟව ක්‍රියා කිරීමෙන්. (3) අපට සදාකාල ජීවනය ලබාගැනීමට මඟ විවෘත කළ යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තැබීමෙන්.—යොහ. 3:16, 36.

අපට ගත හැකි පාඩම්:

5-7. දුෂ්ටයන්ට දෙවිගේ විනිශ්චයෙන් ගැලවිය හැකිද? යූද් විස්තර කර ඇති උදාහරණ තුනෙන් පෙන්වන්නේ එය කළ නොහැකි දෙයක් බවයි.

8-10. අග්‍ර දේවදූත මිකායෙල්ව අනුකරණය කරමින් අපත් දෙවි පිහිටුවා ඇති අධිකාරිය පිළිබඳ සැලැස්මට ගෞරව කළ යුතුයි.

12. ඇදහිල්ල අත්හැර ගිය අය පෙන්වන ප්‍රේමය හරියට, නැව්වලට හෝ කිමිදුම්කරුවන්ට බරපතළ හානි කළ හැකි මුහුදු පතුලේ සැඟවී තිබෙන ගල්පරවලට සමානයි. බොරු ගුරුවරුන් ත්‍යාගශීලී අය බව පෙන්නුවත් ඔවුන් වතුර නැති වලාකුළු වගේයි. ඔවුන් පල නැති මැරුණු ගස්වලට සමාන කරන්නත් පුළුවන්. ඒවා මුලින් උදුරා දමා විනාශ වෙන්න ඉඩ හරිනවා වගේ ඔවුන්ද විනාශයට මුහුණ දෙනවා. ඒ නිසා අපි ඇදහිල්ල අත්හැර ගිය අය සමඟ කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවෙමු.

22, 23. සැබෑ ක්‍රිස්තියානීන් නපුරට වෛර කරනවා. සමහර දේවල් ගැන ‘සැක ඇති අයට’ උපකාර කර ඔවුන්ව සදාකාල විනාශයෙන් ගලවාගැනීම සඳහා සභාවේ සිටින අද්දැකීම් ලත් අය ඔවුන්ට උපකාර කරනවා. අවේක්ෂකයන් එහිදී විශේෂ කාර්යයක් කරනවා.

[28වන පිටුවේ පින්තූර]

වතුර, දෙවිගේ බලය හා රුධිරය “යේසුස් යනු දෙවිගේ පුත්‍රයා” බවට සාක්ෂි දරනවා