Skip to content

පටුනට යන්න

අතීතයෙන් බිඳක්—එඬේර ජීවිතය

අතීතයෙන් බිඳක්—එඬේර ජීවිතය

“එඬේරෙකු තම රැළ බලාගන්නාක් මෙන් දෙවි තම සෙනඟව රැකබලා ගන්නේය. ඔහු බැටළු පැටවුන්ව වඩාගෙන තම තුරුලට ගන්නේය.”—යෙසායා 40:11.

බයිබලයේ බොහෝ තැන්වල එඬේරුන් ගැන සඳහන් වී තිබෙනවා. (උත්පත්ති 4:2; එළිදරව් 12:5) ආබ්‍රහම්, මෝසෙස් සහ දාවිත් එවැනි එඬේරුන් කිහිපදෙනෙක්. එඬේරෙක් තම රැළ ගැන දක්වන සැලකිල්ල සහ ඔවුන් සතු වගකීම් ගැන දාවිත් ඉතා අලංකාර ලෙස ගෙන හැර දක්වා තිබෙනවා. දාවිත් රජ බවට පත් වූ පසුවත් තමන් යටතේ සිටි සෙනඟව ආදරයෙන් රැකබලා ගත්තා.—ගීතාවලිය 78:70-72.

යේසුස් පොළොවේ ජීවත්ව සිටි කාලයේදීත් එඬේර රැකියාව බොහෝදෙනෙක් අතරේ ජනප්‍රියයි. යේසුස් තමන්ව “උතුම් එඬේරා” ලෙසත් හැඳින්නුවා. ඒ වගේම එඬේරෙක් තුළ තිබෙන යහපත් ගුණාංග යොදාගෙන වටිනා පාඩම් රැසක් කියා දුන්නා. (යොහන් 10:2-4, 11) යෙහෝවා දෙවිවත් බයිබලයේ ‘ප්‍රේමණීය එඬේරෙකුට’ සමාන කර තිබෙනවා.— යෙසායා 40:10, 11; ගීතාවලිය 23:1-4.

සාමාන්‍යයෙන් එඬේරුන් බලාගත්තේ මොන වගේ සතුන්වද? එඬේර රැකියාවට අයත් වුණේ මොන වගේ දේවල්ද? ඔවුන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

එළුවන් හා බැටළුවන්

ඊශ්‍රායෙල් දේශයේ සිටි එඬේරුන් වැඩි වශයෙන් ඇති කළේ හොඳට වැඩුණු වල්ගයක් සහ ඝන ලොම් තට්ටුවක් තිබූ බැටළුවන්ව. එම බැටළුවන් අතර සිටි පිරිමි සතුන්ට අං තිබුණත් ගැහැණු සතුන්ට අං තිබුණේ නැහැ. උන් අහිංසක නිසා ලෙහෙසියෙන්ම රුදුරු වනසතුන්ට ගොදුරු වුණා.

බැටළුවන්ව විතරක් නෙවෙයි එඬේරුන් එළුවන්වත් බලාගත්තා. ඒ එළුවන් කළු හා දුඹුරු පැහැයෙන් යුක්තයි. උන්ගේ කන් ගොඩක් දිගයි. ඒ නිසා උන් තණකොළ උලා කෑමට පඳුරු අස්සේ යද්දී බොහෝ අවස්ථාවලදී වල් රෝස කටුවල පැටලී උන්ගේ කන් ඉරීයනවා.

බැටළුවන්ව පුහුණු කරන එක එඬේරුන්ට ලෙහෙසි දෙයක් නෙවෙයි. ඒ සඳහා දීර්ඝ කාලයක් තිස්සේ ලොකු වෑයමක් දරන්න ඕනෙ. කොයි තරම් වෙහෙසකර දෙයක් වුණත් එඬේරු තමන් යටතේ සිටි සතුන්ව ආදරෙන් බලාගත්තා. එඬේරා තම රැළේ සිටි සතුන්ව කොයි තරම් හොඳින් හඳුනනවාද කියනවා නම් ඒ එක් එක් සතාට නම් තබා උන්ව වෙන වෙනම හඳුනාගන්නත් ඔහුට හැකි වුණා.—යොහන් 10:14, 16.

වැඩ අධික මෙන්ම ප්‍රීතිමත් කාලයක්

වසන්ත කාලයේදී එඬේරුන් තමන්ගේ රැළේ සතුන්වත් රැගෙන නිවෙස් අසල තිබෙන තණබිම්වලට යනවා. මේ කාලයේදී තමයි ගැබ්ගත් බැටළුදෙනුන් තම පැටවුන් බිහි කරන්නේ. ඒ වගේම එඬේරුන් බැටළුවන්ගෙන් ලොම් කපාගන්නෙත් මේ කාලයේදීමයි. ඒ නිසා මේ කාලය එඬේරුන්ට වැඩ අධික මෙන්ම ප්‍රීතිමත් කාලයක්.

බැටළුවන් කිහිපදෙනෙක්ව පමණක් ඇති කළ අය තමන්ගේ බැටළුවන්ව තණබිම්වලට රැගෙන යෑමට කුලියට ගත් එඬේරුන්ට භාර දෙනවා. ඒ එඬේරා තමන් බලාගන්නා තවත් බැටළු රැළක් එක්ක උන්වත් රැගෙන යනවා. ඒත් කුලියට වැඩ කරන එඬේරුන් තමන්ගේම බැටළුවන්ව බලාගන්නවා වගේ සෙනෙහසක් ඒ බැටළුවන්ට දක්වන්නේ නැහැ.—යොහන් 10:12, 13.

කෙත්වතුවල අස්වැන්න නෙළාගත් පසුව එඬේරුන් තම බැටළුවන්ව රැගෙන ඒ කෙත්වතුවලට යනවා. වැටී තිබෙන කරල් වගේම අලුතින් දලු ලා තිබෙන පැළෑටි මේ සතුන්ට රසවත් ආහාරයක්. ගිම්හාන කාලයේ රස්නේ ටිකක් වැඩි වෙද්දී එඬේරුන් තම බැටළුවන්ව කඳුකර පළාත්වලට ගෙන යනවා. බොහෝ වේලාවට රාත්‍රිය ගත කරන්න වෙන්නෙත් එහෙදීමයි. ආරක්ෂිත ගුහාවක් තිබුණොත් එඬේරා රාත්‍රී කාලයේදී සතුන්ව ඒ ගුහාවට ගෙන යනවා. ඒ වුණත් එඬේරා නිතරම ඉන්නේ සෝදිසියෙන්. හයිනා සහ වෘකයන් වැනි භයානක සතුන්ගේ කෑගැසීම්වලට සත්ව රැළ භය වී කෑ ගසද්දී උන්ට කතා කර උන්ව සන්සුන් කරන්නේ ‘මං ළඟින් ඉන්න නිසා භය වෙන්න එපා’ කියනවා වගෙයි.

සෑම දවසක් අවසානයේදීම එඬේරා තම රැළේ සියලුම සතුන් සිටිනවාද කියා ගණන් කරනවා. ඒ වගේම උන් හොඳ සෞඛ්‍යකින් ඉන්නවාද කියාත් සොයා බලනවා. පසුවදා එඬේරා තමන්ගේ බැටළුවන්ට හඬ ගසා උන්ව තණබිම්වලට ගෙන යනවා. බැටළුවනුත් එඬේරා පිටුපස යන්නේ හරිම කැමැත්තෙන්. (යොහන් 10:3, 4) ඉර මුදුන් වෙද්දී එඬේරා රැළේ සතුන්ව විලක් වෙත රැගෙන යනවා. විල් හිඳී තියෙන කාලයේදී ළිදක් ළඟට යන එඬේරා සත්ව රැළට වතුර ඇද බොන්න දෙන්නේ පුදුම සෙනෙහසකින්.

වියළි කාලය අවසාන වේගෙන එද්දී එඬේරා බැටළු රැළත් එක්ක තැනිතලා බිම්වලට නැවතත් පැමිණෙනවා. වැසි කාලය ළඟ එන බව තේරුම්ගන්නා එඬේරුන් නිවස අසල ඇති සත්ව ගාලට උන්ව ගාල් කරන්නේ වැස්ස, කුණාටු සහ හිම වැනි දේවලට අසු වුණොත් සතුන් ලෙඩ වෙන්න ඉඩ තිබෙන නිසයි. නැවත වසන්ත කාලය එන තුරුම උන්ව එළිමහනට ගෙන යන්නේ නැහැ.

භාවිත කළ උපකරණ

එඬේරුන් ඇන්දේ සරල, කල්පවතින ඇඳුමක්. වැස්සෙනුත් සුළඟෙනුත් ආරක්ෂා වෙන්න ඕනේ නිසා බැටළු ලොම් ඇතුල් පැත්තට දමා මසා තිබූ ඇඳුමක් ඔවුන් අඳින්න ඇති. ඊට යටින් ඔවුන් තවත් ඇඳුමක් ඇන්දා. ගල් බොරළු සහිත පාරවල්වල යද්දී ඊට සරිලන පාවහන් දැම්මා. ලොම්වලින් සෑදූ රෙදි කඩකින් ඔවුන් හිසත් ආවරණය කරගත්තා.

එඬේරෙක් සාමාන්‍යයෙන් භාවිත කරන යම් දේවල් කිහිපයක් බලන්න. (1) සත්ව හම්වලින් සෑදූ මල්ලක්. ඔවුන්ට අවශ්‍ය කරන පාන්, ඔලීව, වියළි පළතුරු, චීස් වැනි දේවල් එහි දමා ගත්තා; (2) කෙවිට. ආයුධයක් ලෙසත් භාවිත කළ හැකි වූ එය අඩි තුනක් පමණ උස වුණා. එහි එක් කෙළවරක මුවහත් පැතලි යකඩයක් සවි කර තිබුණා; (3) පිහියක්; (4) සැරයටියක්. ඇවිදිද්දී හා කඳු නඟිද්දී එය උපකාරවත් වුණා; (5) වතුර ගෙන යා හැකි භාජනයක්; (6) ගැඹුරු ළිංවලින් වතුර ඇදගැනීම සඳහා සත්ව සම්වලින් සෑදූ පනිට්ටුවක්; (7) ගල්පටියක්. බැටළුවන් හෝ එළුවන් රැළෙන් ඈත් වෙද්දී නැවතත් රැළට එක් කරගැනීමටත් වන සතුන්ව පන්නා දැමීමටත් එය භාවිත කළා; (8) බට නළාවක්. විනෝදයක් ලැබීමටත් සතුන්ව සන්සුන් කිරීමටත් එය වාදනය කළා.

මෙතරම් මහන්සි වෙන එඬේරෙකුට ලැබෙන්නේ මොනවාද? ඔහුට අවශ්‍ය කරන කිරිත් කෑම මේසයට මසුත් ලැබෙනවා. ලොම් හා හම්, භාණ්ඩ හුවමාරුව සඳහාත් ඇඳුම් හා සම් භාජන සාදාගැනීමටත් යොදාගත්තා. එළු ලොම් යොදාගෙනත් රෙදි සාදාගත්තා. බැටළුවන්ව මෙන්ම එළුවන්වත් සත්ව පූජා සඳහා යොදාගැනුණා.

අපිටත් ආදර්ශයක්!

වෙහෙස නොබලා, විශ්වාසවන්තව හා නිර්භීතව සේවය කළ යහපත් එඬේරුන් තම සත්ව රැළ වෙනුවෙන් ජීවිතය පරදුවේ තැබීමටත් සූදානමින් හිටියා.—1 සාමුවෙල් 17:34-36.

ක්‍රිස්තියානී සභාවේ පෙරමුණ ගෙන වැඩ කරන අයත් එඬේරුන් මෙන් විය යුතු බව යේසුස් හා ඔහුගේ ගෝලයන් පවසා තිබෙන්නේ හොඳ හේතු ඇතිව බව පැහැදිලියි. (යොහන් 21:15-17; ක්‍රියා 20:28) තම රැළ ආදරයෙන් බලාගන්නා එඬේරුන් මෙන් අද දිනත් දෙවිගේ සෙනඟව බලාගන්නා අය “කිසිවෙකුගේ බල කිරීම නිසා නොව කැමැත්තෙන්ද අයුතු ලෙස වාසි ප්‍රයෝජන ලබාගැනීමේ ආශාව නිසා නොව අවංක උනන්දුවකින්ද” තම වගකීම ඉටු කිරීමට වගබලා ගන්නවා.—1 පේතෘස් 5:2.