Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | හොඳ මිනිසුන්ට නරක දේවල් වෙන්නේ ඇයි?

හොඳ මිනිසුන්ට නරක දේවල් වෙන්නේ ඇයි?

හොඳ මිනිසුන්ට නරක දේවල් වෙන්නේ ඇයි?

හැම දේම නිර්මාණය කළේ යෙහෝවා දෙවියන් * නිසාත් ඔහු බලවත් කෙනෙක් නිසාත් හුඟක් අය හිතන්නේ නරක දේවල් ඇතුළු ලෝකේ සිද්ධ වෙන හැම දේකටම දෙවියන් වග කියන්න ඕන කියලයි. ඒත් සැබෑ දෙවියන් ගැන බයිබලයේ කියන දේ බලමු.

  • “යෙහෝවා දෙවිගේ සියලු මාර්ග ධර්මිෂ්ඨය.”ගීතාවලිය 145:17.

  • “දෙවි තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරයි. ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙකි. ඔහු අතින් කිසිම අසාධාරණයක් නම් සිදු නොවෙයි. දෙවි ධර්මිෂ්ඨය, ප්‍රතිපත්තිගරුකය.”ද්විතීය කතාව 32:4.

  • “යෙහෝවා දෙවි ගැඹුරු ස්නේහයක් ඇති ඉතා දයාවන්ත” දෙවි කෙනෙක්.යාකොබ් 5:11.

නරක දේවල් කරන්නේ දෙවියන් නෙමෙයි කියලා බයිබලයේ කියනවා. “දුෂ්කරතා අද්දකින විට කිසි කෙනෙක්, ‘දෙවි මාව වරදකට හසු කරගන්න උත්සාහ කරනවා’ කියා කිසිසේත් නොපැවසිය යුතුයි. . . . නපුරු දේ කරන්න ඔහුව පෙලඹවීමට කාටවත් බැරිය. ඔහුද නපුරු දේ කරන්න කිසි කෙනෙකුව පොලඹවන්නේ නැත.” (යාකොබ් 1:13) දෙවියන් නපුරු දේවල් කරන්නෙවත් කිසි කෙනෙක්ව නපුරු දේකට හසු කරගන්නෙවත් නැත්නම් නපුරු දේවලට වග කියන්න ඕන කවුද?

වැරදි වෙලාවේ වැරදි තැන

මිනිසුන් දුක් විඳින එකට හේතුවක් ගැන බයිබලයේ මෙහෙම කියනවා. ‘නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල් සියලුදෙනාටම සිදු විය හැක.’ (දේශනාකාරයා 9:11) බලාපොරොත්තු නොවුණු දෙයක් වෙද්දී කෙනෙක්ට හානියක් වෙනවාද නැද්ද කියලා තීරණය වෙන්නේ බොහෝදුරට ඔහු ඒ වෙලාවේ ඉන්න තැන අනුවයි. මීට අවුරුදු 2,000කට විතර කලින් ටැඹක් කඩා වැටිලා 18දෙනෙක් මිය ගිය සිද්ධියක් ගැන යේසුස් කිව්වා. (ලූක් 13:1-5) ඔවුන් මිය ගියේ අනිත් අයට වඩා පව්කාරයන් වුණ නිසා නෙමෙයි ඒ ටැඹ ළඟ හිටිය නිසයි. 2010 ජනවාරි මාසයේදී හයිටිවල විශාල භූමිකම්පාවක් ඇති වුණා. 3,00,000කට වඩා වැඩිදෙනෙක් මිය ගියා. හැම තරාතිරමකම අය ඒකට ගොදුරු වුණා. අනිත් අතට ඕනම කෙනෙක්ට ඕනම වෙලාවක රෝගයක් හැදෙන්නත් පුළුවන්.

දෙවියන් හොඳ මිනිසුන්ව විපත්තිවලින් බේරගන්නේ නැත්තේ ඇයි?

සමහරු මෙහෙම හිතනවා. ‘ඒ වගේ විපත්ති වළක්වන්න දෙවියන්ට බැරි ඇයි? හොඳ අයව ඒ වගේ විපත්තිවලින් බේරන්න බැරි ඇයි?’ විපත්තියක් වළක්වන්න නම් ඒ ගැන කලින් දැනගෙන ඉන්න අවශ්‍යයි. යමක් සිද්ධ වීමට කලින් ඒක දැනගන්න හැකියාවක් තිබුණත් ඒ ගැන දැනගන්න දෙවියන් තමන් සතු අසීමිත බලය යොදාගන්නවාද?යෙසායා 42:9.

බයිබලයේ මෙහෙම කියනවා. “දෙවි වාසය කරන්නේ ස්වර්ගයෙහිය. තමන් කැමති සෑම දෙයක්ම ඔහු කරන්නේය.” (ගීතාවලිය 115:3) යෙහෝවා දෙවියන්ට ඕනම දෙයක් කරන්න පුළුවන් වුණත් ඔහු කරන්නේ කළ යුතු දේවල් විතරයි. උදාහරණයකට පුරාණයේ තිබුණු සොදොම් සහ ගොමෝරාව යන නගර දෙකේ දුෂ්ටකම පැතිරි තිබුණු අවස්ථාවේ දෙවියන් ආබ්‍රහම්ට මෙහෙම කිව්වා. “ඔවුන්ගේ ක්‍රියා බලන පිණිස යන්නෙමි. එවිට මා වෙතට පැමිණ තිබෙන චෝදනා ඇත්තද බොරුද කියා මට දැනගැනීමට පුළුවන.” (උත්පත්ති 18:20, 21, පාදසටහන.) දෙවියන් ඒ නගරවල සිද්ධ වෙන දුෂ්ටකම් ගැන ඊට කලින් බලන්න තීරණය කරලා තිබුණේ නැහැ. ඒකෙන් පැහැදිලි වෙන්නේ සිද්ධ වෙන හැම දෙයක්ම කලින් දැනගන්න දෙවියන් තීරණය කරන්නේ නැහැ කියලයි. (උත්පත්ති 22:12) ඒ නිසා දෙවියන් අසම්පූර්ණ, දුර්වල කෙනෙක් කියලා අදහස් කරන්නේ නැහැ. මොකද “ඔහු කුමක් කළත් එහි කිසි අඩුවක්වත් දෝෂයක්වත් දක්නට නැත” කියලා බයිබලයේ කියනවා. යමක් සිද්ධ වෙන්න කලින් ඒක දැනගන්න දෙවියන්ට තියෙන හැකියාව ඔහු තම අරමුණ හා සම්බන්ධ කාරණාවලදී යොදාගත්තත් මිනිසුන්ට නිදහස් කැමැත්ත දීලා තියෙන නිසා යම් ක්‍රියාමාර්ගයක් ගන්නම කියලා බල කරන්නේ නැහැ. * (ද්විතීය කතාව 32:4) අනාගතයේදී සිද්ධ වෙන දෙයක් ගැන දැනගන්නේ දෙවියන් කැමති නම් විතරයි.

දෙවියන් හොඳ මිනිසුන්ව සැහැසිකකම්වලින් බේරගන්නේ නැත්තේ ඇයි?

වග කියන්න ඕන මිනිසුන්ද?

ලෝකයේ තියෙන දුෂ්ටකම්වලට මිනිසුන් යම් දුරකට වග කියන්න ඕනේ. දුෂ්ටකම් කරන්න පෙලඹෙන විදිහ ගැන බයිබලයේ මෙහෙම කියනවා. “කෙනෙක් නොමඟ ගොස් වරදට පෙලඹෙන්නේ ඒ තැනැත්තා තුළ තිබෙන නුසුදුසු ආශාවන් නිසාය. ඒ ආශාවන් පාලනය කරගන්නේ නැත්නම් ඔහු තුළ පව් කිරීමට පෙලඹීමක් ඇති වෙයි. ඔහු පව් කරන විට එහි ප්‍රතිඵලය මරණයයි.” (යාකොබ් 1:14, 15) වැරදි ආශාවන්ට ඉඩ දීලා ඒ අනුව ක්‍රියා කරන අයට අත්විඳින්න වෙන්නේ හානිකර ප්‍රතිඵලයි. (රෝම 7:21-23) බොහෝ දුක් වේදනා අද්දකින්න සිද්ධ වෙලා තියෙන්නේ මිනිසුන්ගේ දරුණු ක්‍රියාමාර්ග නිසා කියලා ඉතිහාස වාර්තාවලින් පෙන්වනවා. ඒ වගේම දුෂ්ටකම් කරන අය අනිත් අයවත් පොලඹවන නිසා දුෂ්ටකම් එන්න එන්නම වැඩි වෙනවා.හිතෝපදේශ 1:10-16.

බොහෝ දුක් වේදනා අද්දකින්න සිද්ධ වෙලා තියෙන්නේ මිනිසුන්ගේ දරුණු ක්‍රියාමාර්ග නිසයි

මිනිසුන් කරන වැරදි දෙවියන් වළක්වන්න ඕනද? ඒකට පිළිතුර දැනගන්න දෙවියන් මිනිසුන්ව නිර්මාණය කරලා තියෙන විදිහ ගැන බලමු. බයිබලයේ කියන්නේ දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ දෙවියන්ගේ ගතිලක්ෂණ විදහාපෙන්වන්න පුළුවන් විදිහට කියලයි. (උත්පත්ති 1:26) දෙවියන් මිනිසුන්ට නිදහස් කැමැත්ත දීලා තියෙනවා. ඒ නිසා දෙවියන්ට ප්‍රේම කරනවාද නැද්ද කියලත් ඔහුට විශ්වාසවන්තව ඉන්නවාද නැද්ද කියලත් තීරණය කරන්න මිනිසුන්ට පුළුවන්. (ද්විතීය කතාව 30:19, 20) දෙවියන් බලාපොරොත්තු වෙන දේ විතරක් කරන විදිහට ඔහු මිනිසුන්ව නිර්මාණය කළා නම් මිනිසුන් හා යන්ත්‍ර අතර කිසිම වෙනසක් නැහැ. අනිත් අතට හැම දෙයක්ම අපිට සිද්ධ වෙන්නේ දෛවයට අනුව නම් එතකොටත් අපි යන්ත්‍ර වගෙයි. ඒත් හිතලා බලලා කැමති දේ තෝරගන්න දෙවියන් අපිට නිදහස් කැමැත්ත දීලා තියෙනවා. ඒ වගේ ගෞරවයක් දීලා තියෙන එක ගැන අපි මොන තරම් සතුටු වෙන්න ඕනද! හැබැයි මිනිසුන් කරන වැරදි හා ඔවුන් ගන්න වැරදි තීරණ නිසා අනිත් අයට හැමදාම දුක් විඳින්න ඉඩහරිනවා කියන එක ඒකෙන් අදහස් වෙන්නේ නැහැ.

දුක් විඳින්නේ කර්මය නිසාද?

ඔබ හින්දු හෝ බෞද්ධ කෙනෙක්ගෙන් “හොඳ මිනිසුන්ට නරක දේවල් වෙන්නේ ඇයි කියලා” ඇහුවොත් “පෙර ආත්මයේ කරපු කර්මය නිසා” කියලා කියයි.

මිනිසුන් දුක් විඳලා මිය යන්නේ ඇයි කියලා බයිබලයේ කියන දේ බලමු. දෙවියන් මුලින්ම නිර්මාණය කරපු මිනිසා වන ආදම්ව ඒදන් උයනේ පදිංචි කරවලා ඔහුට මෙහෙම කිව්වා. “ඔබට උයනේ සියලු ගස්වලින් ඕනෑ තරම් කන්න පුළුවන. නමුත් ‘හොඳ හා නරක හඳුනාගැනීම’ යන නමින් හැඳින්වෙන ගසෙන් ඔබ නොකෑ යුතුය. මන්ද එයින් කෑ දවසේදීම ඔබ අනිවාර්යයෙන්ම මැරෙන්නෙහිය.” (උත්පත්ති 2:16, 17) ආදම් දෙවියන්ට කීකරු වුණා නම් ඔහුට සදාකාලයටම ජීවත් වෙන්න තිබුණා. ඒත් ඔහු අකීකරු වුණ නිසා ඔහුගෙන් “මරණය සියලුදෙනාටම උරුම” වුණා. (රෝම 5:12) එහෙමනම් “පව්කාර ස්වභාවයට ගෙවිය යුතු කුලිය මරණය” කියලා පැහැදිලියි. (රෝම 6:23) බයිබලයේ මෙහෙමත් කියනවා. “මිය ගිය පුද්ගලයා තම පාපයෙන් නිදහස් වී ඇති බව අප පවසන්නේ ඒ නිසාය.” (රෝම 6:7) ඒකෙන් අදහස් කරන්නේ ජීවිත කාලය පුරාම කරපු වැරදිවලට මරණයෙන් පස්සේ වන්දි ගෙවන්නේ නැහැ කියලයි.

අද හුඟදෙනෙක් හිතන්නේ කර්මය නිසා මිනිස්සු දුක් විඳිනවා කියලයි. ඒක විශ්වාස කරන අය තමන් වගේම අනිත් අය දුක් විඳින එක ජීවිතයේ කොටසක් කියලා හිතන නිසා කවදාවත් දුක් වේදනා නැති කාලයක් එයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ අය විශ්වාස කරන්නේ දුක් වේදනා නැති වෙන්න නම් නැවත ඉපදීම නතර වෙන්න ඕන කියලයි. කෙනෙක් ඒ තත්වයට පත් වෙන්න නම් හොඳ ජීවිතයක් ගත කරන එකත් විශේෂ ඥානයක් ලබාගන්න එකත් අවශ්‍යයි. ඒත් බයිබලයේ කියන්නේ ඊට වඩා හාත්පසින් වෙනස් දෙයක්. *

මූලිකවම වග කියන්න ඕන කවුද?

දුක් වේදනාවලට වග කියන්න ඕන “ලෝකයේ පාලකයා” වන සාතන් කියලා ඔබ දන්නවාද?යොහන් 14:30

අද සිද්ධ වෙන දුෂ්ටකම්වලට මූලිකවම වග කියන්න ඕන මිනිසුන් නෙමෙයි සාතන් නමැති යක්ෂයායි. ඔහු කාලයක් දෙවියන්ට විශ්වාසවන්තව හිටපු දේවදූතයෙක් වුණත් පස්සේ ‘සත්‍යයට ඇලී සිටියේ නැහැ.’ මිනිසාව මුලින්ම වරදට පෙලඹෙව්වේ ඔහුයි. (යොහන් 8:44) ඔහු ඒදන් උයනේදී දෙවියන්ට විරුද්ධව ක්‍රියා කළා. (උත්පත්ති 3:1-5) යේසුස් ඔහුව “දුෂ්ටයා” කියලත් “ලෝකයේ පාලකයා” කියලත් හැඳින්නුවේ ඒ නිසයි. (මතෙව් 6:13; යොහන් 14:30) හුඟදෙනෙක් සාතන්ට රැවටිලා දෙවියන්ගේ කැමැත්ත කරන්නේ නැහැ. (1 යොහන් 2:15, 16) ‘මේ මුළු ලෝකයම දුෂ්ටයාගේ බලපෑමට යටත්ව තිබෙනවා’ කියලා බයිබලයේ කියන්නේ ඒ නිසයි. (1 යොහන් 5:19) ස්වර්ගයේ හිටපු සමහර දේවදූතයනුත් දෙවියන්ට අකීකරු වෙලා සාතන්ට එකතු වුණා. සාතන් සහ ඔහුට හවුල් වුණ ඒ භූතයන් “මුළු පොළොවම නොමඟ යවන” නිසා පොළොවේ ඉන්න අයට “දරුණු විපතකට” මුහුණ දෙන්න වෙනවා කියලා බයිබලයේ කියනවා. (එළිදරව් 12:9, 12) ඒ නිසා අද සිද්ධ වෙන හැම දුෂ්ටකමකටම වග කියන්න ඕන සාතන් කියන යක්ෂයා මිස වෙන කවුරුත් නෙමෙයි.

එහෙමනම් මිනිසුන්ට සිද්ධ වෙන නරක දේවලට වග කියන්න ඕන දෙවියන් නෙමෙයි කියන එක පැහැදිලියි. ඒත් සියලුම දුෂ්ටකම් මේ ලෝකයෙන් තුරන් කරන්න දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. අපි ඒ ගැන ඊළඟ ලිපියෙන් බලමු.

^ 3 ඡේ. සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.

^ 11 ඡේ. දෙවි දුක් වේදනාවලට ඉඩහැරලා තියෙන්නේ ඇයි කියලා දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 11වෙනි පරිච්ඡේදය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

^ 18 ඡේ. මැරුණු අයගේ තත්වය හා ඔවුන්ට තියෙන බලාපොරොත්තුව ගැන දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 6වෙනි සහ 7වෙනි පරිච්ඡේද බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.