Skip to content

පටුනට යන්න

පාඨකයන් අසයි

ක්‍රිස්තියානියෙක් වීමට ත්‍රිත්වය විශ්වාස කළ යුතුද?

ක්‍රිස්තියානියෙක් වීමට ත්‍රිත්වය විශ්වාස කළ යුතුද?

වර්ෂ 2007දී ඩෙන්මාර්කයේ ප්‍රකාශයට පත් කළ පාසැල් අච්චු පොතක යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හඳුන්වා තිබුණේ බයිබලයට එකඟව ජීවත් වන ක්‍රිස්තියානි කණ්ඩායමක් ලෙසයි. ඇත්තටම ඩෙන්මාර්කයේ තිබෙන ආගම් අතරින් තුන්වන ස්ථානය හිමි වන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ටයි.

කොහොමවුණත් සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් පාසැල් අච්චු පොතේ සඳහන් වීම ගැන ඩෙන්මාර්කයේ බිෂොප්වරයෙක් විරුද්ධත්වය ප්‍රකාශ කළා. ඔහු පැවසුවේ මෙයයි. “ක්‍රිස්තියානි ආගම හොඳට අධ්‍යයනය කරලා තියෙන කිසිම කෙනෙක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව ක්‍රිස්තියානීන් හැටියට හඳුන්වනවා මම අහලා නැහැ. ඒකට හේතුව ඔවුන් ත්‍රිත්වය පිළි නොගැනීමයි. ත්‍රිත්වය කියන්නේ ක්‍රිස්තියානි ආගමේ මූලික ඉගැන්වීමක්.”

පාසැල් අච්චු පොතේ කර්තෘවරිය වන අනීකා ෆිටාමාර් පැවසුවේ ‘කෙනෙකුගෙන් ඔබව ක්‍රිස්තියානියෙක් ලෙස හඳුන්වන්නේ ඇයි කියා ඇසූ විට එයට හේතුව තමන් ත්‍රිත්වය විශ්වාස කිරීම කියා කිසි කෙනෙක් පවසන්නේ නැහැ’ කියායි. එමෙන්ම එම පොතේ එක් කොටසක මෙසේද සඳහන් වුණා. “ත්‍රිත්වය නමැති ඉගැන්වීම තේරුම්ගන්න බැරි වියවුල් සහගත ඉගැන්වීමක්. ඒ නිසා ක්‍රිස්තියානි ආගම ගැන හරි අවබෝධයක් නැති කෙනෙකුට දෙවි ත්‍රිත්වයක් නෙවෙයි කියලා පැහැදිලි කරන්න හරිම අමාරුයි.”

“ත්‍රිත්වය නමැති ඉගැන්වීම තේරුම්ගන්න බැරි වියවුල් සහගත ඉගැන්වීමක්”

දෙවි සහ යේසුස් ගැන බයිබලයේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා. ඒ නිසා ත්‍රිත්වය කියන වචනය හෝ ඊට පදනමක් සපයන කිසිම තොරතුරක් බයිබලයේ නැහැ. යේසුස් යෙහෝවා දෙවිගේ කුලුඳුල් නිර්මාණය බවත් දෙවි සහ මිනිසුන් අතර සිටින එකම මැදිහත්කරු වන්නේ යේසුස් බවත් බයිබලයේ සඳහන් වෙනවා. (කොලොස්සි 1:15; 1 තිමෝති 2:5) නමුත් යෙහෝවා දෙවිව බයිබලයේ විස්තර කර තිබෙන්නේ “මුළු පොළොවටම මහෝත්තම” තැනැත්තා ලෙසයි.—ගීතාවලිය 83:18.

යේසුස් කෙරෙහි විශ්වාසය තැබීම අත්‍යවශ්‍ය බව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පිළිගන්නවා. (යොහන් 3:16) ඒ නිසා යේසුස් දුන් මේ ආඥාව ඔවුන් පිළිපදිනවා. “ඔබ නමස්කාර කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි. ඔබේ පරිශුද්ධ සේවය පිරිනැමිය යුත්තේ ඔහුට පමණයි.” (මතෙව් 4:10) යේසුස් දුන් එම ආඥාව පිළිපදින අයව ක්‍රිස්තියානීන් කියා හැඳින්වීමේ කිසිම වරදක් නැහැ.