Skip to content

පටුනට යන්න

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක් | දෙබොරා

‘මා ඊශ්‍රායෙල් දේශයේ මවක් මෙන් කටයුතු කළා’

‘මා ඊශ්‍රායෙල් දේශයේ මවක් මෙන් කටයුතු කළා’

හිමිදිරි උදයේ සෙබළුන් රැස් වෙලා ඉන්නේ තාබෝර් කඳු මුදුනේ. දෙබොරා ඔවුන්ගේ නිර්භීතකමත් නායකයාගේ විශ්වාසයත් හුඟක් අගය කරනවා. ඉන්නේ 10,000ක පිරිසක් වුණත් මේ දවස ඔවුන්ගේ විශ්වාසයයි නිර්භීතකමයි පරීක්ෂාවට ලක් වෙන දවසක්. නිරායුධ ඔවුන්ට සටන් කරන්න වෙලා තියෙන්නේ අතිවිශාල දරුණු හමුදාවක් එක්ක. ඒත් ඔවුන් නිර්භීතව මෙතනට ආවේ මේ කාන්තාවගේ දිරිගැන්වීම නිසයි.

අඩි 1,300ක් විතර උස තාබෝර් කඳු මුදුනේ ඉන්න දෙබොරාගේ ඇඳුම සුළඟට ලෙළ දෙනවා. බාරාක් සහ ඇය ඈත ප්‍රදේශය දිහා බලාගෙන ඉද්දී නිරිතදිග ප්‍රදේශයේ තියෙන මුළු එස්ඩ්‍රේලොන් මිටියාවතම පේනවා. තණබිම හරහා ගලාගෙන යන කීෂොන් නදිය මධ්‍යධරණී මුහුදට ගලා බසින්නේ කර්මෙල් කන්ද අසලින්. නදියේ වතුර හිඳිලා ගිහින්. ඔය අතරේ ඈතින් යමක් දිලිසෙනවා. ඒ දිලිසෙන්නේ සිසෙරාගේ හමුදාවේ යුධ රථයි. යුධ රථ 900කින් යුත් හමුදාව ඉදිරියට එනවා. යුධ රථවල රෝදවලට යකඩ උල් හෝ දෑකැත්තේ හැඩය ඇති තියුණු තල සවි කරලා තියෙනවා. සිසෙරාගේ අරමුණ නිරායුධ ඊශ්‍රායෙල් හමුදාව ගොයම් නෙළනවා වගේ සම්පූර්ණයෙන්ම කපලා කොටලා දාන්නයි.

දෙබොරා දන්නවා බාරාක් සහ ඔහුගේ හමුදාව තමන්ගෙන් සංඥාවක් ලැබෙන කල් බලාගෙනයි ඉන්නේ කියලා. එතන හිටිය එකම කාන්තාව ඇයද? ඒ වගේ අවස්ථාවක ලොකු වගකීමක් දරන්න සිද්ධ වුණ එක ගැන ඇයට කොහොම හැඟෙන්න ඇද්ද? මට මොකක්ද මෙතන කරන්න තියෙන්නේ කියලා ඇය හිතුවාද? කොහොමටවත් නැහැ. යෙහෝවා දෙවියන් තමයි ඇයට කිව්වේ සටන ආරම්භ කරන්න කියලා. සටන අවසන් කරන්න පාවිච්චි කරන්නෙත් ස්ත්‍රියක් කියලා ඔහු හෙළි කළා. (විනිශ්චයකරුවෝ 4:9) දෙබොරාගේ සහ ඒ නිර්භීත හමුදාවේ විශ්වාසයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

“තාබෝර් කන්දට නැඟ එහි රැඳී සිටින්න”

බයිබලයේ මුලින්ම දෙබොරාව හඳුන්වන්නේ “අනාගතවක්තෘවරියකි” කියලයි. ඇයව ඒ විදිහට හඳුන්වලා තියෙන එක සුවිශේෂ දෙයක් වුණත් අනාගතවක්තෘවරියක් හැටියට සඳහන් වෙලා තියෙන්නේ ඇයව විතරක් නෙමෙයි. * දෙබොරාට තවත් වගකීමක් තිබුණා. ආරවුල් විසඳන්න යෙහෝවා දෙවියන්ගෙන් විමසලා තීන්දුවක් දෙන විනිශ්චයකාරියක් හැටියටත් ඇය සේවය කළා.—විනිශ්චයකරුවෝ 4:4, 5.

දෙබොරා ජීවත් වුණේ බෙතෙල් සහ රාමා අතර තියෙන එෆ්‍රායිම් කඳුකර ප්‍රදේශයේ. එහේ ගහක් ළඟ ඉඳගෙන යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීමට අනුව ඇය සේවය කළා. ඇගේ රාජකාරිය පහසු එකක් නොවුණත් කිසි විටෙක අධෛර්යය වුණේ නැහැ. ඇය කළේ අත්‍යවශ්‍ය සේවාවක්. පසු කලෙක ඇය යෙහෝවා දෙවියන්ගේ බලයේ උපකාරයෙන් ගීතයකුත් නිර්මාණය කළා. ඒකේ අවිශ්වාසවන්ත සෙනඟ ගැන මේ අදහස තිබුණා. “ඊශ්‍රායෙල් සෙනඟ වෙනත් දෙවිවරුන්ව තෝරාගත්තෝය. එවිට යුද්ධය දොරටු අබියසටම පැමිණියේය.” (විනිශ්චයකරුවෝ 5:8) ඊශ්‍රායෙල්වරු දෙවියන්ව අත්හැරලා වෙන දෙවිවරුන්ට සේවය කරපු නිසා ඔවුන්ව සතුරන් අතට පත් වෙන්න ඉඩහැරියා. ඒ නිසා ඔවුන්ව පාලනය කළේ කානානීය ජාතික යාබින් රජුගේ බලවත් හමුදාපතියා වන සිසෙරායි.

සිසෙරාගේ නම ඇහෙද්දිත් ඊශ්‍රායෙල් සෙනඟ බයෙන් වෙවුලුවා. කානානීය ජාතිකයන්ගේ ආගමටයි සංස්කෘතියටයි ඇතුළත් වෙලා තිබුණේ දරුණු දේවල්. දරුවන්ව පූජා කළා. දේවාලවල අනාචාරය පිරිලා තිබුණා. එහෙනම් කානානීය ජාතික හමුදාපතියාත් ඔහුගේ හමුදාවත් කොයි වගේ වෙන්න ඇද්ද කියලා හිතාගන්න පුළුවන් නේද? ඒ වගේ පසුබිමක් යටතේ ඊශ්‍රායෙල්වරුන් ජීවත් වෙලා තියෙන්නේ බයෙන් කියන එක දෙබොරාගේ ගීතයෙන් හෙළි වෙනවා. (විනිශ්චයකරුවෝ 5:6, 7) ඒ සෙනඟ කඳු අතරෙත්, කැලෑවලත් හැංගිලා හිටිය විදිහ, ගොවිතැන් කරන්නත් තමන්ගේ ගම්මානවල ජීවත් වෙන්නත් බයෙන් හිටිය විදිහ, මඟ තොටේ ගමන් කරද්දී පහර දෙයි, දරුවන්ව පැහැරගනියි, කාන්තාවන්ව දූෂණය කරයි කියලා තැතිගත්ත විදිහ හිතෙන් මවාගන්න පුළුවන්. *

මුරණ්ඩු සෙනඟ වෙනස් වෙන්න කැමැත්තක් දක්වනවා කියලා සාක්ෂි දකින්න තිබුණේ අවුරුදු 20ක්ම ගියාට පස්සෙයි. දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් දෙබොරා සහ බාරාක් කිව්ව ගීතයෙත් සඳහන් වෙන්නේ “දෙබොරා වන මා ඊශ්‍රායෙල් දේශයේ මවක් මෙන් කටයුතු කරන තුරු” සෙනඟ බියෙන් ජීවත් වුණා කියලයි. ලප්පිදොත්ගේ භාර්යාව වන දෙබොරාට දරුවන් හිටියාද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඒත් මේ ගීතයට අනුව යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල් සෙනඟව මවක් වගේ රැකගන්න ඇයට බාර දීලා තිබුණා. විශ්වාසවන්ත ශක්තිමත් පුරුෂයෙක් වන බාරාක්ව සිසෙරාට විරුද්ධව සටන් කරන්න තෝරගන්න කියලා ඇයට කිව්වේ දෙවියන්.—විනිශ්චයකරුවෝ 4:3, 6, 7; 5:7.

දෙවියන්ගේ සෙනඟව ගලවන්න ධෛර්යය උපදවාගන්න කියලා දෙබොරා බාරාක්ව දිරිගැන්නුවා

යෙහෝවා දෙවියන් “තාබෝර් කන්දට නැඟ එහි රැඳී සිටින්න” කියලා දෙබොරා මාර්ගයෙන් අණ කළා. ඊශ්‍රායෙල් ගෝත්‍ර 2කින් පුරුෂයන් 10,000ක් එකතු කරගන්න බාරාක්ට සිද්ධ වුණා. ඔවුන් බලවත් සිසෙරාව සහ යුධ රථ 900කින් යුත් හමුදාව පරාජය කරනවා කියලා දෙවියන් දුන්න පොරොන්දුව දෙබොරා ඔවුන්ට දැන්නුවා. ඒ වෙලාවේ බාරාක් පුදුම වෙන්න ඇති. මොකද ඊශ්‍රායෙල් සෙනඟට හරි හමං හමුදාවක් හිටියෙවත් යුධ අවි තිබුණෙවත් නැහැ. ඒත් බාරාක් සටනට යන්න එකඟ වුණේ දෙබොරාත් තාබෝර් කන්දට එනවා නම් විතරයි.—විනිශ්චයකරුවෝ 4:6-8; 5:6-8.

බාරාක් ඒ ඉල්ලීම කළේ විශ්වාසය අඩු නිසා කියලා හිතන එක සාධාරණ නැහැ. ඔහු දෙවියන්ගෙන් යුධ අවි ඉල්ලුවේ නැහැ. විශ්වාසවන්ත පුරුෂයෙක් හැටියට බාරාක්ට ඕන වුණේ ඔහුවයි ඔහුගේ පිරිසවයි ශක්තිමත් කරන්න පුළුවන් දෙවියන්ගේ නියෝජිතයෙක් විතරයි. (හෙබ්‍රෙව් 11:32, 33) දෙවියන් බාරාක්ගේ ඉල්ලීම ඉටු කරලා දෙබොරාට ඔහු එක්ක යන්න ඉඩහැරියා. ඒ වගේම සටනේ ජයග්‍රහණයේ ගෞරවය ලැබෙන්නේ පුරුෂයෙකුට නෙවෙයි ස්ත්‍රියකටයි කියලා අනාවැකියක් කියන්න යෙහෝවා දෙවියන් ඇයට බලය දුන්නා.—විනිශ්චයකරුවෝ 4:9.

අද හුඟක් වෙලාවට කාන්තාවන්ට සිද්ධ වෙන්නේ අයුක්තිය, අසාධාරණය, වධ හිංසා, දූෂණය වගේ දේවලට මුහුණ දෙන්නයි. දෙවියන් බලාපොරොත්තු වෙන විදිහට ඔවුන්ට ගෞරවයක් ලැබෙන්නේ නැති තරම්. ඒත් දෙවියන් ඉදිරියේ පුරුෂයන් හා සමාන වටිනාකමක් ස්ත්‍රීන්ටත් තියෙනවා. (රෝම 2:11; ගලාති 3:28) දෙබොරාගේ සිද්ධියෙන් පෙන්වන්නේ දෙවියන් කාන්තාවන්ටත් වරප්‍රසාද දෙනවා කියලයි. ඒ වගේම ඔවුන්ව විශ්වාස කරනවා, ඔවුන්ට අනුග්‍රහය දෙනවා කියන එකත් පෙන්වලා තියෙනවා. ඒ නිසා අපි කිසි විටෙකත් කාන්තාවන් පහත් කරලා සලකන ලෝකයේ ආකල්පය ඇති කරගන්න හොඳ නැහැ.

“පොළොව දෙදරුම් කෑවේය. අහසින් වැසි ඇද හැළුණේය”

බාරාක් සිසෙරාගේ භයානක හමුදාව එක්ක සටන් කරන්න එඩිතර පුරුෂයන් 10,000ක් රැස් කරගත්තා. තාබෝර් කන්දට යද්දී තමන්ව දිරිගන්වන්න කෙනෙක් තමන් ළඟ හිටපු එක ගැන බාරාක් සහ ඔහුගේ හමුදාව සතුටු වුණා. බයිබලයේ කියන්නේ “දෙබොරාද ඔහු සමඟ ගියා” කියලයි. (විනිශ්චයකරුවෝ 4:10) යෙහෝවා දෙවියන්ව විශ්වාස කරලා ජීවිතය පවා පරදුවට තියලා එඩිතර කාන්තාවක් තමන් එක්ක ආව නිසා සෙබළුන්ට මොන තරම් ධෛර්යයක් ලැබෙන්න ඇද්ද!

ඊශ්‍රායෙල්වරුන් සටනට සැරසෙනවා කියලා දැනගත්ත සිසෙරා වහාම ක්‍රියාත්මක වුණා. බලවත් යාබින් රජ කානාන්හි රජවරුන් කීපදෙනෙක්වම එකතු කරගත්තා. ඊටපස්සේ සිසෙරා ඔහුගේ අතිවිශාල යුධ රථ හමුදාව එක්ක මිටියාවත හරහා සටනට එද්දී මුළු පොළොවම දෙදරුම් කෑවා. කානානිවරු හිතුවේ ඊශ්‍රායෙල් හමුදාව වගේ දුර්වල හමුදාවක් පරාජය කරන එක මහ දෙයක් නෙවෙයි කියලයි.—විනිශ්චයකරුවෝ 4:12, 13; 5:19.

සතුරන් ළඟා වෙද්දී බාරාක් සහ දෙබොරා කළේ මොකක්ද? කානානි හමුදාව එද්දී බාරාක්ගේ හමුදාව කඳු බෑවුමේ හිටියා නම් ඒක ඔහුගේ හමුදාවට වාසියක් වෙනවා. මොකද යුධ රථවලින් එන අයට දක්ෂ ලෙස සටන් කරන්න පුළුවන් තැනිතලා භූමියේදියි. ඒත් බාරාක් සටන් කළේ දෙවියන් දුන්න මඟ පෙන්වීමට එකඟවයි. ඒ නිසා දෙබොරා යමක් කියන කල් බාරාක් බලාගෙන හිටියා. ඒ මොහොත ආවාම ඇය මෙහෙම කිව්වා. “සූදානම් වෙන්න! අද යෙහෝවා දෙවි සිසෙරාව ඔබේ අතට හසු කර දෙනවා. ඔබට ඉදිරියෙන් ගොස් යෙහෝවා දෙවි ඔබ වෙනුවෙන් සටන් කරනවා.” ඊළඟට සඳහන් වෙන්නේ මෙහෙමයි. “බාරාක් තමන් සමඟ සිටි පුරුෂයන් දසදහස්දෙනා සමඟ තාබෝර් කන්දෙන් බැස ආවේය.”—විනිශ්චයකරුවෝ 4:14. *

ඊශ්‍රායෙල් හමුදාව කන්දෙන් බැහැලා තැනිතලා භූමියට ඇවිත් සතුරු හමුදාවට මුහුණ දෙන්න සැරසිලා හිටියා. සතුරු හමුදාවත් ඉදිරියට ආවා. දෙබොරාට දුන්න පොරොන්දුවට අනුව යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල් හමුදාව ඉදිරියෙන් ගියා. වැඩි වෙලා යන්න කලින් ‘පොළොව දෙදරුම් කෑවා. අහසින් වැසි ඇද හැළුණා’ කියලා බයිබලයේ කියනවා. ධාරානිපාත වැස්ස ඇද හැළෙද්දී පොළොව මොහොතකින් ජලයෙන් වැසී ගියා. ආඩම්බර ලීලාවෙන් ආව සිසෙරාගේ හමුදාව වියවුල් වුණා. යුධ රථවලින් තිබුණ වාසිය අවාසියකට පෙරළුණා. ඒවා මඩේ එරුණු නිසා ඔවුන්ට කරකියාගන්න දෙයක් නැති වුණා.—විනිශ්චයකරුවෝ 4:14, 15; 5:4.

බාරාක් සහ ඔහුගේ පිරිසට නම් කුණාටුව ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒක ආවේ කොහොමද කියලා ඔවුන් දැනගෙන හිටියා. දෙවියන්ගේ අණ පරිදි ඔවුන් සිසෙරාගේ මුළු හමුදාව නැති කරලා දැම්මා. කීෂොන් නදිය දිගේ ඔවුන්ගේ මළ සිරුරු ගහගෙන ගිහින් මුහුදට වැටුණා.—විනිශ්චයකරුවෝ 4:16; 5:21.

දෙබොරා කිව්ව විදිහටම යෙහෝවා දෙවියන් තමන්ගේ සෙනඟ වෙනුවෙන් සටන් කර සිසෙරාව පරාජය කරනවා

අද දින යෙහෝවා දෙවියන් ඔහුගේ සේවකයන්ව සටනට යවන්නේ නැහැ. ඒත් ඔහුගේ සෙනඟට කරන්න තියෙන්නේ වෙනත් ආකාරයක සටනක්. (මතෙව් 26:52; 2 කොරින්ති 10:4) දෙවියන්ට කීකරු වෙන්න උත්සාහ කරනවා නම් අපි ඒ සටන කරමිනුයි ඉන්නේ. දෙවියන්ගේ පැත්ත ගන්න අයට හුඟක් විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න සිද්ධ වෙන නිසා නිර්භීතකම අවශ්‍යයි. එදා දෙබොරා, බාරාක් හා ඊශ්‍රායෙල් සෙබළුන් යෙහෝවා දෙවියන්ව විශ්වාස කළාම ඔවුන්ව ආරක්ෂා කළා වගේ ඔහු අපිවත් ආරක්ෂා කරනවා.

“බොහෝ ආශීර්වාද ලත් තැනැත්තියකි”

කානානිවරුන්ගෙන් එක් කෙනෙක් පැනලා ගියා. ඒ වෙන කවුරුත් නෙවෙයි සිසෙරා. දෙවියන්ගේ සේවකයන්ට පීඩා කරපු ඒ දරුණු පාලකයා ඔහුගේ හමුදාව මඩ වගුරේ එරෙද්දී සටන් භූමියෙන් හෙමින් සීරුවේ පැනලා ගියා. ඔහු ආරක්ෂාව දෙන්න පුළුවන් මිතුරන් ඉන්න තැනක් හොයාගෙන හැතැප්ම ගණනාවක් විහිදුණ තැනිතලා ප්‍රදේශය හරහා පණ බයෙන් දුවද්දී ඊශ්‍රායෙල් හමුදාවට දැන් අහුවෙයි දැන් අහුවෙයි කියන දෙගිඩියාවෙන් ඉන්න ඇති. අන්තිමේදී ඔහු නතර වුණේ හෙබෙර්ගේ කූඩාරම ළඟ. හෙබෙර් කියන්නේ තමන්ගේ ගෝත්‍රයෙන් ඈත් වෙලා යාබින් රජ එක්ක හිතවත් වෙලා හිටිය කේනිවරයෙක්.—විනිශ්චයකරුවෝ 4:11, 17.

හෙම්බත් වෙලා හිටිය සිසෙරා හෙබෙර්ගේ කූඩාරමට යද්දී හිටියේ හෙබෙර්ගේ බිරිඳ විතරයි. ඇගේ නම යායෙල්. යාබින් රජ එක්ක ඇගේ ස්වාමිපුරුෂයා මිතුරු වෙලා හිටිය නිසා සිසෙරා හිතුවේ යායෙල්ගෙන් කිසි අනතුරක් වෙන එකක් නැහැ කියලයි. මොකද භාර්යාවක් ස්වාමිපුරුෂයාට වඩා වෙනස් විදිහට වැඩ කරයි කියලා ඔහු හීනෙකින්වත් හිතන්න නැතුව ඇති. පේන විදිහට සිසෙරා යායෙල් කවුද කියලා දැනගෙන හිටියේ නැහැ. ඒත් යායෙල් කානානිවරු කරපු දුෂ්ටකම් දැනගෙන හිටියා. ඒ මොහොතේ ඇයට තීරණයක් ගන්න සිද්ධ වුණා. එක්කෝ දුෂ්ට මිනිසාට උදව් කරන්න නැත්නම් යෙහෝවා දෙවියන්ගේ පැත්ත අරගෙන ඒ සතුරාව නැති කරන්න. ඇය මොන තීරණය ගනියිද? ඒ වගේ බලවත් හමුදාපතියෙක් එක්ක සටන් කරන්න ස්ත්‍රියකට පුළුවන්ද?

යායෙල් ඉක්මනින්ම තීරණයක් ගත්තා. ඇය සිසෙරාට විවේක ගන්න ඉඩ දුන්නා. ඔහු ආපු එක ගැන කාටවත් දැනගන්න ඉඩ තියන්න එපා කියලා ඔහු ඇයට කිව්වා. ඔහු හාන්සි වුණාට පස්සේ ඇය ඔහුව රෙද්දකින් වැහුවා. වතුර ඉල්ලුවාම ඔහුට මුදවපු කිරි දුන්නා. ටික වෙලාවකින් සිසෙරා බර නින්දකට වැටුණා. යායෙල් කූඩාරමට ගහන කූඤ්ඤයකුයි මිටියකුයි අරගෙන හිමින් සීරුවේ සිසෙරා ළඟට ආවා. යෙහෝවා දෙවියන් වෙනුවෙන් ඇයට කරන්න සිද්ධ වුණේ භයානක දෙයක්. ඇය කූඤ්ඤය සිසෙරාගේ නළලට තියලා පසාරු කරගෙන යන්න මිටියෙන් ගැහුවා. දෙගිඩියාවෙන් හිතහිතා හිටියා නම් වෙන්නේ ලොකු විනාශයක්. ඒ මොහොතේ ඇය, දෙවියන්ගේ සෙනඟට අවුරුදු ගණනාවක් තිස්සේ මේ මිනිසාගෙන් සිද්ධ වුණ කුරිරුකම් ගැන හිතන්න ඇද්ද? නැත්නම් දෙවියන් වෙනුවෙන් ලොකු දෙයක් කරන්න ලැබුණු වරප්‍රසාදය ගැන හිතන්න ඇද්ද? ඒ ගැන සඳහන් වෙලා නැහැ. හැබැයි අපි එකක් දන්නවා. වැඩි වෙලා යන්න කලින් සිසෙරා මිය ගියා.—විනිශ්චයකරුවෝ 4:18-21; 5:24-27.

ඊටපස්සේ බාරාක් සිසෙරාව හොයාගෙන ආවා. යායෙල් මැරිලා ඉන්න සිසෙරාව පෙන්නුවා. දෙබොරාගේ අනාවැකිය සැබෑ වුණා කියලා ඔහු දැනගත්තා. බලවත් හමුදාපතියෙක් වන සිසෙරාව මරා දැමුවේ ස්ත්‍රියක්! අද ඉන්න විවේචකයන් යායෙල්ට නින්දා කරන්න නම් පටබැන්දත් බාරාක් සහ දෙබොරා ඇය ගැන හොඳින් දැනගෙන හිටියා. ඔවුන් ගායනා කරපු ගීතයේ යායෙල් කරපු අභීත ක්‍රියාව ප්‍රශංසාවට ලක් කරලා තිබුණා. ඇය “ස්ත්‍රීන් අතරින් බොහෝ ආශීර්වාද ලත් තැනැත්තියකි” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (විනිශ්චයකරුවෝ 4:22; 5:24) අනිත් අතට දෙබොරා අදිමදි නොකර යායෙල්ට හිමි විය යුතු ප්‍රශංසාව ලබා දුන්නා. ඇය වැඩියෙන්ම හිතුවේ යෙහෝවා දෙවියන්ගේ වචනය සැබෑ වුණ එක ගැනයි.

සිසෙරා මැරුණාට පස්සේ යාබින් රජුගේ බලය හීන වෙලා ගියා. කානානිවරුන්ගෙන් ආපු පීඩාව නැවතුණා. අවුරුදු 40ක් පුරා සාමය පැතිර තිබුණා. (විනිශ්චයකරුවෝ 4:24; 5:31) දෙබොරා, බාරාක්, යායෙල් යෙහෝවා දෙවියන්ව විශ්වාස කරපු නිසා ඔවුන්ට ලැබුණේ මොන තරම් ආශීර්වාදයක්ද! අපි දෙබොරාගේ විශ්වාසය ආදර්ශයට අරන් යෙහෝවා දෙවියන්ගේ පැත්ත ගන්නවා නම් අනිත් අයටත් ඒක කරන්න දිරිගන්වනවා නම් ඔහුගේ උදව්වෙන් ජය ලැබෙනවා. සදහටම සාමයෙන් ඉන්නත් පුළුවන් වෙනවා.

^ 7 ඡේ. මිරියම්, හුල්දා සහ යෙසායාගේ භාර්යාව යන අයත් අනාගතවක්තෘවරියන්.—නික්මයාම 15:20; 2 රාජාවලිය 22:14; යෙසායා 8:3.

^ 9 ඡේ. දෙබොරාගේ ගීතයෙන් ඇඟෙව්වේ සිසෙරා ජයග්‍රහණය කරලා ආපහු යද්දී හුඟක් වෙලාවට හැම යුධ භටයෙක්ම ගෑනු ළමයි එක් කෙනෙක්ව හෝ කීපදෙනෙක්ව කොල්ලයක් හැටියට අරගෙන ගියා කියලයි. (විනිශ්චයකරුවෝ 5:30) “කාන්තාවන්” කියන වචනයට පාවිච්චි කරලා තිබුණේ “ගර්භාෂය” කියන වචනයයි. ඒකෙන් ඇඟවෙන්නේ කාන්තාවන්ව ඕන වුණේ ප්‍රජනන ඉන්ද්‍රියයන් නිසා විතරක් කියලයි. එදා ස්ත්‍රී දූෂණය සාමාන්‍ය දෙයක් වෙලා තිබුණා.

^ 17 ඡේ. මේ සටන ගැන බයිබලයේ තැන් දෙකක සඳහන් වෙලා තියෙනවා. එකක් විනිශ්චයකරුවෝ 4වෙනි පරිච්ඡේදයේ තියෙන වාර්තාව. අනිත් එක 5වෙනි පරිච්ඡේදයේ තියෙන දෙබොරා සහ බාරාක් ගැන තියෙන ගීතය. එක වාර්තාවක නැති දේ අනිත් වාර්තාවේ සඳහන් වෙනවා.