Skip to content

පටුනට යන්න

පවුලේ සමඟියට අත්වැලක්

විවාහ සහකරු දරුණු අසනීපයකට මුහුණ දුන් විට

විවාහ සහකරු දරුණු අසනීපයකට මුහුණ දුන් විට

මගේ අසනීප තත්වය නිසා මට හරියට වැඩක් පළක් කරගන්න බැරි වුණා. ඒ නිසා මගේ මහත්තයා තමයි ගෙදර දොරේ වැඩකටයුතු කළේ. ඒත් එයා කවදාවත් පවුලේ වියහියදම් ගැන මට මොනවත්ම කිව්වේ නැහැ. සමහරවිට ඒ ගැන අහලා මම කලබල වෙයි කියලා එයා නොකියා ඉන්න ඇති. ඒත් එයා එහෙම කළ එක ගැන මට දුකයි.—නැන්සි. *

සාමාන්‍යයෙන් ඕනෑම විවාහයක් තුළ යම් අභියෝග තිබිය හැකියි. * නමුත් සැමියා හෝ බිරිඳ අසනීප වී වැඩක් පළක් කරගත නොහැකි තත්වයකට පත් වුණොත් එය පවුලට විශාල අභියෝගයක් වෙනවා. ඔබේ සහකරු හෝ සහකාරිය එවැනි තත්වයකට පත් වී තිබෙනවාද? එසේනම් ඔබට මෙසේ හැඟෙනවාද? ‘මගේ සහකරුගේ අසනීප තත්වය තවත් දරුණු අතට හැරුණොත් මම මොනවාද කරන්නේ? ගෙදර දොරේ වැඩකටයුතු කරන අතර මගේ සහකරුවාව කොච්චර කාලයක් මට බලාගන්න පුළුවන් වෙයිද?

අසනීප වී සිටින්නේ ඔබ නම් ඔබට මෙසේ සිතෙන්න පුළුවන්. ‘මගේ වැඩවත් මට හරියට කරගන්න බැරිකොට මගෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද? මගේ අසනීප තත්වය නිසා මගේ සහකරුට මාව එපා වෙයිද? අපේ සතුට නැති වෙයිද?

ස්වාමිපුරුෂයා හෝ භාර්යාව දරුණු අසනීප තත්වයන්ට මුහුණ දීම නිසා සමහර පවුල් දෙකඩ වී තිබෙනවා. නමුත් ඉන් අදහස් වෙන්නේ ඔබ හෝ ඔබේ සහකරු එවැනි තත්වයක සිටිනවා නම් ඔබේ පවුල් ජීවිතය අනතුරක තිබෙන බව නොවෙයි.

බොහෝ විවාහකයන් එවැනි අභියෝග ජය ගෙන තිබෙන අතර ඔවුන්ගේ පවුල් ජීවිතද සාර්ථක වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මදකට යොෂියාකී සහ කසූකොගේ අද්දැකීම සලකා බලන්න. යොෂියාකීට කොඳු ඇට පෙළේ දරුණු ආබාධයක් ඇති වුණ නිසා කිසිම දෙයක් කරගන්න බැරි තත්වයකට ඔහු පත් වුණා. ඒ ගැන ඔහුගේ බිරිඳ වූ කසූකො මෙසේ පවසනවා. “මගේ මහත්තයාට කාගෙවත් උදව් නැතුව පොඩි දෙයක්වත් කරගන්න බැහැ. ඒ නිසා හැම දේකටම මම එයාට උදව් කරනවා. සමහර දවස්වලට මගේ අත පය, බෙල්ල, උරහිස් රිදෙනවා. මාත් ඉන්නේ අසනීපෙන්. ඒ නිසා මහත්තයාව බලාගන්න එක ලෙහෙසි නැහැ.” කසූකොට ඇගේ සැමියාව බලාගැනීමේදී යම් අපහසුතාවන්ට මුහුණ දෙන්න සිදු වුණත් ඇය මෙවැනි දෙයක්ද පැවසුවා. “විවාහ යුවළක් විදිහට අපි අතර තිබෙන බැඳීම තව තවත් ශක්තිමත් වෙලා තියෙනවා.”

ස්වාමිපුරුෂයා හෝ භාර්යාව බරපතළ අසනීපයකට මුහුණ දුන්නොත් එවැනි තත්වයක් තුළ පවුලේ සන්තෝෂය පවත්වාගත හැක්කේ කෙසේද? දෙදෙනාගෙන් කවුරු එවැනි තත්වයකට මුහුණ දුන්නත් එය දෙදෙනාටම බලපාන දෙයක් ලෙස සලකන්න. ස්වාමිපුරුෂයා සහ භාර්යාව අතර තිබෙන බැඳීම ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී, තම බිරිඳට ඇලුම් වන්නේය. ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය.” (උත්පත්ති 2:24, නව ලොව පරිවර්තනය, NW) එහි සඳහන් වන ආකාරයට විවාහ යුවළක් “එක් කෙනෙකු මෙන්” වන නිසා දෙදෙනාගෙන් කවුරු අසනීප වුණත් එය නිරෝගී කෙනාටත් දැනෙනවා. එමනිසා කළ හැකි හොඳම දෙය වන්නේ දෙදෙනාම එකතු වී එම අභියෝගයට මුහුණ දීමයි.

යුවළක් අතර කිට්ටු බැඳීමක් තිබෙනවා නම් රෝගී තත්වය හොඳින් තේරුම්ගැනීමටත් ඊට සාර්ථකව මුහුණ දීමටත් හැකි වෙනවා. ඒ බව පර්යේෂණවලින්ද හෙළි වී තිබෙනවා. එවැනි විවාහකයන් අනුගමනය කර තිබෙන ක්‍රියා මාර්ග බයිබලයේ තිබෙන අනර්ඝ උපදෙස්වලට සමානයි. ස්වාමිපුරුෂයා හෝ භාර්යාව දිගුකාලීන රෝගයකට ලක් වුණොත් ඊට සාර්ථකව මුහුණ දී පවුල් ජීවිතය ශක්තිමත් කරගැනීම සඳහා උපකාරවත් වන පියවර තුනක් සලකා බලමු.

එකිනෙකා ගැන සැලකිලිමත් වන්න

බයිබලයේ මෙවැනි දෙයක් සඳහන් වෙනවා. “එක් කෙනෙකුට වඩා දෙදෙනෙකු හොඳය.” ඒ ඇයි? ඊට හේතුව ‘ඔවුන්ගෙන් එක් කෙනෙකු වැටුණොත් අනික් තැනැත්තා ඔහුව නැඟිටුවන’ නිසයි. ඇත්තෙන්ම ඔබේ සහකරුව අගය කරමින් ‘ඔහුව නැඟිටුවන්න’ එනම් දිරිමත් කරන්න ඔබ පියවර ගෙන තිබෙනවාද?—දේශනාකාරයා 4:9, 10NW.

අසනීපයෙන් සිටින සහකරුව බලාගන්නා තැනැත්තා ඔබ නම් ඔහු කෙරෙහි සැලකිල්ල පෙන්වීමට ඔබට හැක්කේ කෙසේද? අංශභාග රෝගයෙන් පෙළෙන තම බිරිඳව බලාගන්නා යොං ඒ ගැන පැවසුවේ මෙයයි. “මම නිතරම මගේ බිරිඳගේ ඕනෑ එපාකම් ගැන හිතනවා. මට මොනවා හරි බොන්න හිතුණාම මගේ බිරිඳටත් එහෙම දැනෙනවා ඇති කියලා මට හිතෙනවා. මට කොහේ හරි යන්න ඕනේ කියලා හිතුණාම මම මගේ බිරිඳගෙනුත් අහනවා මාත් එක්ක එන්න කැමතිද කියලා. අසනීපෙන් ඉන්නේ මගේ බිරිඳ වුණත් අපි දෙන්නම ඒ තත්වය දරාගන්නවා.”

අසනීපයෙන් සිටින කෙනා ඔබ නම් ඔබව බලාගන්නා සහකරුට සැලකිල්ල පෙන්විය හැක්කේ කෙසේද? ඔබේ රෝගී තත්වය තවත් උත්සන්න නොවන අයුරින් ඔබට කළ හැකි වැඩකටයුතු කිරීමට ඔබට හැකිද? එසේ කිරීමෙන් ‘මම අනික් අයට බරක්’ යන හැඟීමෙන් මිදෙන්න ඔබට හැකි වෙයි. එමෙන්ම එය ඔබේ සහකරුට උපකාරයක් වන අතර ඔබ වෙනුවෙන් අවශ්‍ය වෙනත් උපකාර ලබා දීමද වඩාත් පහසු කරවයි.

ඔබට සුදුසුයි කියා හැඟෙන දේ නොකර ඔබේ සහකරු කැමති කුමක්ද කියා විමසා ඒ අනුව කටයුතු කිරීම වඩා ඥානවන්තයි. මෙම ලිපියේ මුලින් සඳහන් කළ නැන්සි ස්වාමිපුරුෂයා පවුලේ වියහියදම් තමන්ට නොපැවසීම ගැන දුක් වුණා ඔබට මතකද? කොහොමවුණත් ඒ ගැන ඔහු සමඟ කතා කිරීමට ඇය තීරණය කළා. එමනිසා දැන් ඇගේ ස්වාමිපුරුෂයා පවුලේ වියහියදම් ගැන ඇයට පවසන්න අමතක කරන්නේ නැහැ.

මෙය අත්හදා බලන්න. ඔබ සිටින තත්වයෙන් යම් සහනයක් ලබාගැනීම සඳහා ඔබේ සහකරුගෙන් ඔබ බලාපොරොත්තු වන දේවල් මොනවාද කියා කොළයක සටහන් කරගන්න. ඒ දේම කරන්න කියා ඔබේ සහකරුටත් පවසන්න. ඉන්පසු ඔබ දෙදෙනා එම කොළ දෙක මාරු කරගන්න. එහි සඳහන් කර තිබෙන දේවල් සලකා බලා ඔබ දෙදෙනාටම කළ හැකි දේවල් කරන්න.

සමබර වන්න

“සෑම දෙයකටම නියමිත කාලයක් ඇත” කියා බයිබලයේ සඳහන් වෙනවා. (දේශනාකාරයා 3:1NW) නමුත් පවුලේ කෙනෙක් බරපතළ අසනීපයකට ගොදුරු වූ විට පවුලේ වැඩකටයුතු පෙර පරිදි කලට වේලාවට කරගෙන යෑම පහසු දෙයක් නොවේ. එමනිසා මෙවැනි තත්වයකදී කළ හැක්කේ කුමක්ද?

අසනීපය ගැනම කතා කරනවා වෙනුවට වෙනත් ක්‍රියාකාරකම්වල නිරත වීමට ඔබට හැකිද? සමහරවිට අසනීප වීමට කලින් පවුලක් හැටියට ඔබ දෙදෙනා සතුටින් කළ දේවල් තවදුරටත් කරන්න උත්සාහ කරන්න. එසේත් නැත්නම් අලුත් ක්‍රියාකාරකම් අත්හදා බලන්න. උදාහරණයකට දෙදෙනාට එකතු වී පොත් පත් කියවිය හැකියි. එසේත් නැත්නම් අලුත් භාෂාවක් ඉගෙනගත හැකියි. එවැනි දේවල් ඔබ දෙදෙනා අතර තිබෙන බැඳීම තවත් ශක්තිමත් වීමට දායක වෙනවා.

අන් අය සමඟ ඇසුරු කිරීමද ඉතා ප්‍රයෝජනවත්. ඒ සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් වන දෙය බලන්න. “අන් අයගෙන් වෙන්ව සිටින තැනැත්තා තම ආත්මාර්ථකාමී ආශාවන් පසුපස ලුහුබැඳ යයි. ඔහු සැබෑ ප්‍රඥාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරයි.” (හිතෝපදේශ 18:1NW) එහි සඳහන් ආකාරයට කෙනෙක් තනි වී සිටීමට උත්සාහ කළොත් ඔහුගේ මනසෙහි වැරදි සිතුවිලි ඇති විය හැකියි. නමුත් අන් අයව ඇසුරු කරමින් කාලය ගත කරනවා නම් ඉන් විශාල දිරිගැන්වීමක් සහ ශක්තියක් ලබාගැනීමට අවස්ථාව උදා වෙනවා. එමනිසා අන් අයව ඔබේ නිවසට ආරාධනා කිරීම හොඳ අදහසක් නොවේද?

අසනීප වී සිටින සහකරුවාව බලාගන්නා ඔබ, සමබරව වැඩකටයුතු කිරීම ඉතා වැදගත්. මන්ද ඔබ සීමාව ඉක්මවා වැඩ කළොත් වෙහෙසට පත් වී අසනීප වීමටද ඉඩ තිබෙනවා. එසේවුණොත් අසනීපයෙන් සිටින ඔබේ සහකරුවාව බලාගැනීමට තවදුරටත් ඔබට නොහැකි වෙයි. එමනිසා ඔබේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වී ප්‍රමාණවත් විවේකයක් ගැනීමද ඉතා වැදගත්. * එමෙන්ම තමන්ට මුහුණ දීමට සිදු වන අභියෝග ගැන වෙනත් කෙනෙක් සමඟ කතා කිරීම ප්‍රයෝජනදායක බව සමහර අය අද්දැක තිබෙනවා. එමනිසා ඔබ සැමියෙක් නම් ඔබේ මිතුරෙකු සමඟත් ඔබ බිරිඳක් නම් ඔබේ මිතුරියක් සමඟත් ඔබේ අභියෝග ගැන කතා කරන්න.

මෙය අත්හදා බලන්න. ඔබේ සහකරුව බලාගැනීමේදී ඔබට මුහුණ දීමට සිදු වන අභියෝග මොනවාද කියා සටහන් කරගන්න. එම අභියෝග ජය ගැනීමට කළ හැක්කේ කුමක්ද කියාත් සටහන් කරගන්න. ඉන්පසු අභියෝග ගැන අනවශ්‍ය ලෙස කලබල නොවී ඒවා ‘ලෙහෙසියෙන්ම ජය ගත හැකි ක්‍රමය කුමක්ද’ කියා කල්පනා කර බලන්න.

සුබවාදී වන්න

බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “‘අතීතයේ මම මීට වඩා සතුටින් සිටියෙමි’ යයි නොකියන්න.” (දේශනාකාරයා 7:10NW) ඒ නිසා ඔබට කළ නොහැකි දේවල් ගැන සිතමින් වධ වෙන්න එපා. මේ සමාජය තුළ අපේ සතුට සෑමදාම එක ලෙස පවතින්නේ නැති බව මතක තියාගන්න. වැදගත්ම දේ වන්නේ ඔබ සිටින තත්වය හොඳින් තේරුම්ගෙන ඔබට කළ හැකි දේ උපරිමයෙන් කිරීමයි.

ඒ සඳහා යුවළක් හැටියට ඔබ දෙදෙනාට කළ හැක්කේ කුමක්ද? ඔබ දෙදෙනා යුවළක් ලෙස භුක්ති විඳින යහපත් දේවල් ගැන කතා කරන්න. එමෙන්ම මේ වන විට ඔබේ රෝගී තත්වයෙන් ඔබ යම් සුවයක් ලබා ඇත්නම් ඒ ගැන සතුටු වෙන්න. ඊට අමතරව ඔබ දෙදෙනා එකතු වී ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන දේවල් මොනවාද කියා සැලසුම් කරන්න.

ඉහත බයිබල් පදය අදාළ කරගත් ෂෝජි සහ අකීකෝගේ අද්දැකීම සලකා බලන්න. අකීකෝ දරුණු ලෙස අසනීප වූ නිසා ඔවුන් දෙදෙනා දෙවිට පූර්ණකාලීනව කරමින් සිටි සේවය ඔවුන් නතර කළා. ඒ අවස්ථාවේදී ඔවුන් ඒ ගැන දුක් වුණත් ඒ හා සමාන තත්වයන්ට මුහුණ දෙන අයට ෂෝජි මෙවැනි දෙයක් පවසනවා. “තවදුරටත් කරන්න බැරි දේවල් ගැන හිතහිතා කලකිරෙන්න එපා. ඒ වෙනුවට කරන්න පුළුවන් දේවල් ගැන හිතන්න. සමහරවිට අනාගතයේදී ඔබ දෙදෙනා කලින් සිටි තත්වයට නැවත පැමිණීමට ඉඩ තිබෙනවා. ඒ නිසා දැනට ඔබ සිටින තත්වයට අවධානය යොමු කරන්න. මම දැන් මගේ මුළු අවධානයම යොමු කරලා තියෙන්නේ මගේ බිරිඳගේ අසනීප තත්වයටයි එයාව කොහොමද බලාගන්නේ කියන එකටයි.” ඔබේ සහකරුත් දරුණු අසනීපයකින් පෙළෙනවා නම් මේ තොරතුරු ඔබටත් ප්‍රයෝජනවත් විය හැකියි.

^ 3 ඡේ. මෙහි සමහර නම් වෙනස් කර ඇත.

^ 4 ඡේ. මෙම ලිපියෙහි සාකච්ඡා කරන්නේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව වැඩක් පළක් කරගත නොහැකි තත්වයකට පත් වුණොත් ඊට සාර්ථකව මුහුණ දිය හැකි ආකාරය ගැනයි. නමුත් මේ ලිපියේ තිබෙන තොරතුරු හදිසි අනතුරකින් ආබාධිත වී සිටින හෝ මානසික අවපීඩනයෙන් පෙළෙන විවාහකයන්ටත් ප්‍රයෝජනවත්.

^ 20 ඡේ. ඔබට හැකියාව තිබෙනවා නම් ඔබේ ස්වාමිපුරුෂයාව හෝ භාර්යාව බලාගැනීමට වෙනත් කෙනෙකුගේ සහය ලබාගන්න.

ඔබගෙන්ම මෙසේ අසාගන්න . . .

අපි දෙදෙනා දැන් කළ යුතු හොඳම දෙය කුමක්ද?

  • නිතරම අසනීපය ගැන කතා කිරීම

  • අසනීපය ගැන කතා කිරීම අඩු කිරීම

  • කනස්සලු වීම අවම කිරීම

  • එකිනෙකා ගැන සැලකිලිමත් වීම

  • දෙදෙනා එක්ව යම් ක්‍රියාකාරකම්වල නිරත වීම

  • අන් අයව ඇසුරු කිරීමට උත්සාහ කිරීම

  • ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන දේවල් සැලසුම් කිරීම