Skip to content

පටුනට යන්න

“ඉතිහාසය වෙනස් කරන්න බැහැ”

“ඉතිහාසය වෙනස් කරන්න බැහැ”

වර්ෂ 2007 ජූනි 14වෙනිදා එස්තෝනියානු රජය මෙහි පෙන්වා තිබෙන මුද්දරය නිකුත් කළා. එය නිකුත් කළේ ස්ටාලින්වාදීන් සමූල ඝාතනය කළ එස්තෝනියානු වැසියන්ව සිහි කිරීමටයි. වර්ෂ 1941ත් 51ත් අතර කාලයේදී දසදහස් ගණන් එස්තෝනියානු වැසියන්ව ඔවුන්ගේ මව්බිමෙන් පිටුවහල් කළා.

ඉතිහාසය වෙනස් කරන්න අපිට බැහැ. හැබැයි අතීතයේදී සිද්ධ වෙලා තියෙන දේවලින් පාඩමක් ඉගෙනගන්න අපිට පුළුවන්. බයිබලයෙත් මෙහෙම කියලා තියෙනවා. “මේ සෑම දෙයක්ම මම ඇස් දෙකෙන්ම දුටුවෙමි. ඉර යට සිදු කෙරෙන සෑම කාර්යයක් දෙසම මම සිත යොමු කළෙමි. ඒ මුළු කාලය පුරාම මිනිසා අන් අයට හානියක් වන ලෙසින් තම බලය ක්‍රියාත්මක කර ඇත.”—දේශනාකාරයා 8:9.

බයිබලයේ තියෙන ඒ වදන් කොතරම් සත්‍යයද කියා මීට දශක ගණනාවකට කලින් එස්තෝනියාවේ සහ නැඟෙනහිර යුරෝපයේ බොහෝ ප්‍රදේශවල සිදු වූ දේවලින් හෙළි වෙනවා. මිනිසුන්ගේ කුරිරු පාලන ක්‍රම නිසා අහිංසක මිනිසුන් දහස් ගණනක්ව තම මව්බිමෙන් පිටුවහල් කළා. තවත් අයට බර වැඩ සහිත කඳවුරුවල නොයෙක් දුක් ගැහැට විඳින්න සිදු වුණා.

ඉතිහාසඥයන් පවසන ආකාරයට 1941ත් 51ත් අතර කාලයේදී මිනිසුන් 46,000කටත් වඩා වැඩි පිරිසක්ව පිටුවහල් කර තිබෙනවා. ඒ අතරින් වැඩිදෙනෙකුව පිටුවහල් කළේ දේශපාලනික හේතු සහ ජාතිවාදය නිසයි. නමුත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව පිටුවහල් කළේ ඔවුන්ගේ ආගමික විශ්වාසයන් නිසයි.

දෙවිගේ සෙනඟට පීඩා

එස්තෝනියාවේ කළ අධ්‍යයනයකින් හෙළි වූ දෙයක් ගැන ඉතිහාසඥවරියක් වන අගි රාහිටාම් පවසන දේ බලන්න. “වර්ෂ 1948ත් 51ත් අතර කාලයේදී අත්අඩංගුවට ගෙන තිබුණේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 72කුව පමණයි. ඒ අය අතරේ ඔවුන් ඇසුරු කළ අයත් සිටියා. හැබැයි සාක්ෂිකරුවන් විශාල පිරිසක්ව අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට මහ පරිමාණයෙන් සැලැස්මක් යෙදුවා. එය 1951 අප්‍රියෙල් 1වෙනිදා ක්‍රියාත්මක කළා. එය බෝල්ටික් රාජ්‍යයට අයත් රටවල විතරක් නෙමෙයි බටහිර යුක්රේනයේ, මෝල්දාවියාවේ සහ බෙලෝරුසියාවේ සිටි සාක්ෂිකරුවන්ටත් බලපෑවා.

එස්තෝනියාවේ සිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව නිහඬ කිරීමට 1951ට කලිනුත් විවිධ දේවල් කළා. ඊට ඔවුන්ව භයගැන්වීම, ඔවුන්ව අත්අඩංගුවට ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම හා සිරගත කිරීම ඇතුළත් වුණා. නමුත් සාක්ෂිකරුවන්ව රටින් පිටුවහල් කිරීමට ක්‍රියාත්මක කළ අලුත් සැලැස්මේ පරමාර්ථය වුණේ ඔවුන්ව සම්පූර්ණයෙන්ම රටින් තුරන් කර දැමීමයි.

එස්තෝනියානු රජය විසින් 2007 නිකුත් කළ මුද්දරයේ 01.04.1951 යන දිනයත් 382 යන සංඛ්‍යාවත් සඳහන් වෙනවා. එම සංඛ්‍යාවෙන් නියෝජනය වුණේ එදින පිටුවහල් කළ සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාවයි. ඒ අතරේ ඔවුන්ගේ නෑදෑයන් හා අසල්වැසියන්ද සිටියා. අත්අඩංගුවට ගත් සාක්ෂිකරුවන්ව එදින රාත්‍රියේදීම සතුන්ව ප්‍රවාහණය කරන කෝච්චි පෙට්ටිවල පටවා සයිබීරියාවට පිටුවහල් කළා.

එලා ටූම්

සාක්ෂිකරුවන් අතර සිටි 25 හැවිරිදි එලා ටූම්, * නිලධාරීන් ඇගෙන් ප්‍රශ්න කළ විදිහ මෙසේ මතකයට නඟනවා. “නිලධාරියෙක් මාව භය කරන්න හැදුවා. දෙවියන් ගැන අනිත් මිනිසුන්ට කියලා දෙන එක නතර කරන්න කියලා තර්ජනය කළා. එයා මගෙන් මෙහෙම ඇහුවා. ‘ඔයා කැමති ජීවත් වෙන්නද නැත්තං ඔයාගේ දෙවියොත් එක්ක සයිබීරියාවේම මැරිලා යන්නද?’” ඒ මොනවා කිව්වත් එලා භය වුණේ නැහැ. දිගටම දෙවියන් ගැන අනිත් අයට කියලා දුන්නා. ඒ නිසා එලාව සයිබීරියාවට පිටුවහල් කළා. අවුරුදු හයක් ඇතුළත බර වැඩ සහිත කඳවුරු කිහිපයකටම ඇයව මාරු කළා.

කිසිම නඩු විභාගයකින් තොරව පිටුවහල් කරපු සියගණන් සාක්ෂිකරුවන් අතරේ හිසි ලෙම්බර් නම් සාක්ෂිකාරියත් සිටියා. වර්ෂ 1951 අප්‍රියෙල් 1වෙනිදා සිදු වුණු දේවල් ගැන මතක් කරමින් ඇය මෙසේ පැවසුවා. “නිලධාරීන් එදා රෑ එයි කියලා අපි හීනෙකින්වත් හිතුවේ නැහැ. පැය භාගයක් ඇතුළත අපේ බඩු මලුත් අරගෙන පිට වෙන්න කියලා ඒ අය අපිට නියෝග කළා.” ඝන අඳුරේම ඔවුන් හිසිව සහ ඇගේ හය හැවිරිදි දියණියව දුම්රියපොළට ගෙන ගියා. ඇයව දැමූ දුම්රියට හැම දුම්රියපොළකින්ම සාක්ෂිකරුවන්ව එකතු කරගත්තා. ඒ ගැන හිසි මෙහෙම කියනවා. “අපිව දැම්මේ සත්තු ගෙනියන කෝච්චි පෙට්ටියට. ඇත්තටම අපිත් හිටියේ එක පොදියට පටවපු සත්තු වගේ තමයි. හොඳ වෙලාවට සතුන්ගේ ජරාව වේළිලා තිබුණේ. නැත්නම් ඒකේ යන එක ලේසි වෙන්නේ නැහැ.”

සති දෙකක් පුරා ඔවුන් ඒ කෝච්චි පෙට්ටියේ ගත කළේ ඉතා දුෂ්කර කාලයක්. බාල මහලු හැම කෙනෙක්ම වගේ හුඟක් දුක් වින්දා. සමහර අය මොන තරම් කලකිරිලා හිටියාද කිව්වොත් කෑවේ බිව්වෙත් නැහැ. හැබැයි සාක්ෂිකරුවන් ඒ අය ළඟ තිබුණු කෑම අනිත් අයත් එක්ක බෙදාගත්තා. දෙවියන්ට ප්‍රශංසා ගීතිකා ගයනා කළා. මේ විදිහට එකිනෙකාගේ දුක තුනී කරගත්තා. ඔවුන් මේ යන්නේ තමන්ගේ මව්බිමට ආයේ කවදාවත් එන්න ලැබෙන්නේ නැති ගමනක්.

හිසි ලෙම්බර් සහ දියණිය

ඒ ගමන දුෂ්කර ගමනක් වුණත් සෙසු සාක්ෂිකරුවන්ගෙන් තමන්ට ලැබුණු දිරිගැන්වීම, සහනය ගැන මතක් කරමින් හිසි මෙහෙම කියනවා. “එක සැරයක් මෝල්දාවියාවෙන් ආපු කෝච්චියක් ළඟ අපේ කෝච්චිය නතර කළා. ඒකේ හිටපු එක් කෙනෙක් අපෙන් ඇහුවා අපි කවුද, යන්නේ කොහෙටද කියලා. එතකොට අපි කිව්වා අපි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්, අපි ආවේ එස්තෝනියාවෙන් හැබැයි යන්නේ කොහෙද කියලා නම් දන්නේ නැහැ කියලා. අපි කතා කරපු දේවල් ඒ කෝච්චියේ හිටපු සාක්ෂිකරුවන්ටත් ඇහිලා ඒගොල්ලන් අපිට ලොකු පාන් ගෙඩියකුයි පලතුරු ටිකකුයි දුන්නා. එදා අපි තේරුම්ගත්තා අපිව විතරක් නෙවෙයි මුළු සෝවියට් සමූහාණ්ඩුවෙම හිටපු සාක්ෂිකරුවන්ව පිටුවහල් කරලා කියලා.”

අප්‍රියෙල් 1වෙනිදා ඒ බිහිසුණු රාත්‍රියේදී යෞවන වයසේ සිටි කෝරිනාවත් ඇගේ නැඟණිය වන ඒනාවත් ඒ කෝච්චි පෙට්ටියට දැම්මා. ඒ දෙන්නගේ අම්මා සාක්ෂිකාරියක් නිසා ඊට අවුරුදු හයකට කලින් බර වැඩ සහිත කඳවුරකට යවලයි තිබුණේ. කෝච්චි පෙට්ටියේදී සිදු වූ දෙයක් ගැන කෝරිනා මෙහෙම කියනවා. “දරුවන් දෙන්නෙක් හිටපු තවත් සාක්ෂිකාරියක් අපිට කිව්වා ‘මම ඔය දෙන්නව මගේ දරුවෝ දෙන්නෙක් වගේ බලාගන්නම්’ කියලා.” ඒක අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ.

අවසානයේදී ගමනාන්තය වන සයිබීරියාවට ඔවුන් සේන්දු වුණා. ඒ අයව වහලුන් විදිහට ගෙනියන්න ඒ ප්‍රදේශයේ ගොවිපොළවල්වල අයිතිකරුවන් ඇවිත් හිටියා. කෝරිනා ඒ ගැන ඇගේ මතකය අවදි කළේ මෙහෙමයි. “අපිට ඇහුණා සමහර අය මෙහෙම කතා වෙනවා. ‘ඔයාගේ ට්‍රැක්ටරේ එළවන්න හොඳ කෙනෙක් ඉන්නවානේ. මෙයාව මං ගන්නං,’ ‘මම නං වයසක දෙන්නෙක්වම ගත්තා. ඔයාත් ගන්න ඕන.’”

කෝරිනා සහ ඇගේ නැඟණිය වන ඒනා

යෞවන දැරියන් වුණත් කෝරිනයි එයාගේ නංගියි හරිම ධෛර්යවන්තයි. ඔවුන්ගේ අද්දැකීම ගැන ඔවුන් මෙහෙම කිව්වා. “අම්මා නැතුව අපිට ලොකු පාළුවක් දැනුණා. ආයෙත් අපේ අම්මගේ තුරුලට යන්න පුළුවන් දවස එනකම් අපි බලාගෙන හිටියේ පුදුම ආසාවෙන්. ඒත් සමහර වෙලාවට මට හිතුණා අම්මා අපිත් එක්ක නැති එක හොඳයි කියලා. මොකද සීතලට අඳින්න හරි හමං ඇඳුමක්වත් නැතුව අපි සීතලේ වැඩ කරනවා අම්මා දැක්කා නම් එයාට ඒක දරාගන්න බැරි වෙයි.” ඒ මොන දුක වින්දත් ඒ දෙන්නා සැලුණේ නැහැ. දෙවියන් එක්ක තිබුණු බැඳීම දිගටම ශක්තිමත්ව තියාගත්තා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විතරක් නෙවෙයි පිටුවහල් කරපු තවත් අහිංසක මිනිසුන්, පාලකයන්ගේ අයුක්තියට හා අසාධාරණයට ලක් වුණා. (“බිහිසුණු කාලයක්” යන කොටුව බලන්න.) අතීතයේදී මොන දුක් ගැහැට වින්දත් එස්තෝනියාවේ ඉන්න සාක්ෂිකරුවන් අදටත් සතුටින් යෙහෝවා දෙවියන්ට සේවය කරනවා.

ප්‍රීතිමත් අනාගතයක්!

යෙහෝවා දෙවියන් අයුක්තිය හෙළා දකිනවා. “වංචනික දේවල් කරන තැනැත්තන්ව යෙහෝවා දෙවි පිළිකුල්” කරන බව බයිබලයේ සඳහන් වෙනවා. (ද්විතීය කතාව 25:16) දෙවියන් මේ තාක් දුෂ්ටකම්වලට ඉඩහැර තිබුණත් ළඟදීම අයුක්තියට හා සියලුම දුෂ්ටකම්වලට නිමාවක් ගෙනෙන බවට මෙසේ පොරොන්දු වී තිබෙනවා. “තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය. ඔබ ඔහුව සෙව්වත් ඔහුව සොයාගැනීමට නොහැකි වන්නෙහිය. නමුත් නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.”—ගීතාවලිය 37:10, 11.

ඇත්තයි, අතීතය වෙනස් කරන්න අපි කාටවත් බැහැ. නමුත් අනාගතයේදී අපි හැමෝටම සතුටින් ඉන්න අවස්ථාව තියෙනවා. ඒ කාලයේ ජීවත් වෙන්න නම් අපි යෙහෝවා දෙවියන්ව හොඳින් දැන හඳුනා ගෙන ඔහුට විශ්වාසවන්තව ඉන්න ඕනේ.—යෙසායා 11:9.

^ 10 ඡේ. එලා ටූම්ගේ ජීවිත කතාව කියවීමට 2006 අප්‍රියෙල් පිබිදෙව්! සඟරාවේ 20-24 දක්වා පිටු බලන්න.