Skip to content

පටුනට යන්න

දෙවි පියාණන්ව මිතුරෙක් කරගන්න

‘ඔබ මේ දේවල් බිලිඳුන් වැනි අයට හෙළි කළා’

‘ඔබ මේ දේවල් බිලිඳුන් වැනි අයට හෙළි කළා’

දෙවි පියාණන්ව දැන හඳුන ගන්න ඔයා කැමතිද? ඔහු මොන වගේ කෙනෙක්ද, ඔහු කැමති අකමැති දේවල් මොනවාද, ඔහු කරන්න අරමුණු කරලා තියෙන දේවල් මොනවාද කියලා දැනගන්න ඔයා කැමතිද? යෙහෝවා දෙවිව දැන හඳුන ගන්න ඔයාට උදව් වෙන ඒ තොරතුරු බයිබලයේ තියෙනවා. හැබැයි බයිබලය කියවන හැමෝටම දෙවියන් ගැන හොඳ අවබෝධයක් ලබාගන්න බැහැ. ඒකට හේතුව දැනගන්න යේසුස්ගේ කාලයේ සිද්ධ වුණ දෙයක් ගැන දැන් අපි බලමු.—මතෙව් 11:25 කියවන්න.

යේසුස් එක අවස්ථාවක ගලීල ප්‍රදේශයට අයිති නුවරවල් තුනකට ගිහින් බලවත් ක්‍රියා කළා. ඒ දේවල් හැබැහින් දැක්කත් ඒ නුවරවල වැසියන්ට යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. (මතෙව් 11:20-24) ඒකට හේතුව ඔවුන් හරිම මුරණ්ඩු, දැඩි සිත් තිබුණු අය වීමයි.—මතෙව් 13:10-15.

ඒ අවස්ථාවේ තමයි “ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීන් වන පියාණෙනි, ඔබ මේ දේවල් ප්‍රඥාවන්තයන්ගෙන්ද බුද්ධිමතුන්ගෙන්ද සඟවා බිලිඳුන් වැනි අයට හෙළි කළ නිසා ඔබට ප්‍රසිද්ධියේ ප්‍රශංසා කරන්න මම කැමතියි” කියලා යේසුස් කිව්වේ. (මතෙව් 11:25) යේසුස් කිව්ව දෙයින් වැදගත් කරුණු දෙකක් පැහැදිලි වෙනවා. එක දෙයක් නම් යෙහෝවා දෙවිව දැන හඳුන ගන්න පුළුවන් වෙන්නේ දෙවි තම බලය මාර්ගයෙන් තමා ගැන හෙළි කළොත් විතරයි කියන එක. අනික නම් දෙවිගේ මඟ පෙන්වීම් තමන්ට අවශ්‍යයි කියලා යටහත්පහත්ව පිළිගන්න අයට තමයි දෙවි ඔහු ගැන හෙළි කරන්නේ. තමා ගැන හෙළි කරන්නේ කාටද නොකරන්නේ කාටද කියලා තීරණය කරන්න “ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීන් වන” යෙහෝවා දෙවිට අයිතිය තියෙනවා. යෙහෝවා දෙවි ගන්න ඒ තීරණයට බලපාන්නේ මොකක්ද?

යෙහෝවා දෙවි උඩඟු අයට කැමති නැහැ. හැබැයි යටහත්පහත් අයට ඔහු කැමතියි කියලා බයිබලයේ කියලා තියෙනවා. (යාකොබ් 4:6) දෙවිගේ මඟ පෙන්වීම් තමන්ට අවශ්‍ය නැහැ කියලා හිතලා තමන්ගෙම බුද්ධිය විශ්වාස කරලා වැඩ කරන මේ ලෝකයේ ඉන්න ‘ප්‍රඥාවන්තයන්ට හා බුද්ධිමතුන්ට’ දෙවි තමාව දැන හඳුන ගන්න උදව් කරන්නේ නැහැ. (1 කොරින්ති 1:19-21) හැබැයි කුඩා දරුවන් වගේ යටහත්පහත් අයට එනම් දෙවියන්ගේ මඟ පෙන්වීම් අවශ්‍යයි කියලා හිතන අයට දෙවියන් තමා ගැන හෙළි කරනවා. (මතෙව් 18:1-4; 1 කොරින්ති 1:26-28) යේසුස්ගේ කාලේ ඒක පැහැදිලිව දකින්න තිබුණා. ඒ කාලේ හිටපු උගත්, ආඩම්බර ආගමික නායකයන්ට යේසුස් කියපු දේවල් තේරුම්ගන්න බැරි වුණා. හැබැයි වැඩිදුර ඉගෙනගෙන නැති ධීවරයන්ට ඒවා තේරුම්ගන්න පුළුවන් වුණා. ඒ ඔවුන් යටහත්පහත් අය නිසයි. (මතෙව් 4:18-22; 23:1-5; ක්‍රියා 4:13) කොහොමවුණත් සමහර ධනවත්, උගත් අය යටහත්පහත්ව දෙවියන්ගේ මඟ පෙන්වීම් පැතූ නිසා දෙවියන්ව දැන හඳුන ගන්නත් යේසුස්ගේ අනුගාමිකයන් වෙන්නත් ඔවුන්ට පුළුවන් වුණා. (ලූක් 19:1, 2, 8; ක්‍රියා 22:1-3) යෙහෝවා දෙවි කොච්චර සාධාරණ දෙවි කෙනෙක්ද කියලා ඒකෙන් පැහැදිලි වෙනවා.

බයිබලය කියෙව්වත් සමහරුන්ට යෙහෝවා දෙවිව දැන හඳුන ගන්න බැරි ඇයි කියලා දැන් ඔයාට පැහැදිලිද? කොච්චර උගත්, බුද්ධිමත් කෙනෙක් වුණත් දෙවිගේ මඟ පෙන්වීම් නැතුව තමාගේම හැකියාවෙන් දේවල් කරන්න පුළුවන් කියලා හිතනවා නම් දෙවි එහෙම කෙනෙක්ට තමාව දැන හඳුන ගන්න අවස්ථාව දෙන්නේ නැහැ. හැබැයි ඔයා දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න තියෙන ආසාව නිසා බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්නවා නම් දෙවි අනිවාර්යයෙන්ම ඔහු ගැන දැනගන්න ඔයාට උදව් කරනවා. ඒකට ඔයා උසස් අධ්‍යාපනයක් ලබලා තියෙන බුද්ධිමතෙක් වෙන්න ඕන නැහැ. දෙවි ගැන දැනුම ලබාගන්න එක ඇත්තෙන්ම මිල කළ නොහැකි අගනා තෑග්ගක්. දැන් ඔයාට අර්ථවත් ජීවිතයක් ගත කරන්නත් අනාගතේදී මේ පොළොව ලස්සන පාරාදීසයක් වුණාම ඒකේ සදහටම ජීවත් වෙන්නත් ඒ දැනුම ඔයාට මඟ පාදනවා. *1 තිමෝති 6:12, 19; 2 පේතෘස් 3:13.

ජනවාරි මාසයට නියමිත බයිබල් කියවීම

මතෙව් 1 සිට 21 දක්වා

^ 5 ඡේ. දෙවියන් ගැනත් දෙවියන් ඉදිරියේදී කරන්න යන දේවල් ගැනත් දැනගන්න ඔයා කැමතිද? ඒ ගැන ඔයාට බයිබලයෙන් කියලා දෙන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමතියි. බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු කියන පොතෙන් ඔයා එක්ක බයිබලයේ තියෙන දේවල් ඔවුන් සාකච්ඡා කරයි. ඒකට කිසිම මුදලක් අය කරන්නේ නැහැ.