Skip to content

පටුනට යන්න

ජීවිත කතාව

“දූපත් සියල්ල සතුටු වේවා!”

“දූපත් සියල්ල සතුටු වේවා!”

2000 මැයි 22වෙනිදා මට කවදාවත් අමතක නොවන දවසක්. එදා මමයි රටවල් කීපයකින් ආපු සහෝදරයන් ටිකදෙනෙකුයි හිතේ පොඩි චකිතයකින් පාලක මණ්ඩලය රැස් වෙන කාමරේ වාඩි වෙලා හිටියේ ලේඛන කමිටුවේ සහෝදරයන් එන කල්. එදා අපි එතනට ගියේ ලෝකෙ පුරාම ඉන්න පරිවර්තකයන් මුහුණ දෙන ප්‍රශ්න සහ ඒවාට දෙන්න පුළුවන් විසඳුම් ගැන කතා කරන්න. ඒ රැස්වීමේ වුණු දේ කියන්න කලින් ඔයාලට මං ගැන විස්තර ටිකක් කියන්නම්.

මම බව්තීස්ම වුණේ ක්වීන්ස්ලන්තයේ. තස්මේනියාවේ පුරෝගාමි සේවය කළා. මිෂනාරීන් හැටියට ටුවාලුවලත් සමොවාවලත් ෆීජිවලත් සේවය කළා

මම ඉපදුණේ 1955 ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ. මම ඉපදිලා ටික දවසකින් අම්මා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලේ පාඩම් කරන්න පටන්ගත්තා. එයා ඊළඟ අවුරුද්දෙම බව්තීස්ම වුණත් තාත්තා බව්තීස්ම වුණේ අවුරුදු 13කට පස්සේ. මම බව්තීස්ම වුණේ 1968.

පුංචි කාලේ ඉඳන්ම මං පොත් කියවන්න, භාෂා ගැන ඉගෙනගන්න හරිම ආසයි. විනෝද ගමනක් යද්දීත් මං පුරුදු වෙලා හිටියේ කාර් එකේ පිටිපස්සේ සීට් එකට වෙලා පොතක් කියවන්න. වටපිටාවේ ලස්සන බලන්නේ නැතුව පොතක් දිහා බලාගෙන හිටපු එක ගැන අම්මලා එච්චර කැමති වෙන්න නැතුව ඇති. ඒත් පොත් කියවන්න තිබුණු ආසාව මට උදව් වුණා ඉස්කෝලෙ වැඩ හොඳට කරන්න. ඉහළ පන්තිවලදී සම්මාන කීපයක්ම මං දිනුවා.

ඔය කාලෙදීම තමයි විශ්වවිද්‍යාලයට යන්න ලැබුණු ශිෂ්‍යත්වය භාරගන්නවද නැද්ද කියන තීරණේ ගන්න මට සිද්ධ වුණේ. ඇත්ත, මං ඉගෙනගන්න හුඟක් ආස කෙනෙක් තමයි. ඒත් වෙන කිසිම දේකටවත් කිසිම කෙනෙකුටවත් වඩා යෙහෝවා දෙවිට ආදරේ කරන්න අම්මා මට උගන්නලා තිබුණා. (1 කොරි. 3:18, 19) ඒ නිසා දෙමාපියන්ගෙත් අවසරේ ඇතුව උසස් පෙළ ඉවර වුණාට පස්සේ මං පුරෝගාමි සේවය පටන්ගත්තා. ඒ 1971 ජනවාරි මාසයේ. එතකොට මට වයස 15යි.

එදා ඉඳන් අවුරුදු අටක් තස්මේනියාවේ පුරෝගාමි සේවය කළා. ඔය අතරේ තමයි එහේ හිටපු ජෙනි ඇල්කෝක් එක්ක මං විවාහ වුණේ. ඊටපස්සේ අවුරුදු 4ක් අපි විශේෂ පුරෝගාමීන් විදිහට ස්මිත්ටන් සහ ක්වීන්ස්ටවුන් කියන ප්‍රචාරකයන් අඩු පළාත්වල සේවය කළා.

පැසිෆික් දූපත්වලට යන්න පැවරුමක්

1978දී ජාත්‍යන්තර සමුළුවකට සහභාගි වෙන්න අපි දෙන්නා පැපුවා නිව් ගිනියාවට ගියා. මිෂනාරි සහෝදරයෙක් හිරි මොටු භාෂාවෙන් දුන්න දේශනය මගේ හිත්ගත්තා. එයා කියපු දේවල් මට තේරුණේ නැතත් මිෂනාරි සේවය කරන්න මටත් ආසාවක් ඇති වුණා. එතකොට වෙන භාෂාවක් ඉගෙනගෙන ඒ භාෂාවෙන් දේශන දීලා සහෝදරයන්ව දිරිගන්වන්න පුළුවන් කියලා මට හිතුණා. භාෂාවන් ගැන මට තිබුණු ආදරේ යෙහෝවා දෙවි වෙනුවෙන් යොදවන්න පුළුවන් කියලා මට තේරුණේ එතකොටයි.

සමුළුව ඉවර වෙලා ගෙදර ගියාට පස්සේ මිෂනාරි සේවය කරන්න අපිටත් ආරාධනාවක් ලැබිලා කියලා දැනගත්තම අපි පුදුම වුණා. පැවරුම ලැබිලා තිබුණේ ටුවාලුවලට. අපි 1979 ජනවාරි මාසේ ෆූනාෆූටි දූපතට ගියා. ඒ වෙනකොට මුළු ටුවාලුවලම හිටියේ බව්තීස්ම වුණු 3දෙනෙක් විතරයි.

ජෙනි එක්ක ටුවාලුවලදී

ටුවාලු භාෂාව ඉගෙනගන්න අපිට ලේසි වුණේ නැහැ. ඒ වෙද්දී ඒ භාෂාවෙන් පොතකට කියලා තිබුණේ ‘නව ගිවිසුම’ විතරයි. භාෂාව ඉගෙනගන්න ශබ්දකෝෂ, පාඨමාලා තිබුණේ නැහැ. ඒ නිසා අපි හිතාගත්තා හැම දවසකම වචන 10ක් 20ක් විතර ඉගෙනගන්න. ඒත් ඒ වචනවලින් වැඩිහරියකගෙම තේරුම අපි හරියටම දැනගෙන හිටියේ නැහැ කියලා තේරුණේ පස්සේ. උදාහරණෙකට භූතවාදයට සම්බන්ධ දේවල් කරන එක වැරදියි කියනවා වෙනුවට අපි උගන්නලා තියෙන්නේ තරාදි, හැරමිටි පාවිච්චි කරන එක වැරදියි කියලා. කොහොමවුණත් අපි බයිබල් පාඩම් කීපයක්ම ඒ වෙනකොට පටන් අරගෙන තිබුණු නිසා උත්සාහය අත්හරින්නේ නැතුව දිගටම ඒ භාෂාව ඉගෙනගත්තා. අපි එක්ක මුලින්ම පාඩම් කරපු කෙනෙක් අවුරුදු ගාණකට පස්සේ මෙහෙම කිව්වා. “දැන් ඔයාලට අපේ භාෂාව හොඳට කතා කරන්න පුළුවන්. ඒ ගැන අපිට හරි සතුටුයි. ඒත් මුල් කාලේ ඔයාලා කියපු දේවල් තේරුම්ගන්න අපිට සෑහෙන්න අමාරු වුණා.”

භාෂාව ඉක්මනට ඉගෙනගන්න අපිට උදව් වුණු දෙයක් තිබුණා. කුලියට තැනක් හොයාගන්න බැරි වුණු නිසා අපි හිටියේ සහෝදර පවුලක් එක්ක. ගෙදරදීත් අනිත් හැම තැනකදීමත් අපිට කතා කරන්න වුණේ ටුවාලු භාෂාව. කාලයක්ම අපිට ඉංග්‍රීසි කතා කරන්න අවස්ථාව ලැබුණේ නැති නිසා ටුවාලු භාෂාව අපේ මව්භාෂාව වගේ වුණා.

අපි ටුවාලුවලට ගිය මුල් කාලේ ඉඳන්ම බයිබලේ ගැන දැනගන්න හරිම ආසාවෙන් හිටපු හුඟදෙනෙක්ව හම්බ වුණා. ඒත් ඒ භාෂාවෙන් අපේ ප්‍රකාශන මුකුත් තිබුණේ නැහැ. ඒ නිසා එයාලා එක්ක පාඩමක් කරන්නේ මොකෙන්ද? එයාලා බයිබලේ අධ්‍යයනය කරන්නේ කොහොමද? රැස්වීම්වලට එන්න ගත්තම ගීතිකා කියන්නේ, කතා දෙන්නේ කොහොමද? රැස්වීම්වලට සූදානම් වෙන්නේ කොහොමද? බව්තීස්ම වෙන්නේ කොහොමද? එහේ හිටපු නිහතමානී අයට යෙහෝවා දෙවි ගැන කියලා දෙන්න ඒ අයගෙම භාෂාවෙන් පොත් පත් ඕනෙමයි. (1 කොරි. 14:9) ඒත් ටුවාලු භාෂාව කතා කරන අය ඉන්නේ 15,000කටත් වඩා අඩු පිරිසක් නිසා ඒ භාෂාවට අපේ පොත් පත් පරිවර්තනය කරයිද කියලා අපිට හිතුණා. හිතේ තිබුණු ඒ ප්‍රශ්නවලට දෙවි අපිට උත්තර දුන්නා. ඒත් එක්කම අපිට මේ කාරණා 2 පැහැදිලි වුණා. (1) “දුර ඈත දූපත්වල” ඉන්න අයත් දෙවි ගැන ඉගෙනගන්නවා දකින්නයි දෙවි කැමති. (2) දෙවිට ඕනෙ මේ ලෝකෙ ඉන්න “යටහත්පහත්, නිහතමානී අය” දෙවිගේ නාමය තමන්ගේ රැකවරණය කරගන්නවා දකින්නයි.—යෙරෙ. 31:10; ශෙප. 3:12.

සුළු පිරිසක් කතා කරන භාෂාවලිනුත් ප්‍රකාශන

1980දී අපිට පැවරුමක් ලැබුණා අපේ ප්‍රකාශන ටුවාලු භාෂාවට පරිවර්තනය කරන්න. භාෂාව ගැන ලොකු අවබෝධයක් තිබුණේ නැතත් අපි වැඩේ පටන්ගත්තා. (1 කොරි. 1:28, 29) ඉස්සෙල්ලම අපි ආණ්ඩුවේ කන්තෝරුවකින් අතින් ක්‍රියා කරවන මුද්‍රණ යන්ත්‍රයක් සල්ලිවලට අරන් රැස්වීම්වලට ඕන කරන පොත් පත් මුද්‍රණය කරගත්තා. ඊටපස්සේ ‘සදාකාල ජීවනයට මඟ පෙන්වන සත්‍යය’ කියන පොත ටුවාලු භාෂාවට පරිවර්තනය කරලා මුද්‍රණය කළා. එහේ තිබුණු තද රස්නේ නිසාත් තීන්තවල සැර නිසාත් එකින් එක අතින් මුද්‍රණය කරන එක ලේසි වුණේ නැහැ. ඒ කාලේ අපිට විදුලි බලය තිබුණෙත් නැහැ.

වචනවල තේරුම හොයන්න ශබ්දකෝෂ, පොත් පත් තිබුණේ නැතත් වෙන විදිවලින් අපිට ඕන කරන උදව් ලැබුණා. දවසක් මට වැරදිලා සාක්ෂිකරුවන්ට විරුද්ධ කෙනෙකුගේ ගෙදරකට ගියා. කලින් එයා ගුරුවරයෙක්. ආයේ මේ පැත්ත පළාතේ එන්න එපා කියලා බැණලා “ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. ඔයාලා පරිවර්තනය කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් අපි ටුවාලු භාෂාව කතා කරන විදිහට නෙමෙයි” කියලා එයා කිව්වා. ඊටපස්සේ කීපදෙනෙක්ගෙන් අහලා බලද්දී එයා කියපු දේ හරි. අපේ පරිවර්තනය තවත් දියුණු කරගන්න ඒක අපිට උදව් වුණා. අපිට විරුද්ධ වුණත් පේන විදිහට අපේ ප්‍රකාශන කියවපු කෙනෙක් ලවා යෙහෝවා දෙවි උදව් කරපු විදිහ දැක්කම මට පුදුම හිතුණා.

‘රාජ්‍ය ආරංචි’ අංක 30 පත්‍රිකාව ටුවාලු භාෂාවෙන්

අපි ටුවාලු භාෂාවෙන් මුලින්ම බෙදාහැරියේ යේසුස්ගේ මරණය සිහි කිරීමේ ආරාධනා පත්‍රය. ඊටපස්සේ ‘රාජ්‍ය ආරංචි’ අංක 30 පත්‍රිකාව ඉංග්‍රීසි භාෂාවෙන් මුදාහැරපු අවුරුද්දෙම අපිටත් මුදාහරින්න පුළුවන් වුණා. ඒ අයගෙම භාෂාවෙන් ප්‍රකාශන 1ක් 2ක් හරි දෙන්න පුළුවන් වුණු එක ගැන අපිට දැනුණේ ලොකු සතුටක්. ටික කාලෙකින් සඟරා කීපයකුත් පොත් කීපයකුත් ටුවාලු භාෂාවට පරිවර්තනය කරන්න පුළුවන් වුණා. ඕස්ට්‍රේලියාවේ ශාඛා කාර්යාලය ටුවාලු භාෂාවෙන් ‘මුරටැඹ’ සඟරාව මුද්‍රණය කරන්න පටන්ගත්තේ 1983දී. පිටු 24කින් තිබුණු ඒ සඟරාව මාස 3කට වතාවක් අපිට හම්බ වුණා. අපේ ප්‍රකාශන කියවන්න ටුවාලුවල අය කැමති වුණාද? ඔව්. එයාලා සාමාන්‍යයෙන් කියවන්න ආස අය. අපේ ප්‍රකාශනයක් නිකුත් කරපු හැම වතාවකම රජයේ ගුවන් විදුලි නාලිකාවේ ප්‍රවෘත්තිවල ඒ ගැන කිව්වා. සමහර දවස්වල ඒක තමයි දවසේ ප්‍රධාන පුවත! *

පරිවර්තන වැඩ සිද්ධ වුණේ කොහොමද? අපි ඉංග්‍රීසි භාෂාවෙන් ටුවාලු භාෂාවට පරිවර්තනය කළේ අතින් ලියලයි. ඊටපස්සේ වැරදි නැති වෙන කල් කීපවතාවක්ම ඒක ටයිප් කළා. ඕස්ට්‍රේලියාවේ ශාඛා කාර්යාලයට යැව්වේ ඒ පිටපතයි. එහේ හිටපු සහෝදරියෝ දෙන්නෙක් ඒවා මෙප්ස් කියන පරිගණක වැඩසටහනට ඇතුල් කළා. ඒ දෙන්නා ටුවාලු භාෂාව දැනගෙන හිටියේ නැති නිසා හැම ලිපියක්ම ඒ දෙන්නා වෙන වෙනම ටයිප් කරලා දෙක සන්සන්දනය කළා. වැරදි අඩු කරගන්නයි එහෙම කළේ. ඊටපස්සේ ඒ ලිපි පින්තූරුත් එක්ක සඟරාවක් විදිහට සකස් කරලා තැපැලෙන් අපිට එව්වා. අපි ඒක පරීක්ෂා කරලා ආයෙත් යැව්වට පස්සෙයි සඟරාව මුද්‍රණය කළේ.

දැන් නම් පරිවර්තන වැඩකටයුතු හුඟක් දියුණුයි. පරිවර්තනය කරන කණ්ඩායම කෙළින්ම පරිගණකයෙම ටයිප් කරලා අඩුපාඩු හදනවා. ඊටපස්සේ ඒක සඟරාවක් විදිහට පින්තූරු දාලා සකස් කරනවා. සකස් කරපු සඟරා ඊ-මේල් හරහා මුද්‍රණය කරන්න යවනවා. ඒ නිසා දැන් ඉස්සර වගේ අන්තිම මොහොතේ තැපැල් කාර්යාලවලට දුවන්න ඕනෙ නැහැ.

තවත් පැවරුම්

ඔය විදිහට කාලේ ගත වෙද්දී මටයි ජෙනිටයි පැසිෆික් දූපත්වලම තව වෙන වෙන පැවරුම් ලැබුණා. ටුවාලුවල ඉඳන් අපි සමොවා ශාඛා කාර්යාලයේ සේවය කරන්න ගියේ 1985දී. ඒ වෙනකොටත් අපි කරකර හිටපු ටුවාලු පරිවර්තන වැඩවලට අමතරව සැමෝවන්, ටොංගන්, ටොකෙලාවුවන් භාෂාවලට ප්‍රකාශන පරිවර්තනය කරන වැඩවලටත් උදව් වුණා. * 1996දී අපිට පැවරුම ලැබුණේ ෆීජි ශාඛා කාර්යාලයේ සේවය කරන්න. එහෙදීත් අපි ෆිජියන්, කිරිබාති, නාඋරුඅන්, රොටුමන් සහ ටුවාලු භාෂාවලට පරිවර්තනය කරන අය එක්ක වැඩ කළා.

ටුවාලු භාෂාවෙන් තිබුණු ප්‍රකාශන යොදාගනිමින් අනිත් අයට සත්‍යය කියලා දුන්නා

කොච්චර අමාරු වුණත් කොච්චර වෙහෙසක් දැනුණත් පරිවර්තකයන් එයාලගේ වැඩේට ආදරේ කරන විදිහ දැක්කම මට පුදුම හිතෙනවා. යෙහෝවා දෙවිට වගේම ඒ විශ්වාසවන්ත සහෝදර සහෝදරියන්ටත් ඕනෙ මිනිසුන්ට එයාලගෙම භාෂාවෙන් ශුභාරංචිය අහන්න උදව් කරන්නයි. (එළි. 14:6) ‘මුරටැඹ’ සඟරාව ටොංගන් භාෂාවට පරිවර්තනය කරන්න සැලසුම් කරද්දී මං එහේ හිටපු වැඩිමහල්ලන්ගෙන් ඇහුවා පරිවර්තකයෙක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා. එතකොට එක වැඩිමහල්ලෙක් ඒකට කැමති වුණා. එයා මෙකැනික් කෙනෙක් විදිහට ඒ වෙනකොට හොඳ රස්සාවක් කරකරයි හිටියේ. පහුවෙනිදාම එයා රස්සාවෙන් අස් වෙලා පරිවර්තන වැඩවලට හවුල් වුණා. එයාගේ පවුලේ අයගේ අවශ්‍යතා සපයන්න ඕන කරන මුදල් හොයාගන්නේ කොහොමද කියලා එයා දැනගෙන හිටියේ නැතත් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. එයාට දෙවි ගැන තිබුණු විශ්වාසය දැකලා මමත් දිරිගැන්වුණා. යෙහෝවා දෙවි ඒ සහෝදරයාවත් එයාගේ පවුලේ අයවත් අත්හැරියේ නැහැ. අවුරුදු ගාණක්ම එයා පරිවර්තන වැඩවලට හවුල් වුණා.

ඒ පරිවර්තකයන් වගේම පාලක මණ්ඩලයේ සහෝදරයනුත් ගොඩක් උනන්දු වෙන්නේ ටිකදෙනෙක් කතා කරන භාෂා ඇතුළුව හැම භාෂාවකින්ම අපේ ප්‍රකාශන ලබා දෙන්නයි. උදාහරණෙකට අපේ ප්‍රකාශන ටුවාලු භාෂාවට පරිවර්තනය කරන එකෙන් ප්‍රයෝජනයක් තියෙනවද කියන ප්‍රශ්නේ මතු වුණු වෙලාවේ පාලක මණ්ඩලය ඒකට එවපු උත්තරේ මටත් ලොකු ශක්තියක් වුණා. ඔවුන් කියලා තිබුණේ මෙහෙමයි. “ටුවාලු භාෂාවට පරිවර්තනය නොකර ඉන්න කිසිම හේතුවක් තියෙනවා කියලා අපි හිතන්නේ නැහැ. අනිත් භාෂා එක්ක බලද්දී ටුවාලු භාෂාව කතා කරන්නේ සුළු පිරිසක් වුණත් ඒ අයටත් එයාලගෙම භාෂාවෙන් ශුභාරංචිය අහන්න අවස්ථාව දෙන්න ඕනේ.”

කලපුවේ බව්තීස්ම කරමින්

ෆීජි ශාඛා කාර්යාලයේ පරිවර්තන අංශයේ සේවය කරකර හිටපු ජෙනිටයි මටයි 2003දී පැටර්සන්වල තියෙන පරිවර්තනයට සහය දක්වන අංශයේ සේවය කරන්න පැවරුමක් ලැබුණා. ඒක අපිට හීනයක් හැබෑ වුණා වගේ. මොකද භාෂා කීපයකට නෙමෙයි ලෝකෙ පුරාම ඉන්න අපේ පරිවර්තකයන්ට උදව් කරන්න අපිට අවස්ථාව ලැබුණා. ඒ අංශයේ වැඩ කරපු අවුරුදු 2දී විවිධ රටවලට ගිහින් පරිවර්තන කණ්ඩායම් පුහුණු කරන්න අපිට පුළුවන් වුණා.

පරිවර්තන ඉතිහාසයේ අලුත් පිටුවක්

දැන් මම මේ ලිපියේ මුලින්ම කියපු වැදගත් රැස්වීමට ආයෙත් යන්නම්. ලෝකෙ වටේම ඉන්න පරිවර්තන කණ්ඩායම්වලට හොඳ පුහුණුවක් දෙන එක අත්‍යවශ්‍යයි කියලා වර්ෂ 2000 විතර වෙනකොට පාලක මණ්ඩලය තේරුම් අරන් තිබුණා. ඒ වෙනකොට හිටපු හුඟක් පරිවර්තකයන්ට පුහුණුවක් ලැබිලා තිබුණේ නැහැ. ඒත් එදා පවත්වපු රැස්වීමෙන් පස්සේ පාලක මණ්ඩලය තීරණය කළා හැම රටකම ඉන්න පරිවර්තකයන්ව පුහුණු කරන්න. ඒ පුහුණුවට ඉංග්‍රීසි ලිපිය තේරුම්ගන්න විදිහ, මතු වෙන ප්‍රශ්න විසඳගන්න විදිහ, කණ්ඩායමක් හැටියට සහයෝගයෙන් වැඩ කරන විදිහ ඇතුළත් කරන්න ඔවුන් තීරණය කළා.

ඒ පුහුණුවේ ප්‍රතිඵල මොනවද? දැන් අපේ ප්‍රකාශන කලින්ට වඩා සරලව, ඕනම කෙනෙකුට පහසුවෙන් තේරුම්ගන්න පුළුවන් විදිහට පරිවර්තනය කරන්න හැකි වෙලා තියෙනවා. ඒ වගේම වෙන කවරදාකටත් වඩා වැඩි භාෂා ගාණකට අපේ ප්‍රකාශන දැන් පරිවර්තනය කරනවා. 1979 අපි මිෂනාරි සේවය පටන්ගද්දී ‘මුරටැඹ’ සඟරාව තිබුණේ භාෂා 82කින් විතරයි. ඒ අතරින් වැඩි හරියක්ම මුද්‍රණය කළේ ඉංග්‍රීසි කලාපය නිකුත් කරලා මාස කීපයකට පස්සේ. ඒත් දැන් ‘මුරටැඹ’ සඟරාව භාෂා 240කට වඩා වැඩි ගාණකින් මුද්‍රණය කරනවා. ඒවාවලින් වැඩි හරියක්ම නිකුත් කරන්නේ ඉංග්‍රීසි කලාපයත් එක්කමයි. මේ වෙනකොට මිනිසුන්ට බයිබලේ තියෙන සත්‍යය දැනගන්න උදව් කරන ප්‍රකාශන දෙක තුනක් හරි භාෂා 700කට වඩා වැඩි ගාණකින් ලබාගන්න පුළුවන්. මීට අවුරුදු කීපයකට කලින් නම් ඒක හිතාගන්නවත් බැරි දෙයක්.

‘ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය’ පුළුවන් තරම් ඉක්මනින් තව වැඩි භාෂා ගාණකට පරිවර්තනය කරන එක වැදගත් කියලා 2004දී පාලක මණ්ඩලය තීරණයකට ආවා. ඒ තීරණය නිසා දැන් හුඟක් අයට එයාලගෙම භාෂාවෙන් ‘නව ලොව පරිවර්තනය’ කියවන්න පුළුවන්. 2014 වෙනකොට සම්පූර්ණ බයිබලය නැත්නම් බයිබලෙන් කොටසක් භාෂා 128කින් නිකුත් කරලා තියෙනවා. ඒ අතර දකුණු පැසිෆික් දූපත්වල කතා කරන භාෂා කීපයකුත් තියෙනවා.

ටුවාලු භාෂාවෙන් ‘ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ නව ලොව පරිවර්තනය’ මුදාහරිමින්

මගේ මතක සටහන් අතර තියෙන ආසම එකක් තමයි 2011 ටුවාලුවල පවත්වපු සමුළුව. ඒ සමුළුවට කලින් මාස ගාණක් තිස්සේ රටේ ලොකු නියඟයක් තිබුණා. ඒ නිසා සහෝදරයන් හිතුවේ සමුළුව තියන්න බැරි වෙයි කියලා. ඒත් අපි ඒ රටට ගිය දවසෙම හවස මහ වැස්සක් වහින්න පටන්ගත්තා. සැලසුම් කරපු විදිහටම සමුළුව පවත්වන්න අපිට පුළුවන් වුණා. ටුවාලු භාෂාවෙන් ‘ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනය’ මුදාහරින්න ලැබුණු එක මං සලකන්නේ ලොකු වරප්‍රසාදයක් විදිහට. ඒ භාෂාව කතා කරන සහෝදර සහෝදරියන් ඉන්නේ ටිකදෙනෙක් වුණත් යෙහෝවා දෙවි ඒ අයටත් මේ වටිනා තෑග්ග දුන්නා. සමුළුව ඉවර වෙනවත් එක්කම ආයෙත් ධාරානිපාත වැස්සක් කඩා හැළුණා. සමුළුවට ආපු අයට ජීවනදායක වතුර විතරක් නෙමෙයි නියඟය ඉවර වෙලා ඇති තරම් වතුරත් ලැබුණා.

2014 ඕස්ට්‍රේලියාවේ තිබුණු සමුළුවකදී මගේ දෙමාපියන් එක්ක සම්මුඛ සාකච්ඡාවක් කරමින්

ඒත් ඒ සතුට බෙදාගන්න මගේ ආදරණීය බිරිඳ මාත් එක්ක හිටියේ නැහැ. එයා අවුරුදු 10ක් තිස්සේ දරුණු පිළිකාවක් එක්ක පොරබදලා 2009දී මිය ගියා. එයා අවුරුදු 35ක්ම මාත් එක්කම හිටියා. ටුවාලු භාෂාවෙන් බයිබලය මුදාහැරියා කියන ආරංචිය නැවත නැඟිටින දවසෙදී එයා දැනගත්තම එයාට කොයි තරම් සතුටක් දැනෙයිද!

පස්සේ කාලෙකදී මං ආයෙත් විවාහ වුණා. ලෝරෙනි, යෙහෝවා දෙවි මට දුන්න තෑග්ගක්. අපි ෆීජි බෙතෙල් එකේ සේවය කරන කාලෙදී ජෙනියි ලෝරෙනියි එකට වැඩ කරලා තියෙනවා. ලෝරෙනිත් ෆීජි පරිවර්තන කණ්ඩායමේ කාලයක් සේවය කළා. දැන් මට ආයෙත් මාත් එක්කම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කරන බිරිඳක් හම්බ වෙලා තියෙනවා. එයාත් මං වගේම භාෂාවන්ට ආදරේ කරන කෙනෙක්.

ලෝරෙනි එක්ක ෆීජිවල සේවයේ හවුල් වෙමින්

අපේ ආදරණීය දෙවි පියාණන් වන යෙහෝවා දෙවි හැම භාෂාවක්ම කතා කරන අය ගැන සැලකිලිමත්. යම් භාෂාවක් කතා කරන අය ඉන්නේ ටිකදෙනෙක් වුණත් දෙවි ඒ අය ගැනත් හිතනවා. (ගීතා. 49:1-3) තමන්ගෙම භාෂාවෙන් ප්‍රකාශනයක් අතට ලැබෙන මුල්ම දවසේ සහෝදරයන්ගේ මුහුණේ ඇඳෙන හිනාව මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. තමන්ගෙම භාෂාවෙන් ගීතිකාවක් කියද්දී එයාලා සතුටු වෙන විදිහ මං දැකලා තියෙනවා. ඒ වගේ වෙලාවලදී මට මතක් වෙන්නේ යෙහෝවා දෙවි අපිට කොච්චර ආදරේද කියලයි. (ක්‍රියා 2:8, 11) ටුවාලුවල ඉන්න සහෝදර ටිආසි කියපු දෙයක් මට අද වගේ මතකයි. ටුවාලුවලින් මුලින්ම ගීතිකාවක් ගායනා කළාට පස්සේ එයා මෙහෙම කිව්වා. “මේ ගීතිකා ඉංග්‍රීසියෙන් කියනවට වඩා ලස්සනට ටුවාලුවලින් කියන්න පුළුවන්. ඔයා ඒක පාලක මණ්ඩලේ සහෝදරයන්ටත් කියන්න.”

2005 සැප්තැම්බර් මාසේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් විදිහට සේවය කරන්න පැවරුම ලැබුණම මං පුදුම වුණා. මට දැන් මං ආසම වැඩේ, ඒ කියන්නේ පරිවර්තනය කරන වැඩේ කරන්න බැහැ. ඒත් ලෝකෙ පුරාම කෙරෙන පරිවර්තන වැඩවලට සහය වෙන්න යෙහෝවා දෙවි මට දීලා තියෙන වරප්‍රසාදය මට හුඟක් වටිනවා. පැසිෆික් සාගරේ ඈතට වෙන්න තියෙන පුංචි දූපතක ඉන්න ටිකදෙනා ඇතුළු ලෝකෙ ඉන්න හැම කෙනෙක් ගැනම යෙහෝවා දෙවි සැලකිලිමත් කියලා දකිද්දී මට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. ගීතිකාකරු කිව්ව මේ දේ මොන තරම් ඇත්තක්ද! “යෙහෝවා දෙවි රජ වී ඇත. පොළොව ප්‍රීති වේවා! දූපත් සියල්ල සතුටු වේවා!”—ගීතා. 97:1.

^ 18 ඡේ. අපේ ප්‍රකාශනවලට ඒ අය කොච්චර ආස කළාද කියලා දැනගන්න 2000 දෙසැම්බර් 15 ‘මුරටැඹ’ කලාපයේ 32වෙනි පිටුව බලන්න.

^ 22 ඡේ. සමොවා ශාඛා කාර්යාලයේ කරන පරිවර්තන වැඩ ගැන තව විස්තර දැනගන්න ‘2009 වාර්ෂික පොතේ’ 120-121, 123-124 පිටු බලන්න. (සිංහලෙන් නැහැ.)