Skip to content

පටුනට යන්න

ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි

හිත්වලට කතා කරන තිත්

හිත්වලට කතා කරන තිත්

2021 ඔක්තෝබර් 1

 1912 ජූනි 1 ‘මුරටැඹ’ සඟරාවේ මෙහෙම කියලා තියෙනවා. ‘අපේ පොත් පත් කියවන හුඟදෙනෙක් අන්ධ අයව අඳුරනවා. දෙවියන් අනාගතයේදී දෙන්න යන ආශීර්වාද ගැන දැනගන්න ඒ අන්ධ අය ආසයි. දැන් ඒ අයට ඇඟිලි තුඩුවලින් අතගාලා කියවන්න පුළුවන් බ්‍රේල් ප්‍රකාශන නොමිලේම ලබාගන්න පුළුවන්.’

 ඒ වෙද්දී සම්මත ඉංග්‍රීසි බ්‍රේල් අක්ෂර ක්‍රමයක් තිබිලා නැහැ. ඒත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අන්ධ අයටත් සාක්ෂි දරන්න බ්‍රේල් ක්‍රමය පාවිච්චි කළා. එදා විතරක් නෙවෙයි අදටත් ඒක කරනවා. දැන් අපිට භාෂා 50කටත් වඩා වැඩියෙන් බ්‍රේල් ප්‍රකාශන ලබාගන්න පුළුවන්. මේ ප්‍රකාශන සකස් කරන්නේ කොහොමද?

බ්‍රේල් අකුරක් ලියන්න තිත් එකත් හයත් අතර ප්‍රමාණයක් පාවිච්චි වෙනවා. තිත් හයක් ඉහළට මතු කරන්න පුළුවන් කොටුවක් ඇතුළෙයි අකුරක් එම්බොස් කරන්නේ

පිටපත් කිරීම සහ එම්බොස් කිරීම

 බ්‍රේල් පොත් පත් හදද්දී කරන පළවෙනි දේ තමයි ඒවා පිටපත් කරන එක. ඒ කියන්නේ වචන බ්‍රේල් අකුරුවලට හරවන එක. එක්සත් ජනපදයේ නිව් යෝක් ප්‍රාන්තයේ පැටසන්වල තියෙන අක්ෂර සැකසුම් අංශයේ සේවය කරන මයිකල් මිලන් මෙහෙම කියනවා. “ඉස්සර අපි පාවිච්චි කළේ වෙන වෙන අය හදපු සොෆ්ට්වෙයා. ඒත් ඒවාවලින් අපිට ඕන කරන හැම භාෂාවකින්ම බ්‍රේල් පොත් හදන්න පුළුවන් වුණේ නෑ. ඒත් අපි දැන් පොත් පත් පරිවර්තනය කරන්න පාවිච්චි කරන සොෆ්ට්වෙයා එක (වොච්ටවර් ට්‍රාන්ස්ලේෂන් සිස්ටම් එක) නිසා හුඟක් භාෂාවලින් බ්‍රේල් පොත් පත් පිටපත් කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. මං දන්න විදිහට මේ වගේ සොෆ්ට්වෙයා එකක් ලෝකේ වෙන කොහේවත් නෑ.”

 බ්‍රේල් ප්‍රකාශනයක තියෙන්නේ ලිපියක තොරතුරු විතරක් නෙවෙයි, පින්තූරවල අදහසුත් තියෙනවා. උදාහරණෙකට ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන ප්‍රකාශනයේ කවරේ පින්තූරය මේ විදිහට විස්තර කරලා තියෙනවා. “කඳු පන්තිවලින් වට වුණ, ගහ කොළ පිරුණු ලස්සන පරිසරයක තියෙන වංගු පාරක පිරිමි කෙනෙක් ඇවිදින්න පටන්ගන්නවා.” සහායක සේවකයෙක් සහ පුරෝගාමියෙක් විදිහට සේවය කරන සහෝදර යැම්ෂෙඩ්ගේ අද්දැකීම බලන්න. එයා අන්ධ කෙනෙක්. එයා මෙහෙම කියනවා. “පින්තූරවල අදහස මේ විදිහට විස්තර කරලා තියෙන එකේ වටිනාකම කියන්න මට වචන නෑ.”

 බ්‍රේල් ප්‍රකාශනයක් පිටපත් කළාට පස්සේ ඒක එම්බොස් කරන්න ඕනේ. ඒ කියන්නේ බ්‍රේල් අකුරු ලියන්න පාවිච්චි වෙන තිත්, ඇඟිලි තුඩුවලට අහු වෙන විදිහට උඩට මතු කරන්න ඕනේ. ඒ නිසා එම්බොස් කරන ශාඛා කාර්යාලයකට ඒවා යවනවා. එහෙදී එයාලා ගනකම්, කල්පවතින කොලවල මේ බ්‍රේල් අකුරු එම්බොස් කරනවා. ඒ නිසා ඒවා කාලයක් පවතිනවා. ඊටපස්සේ එයාලා ඒ පිටු ඔක්කොම එකතු කරලා පොතක් විදිහට හදනවා. අන්තිමේදී සභාවේ සාමාන්‍ය පොත් පත් ඇණවුම එක්ක ඒක යවනවා. එහෙම නැත්නම් අන්ධ අය වෙනුවෙන් නොමිලේ භාණ්ඩ ප්‍රවාහනය කරන සේවාවක් තියෙනවා නම් ඒ හරහා ඒක යවනවා. අන්ධ සහ පෙනීමේ දුර්වලතා තියෙන සහෝදරයන්ට රැස්වීම්වලට අවශ්‍ය ප්‍රකාශන වෙනදාට වඩා ඉක්මනින් දෙන්න ඕන වුණාම ශාඛා කාර්යාලවලින් ඒකට සැලසුම් යොදනවා.

 මේ හැම දේකටම ලොකු කාලයක් සහ මුදලක් වැය වෙනවා. නිව් යෝක් ප්‍රාන්තයේ වෝල්කිල්වල තියෙන අපේ මුද්‍රණාලයේ සාමාන්‍ය බයිබල් 50,000ක් මුද්‍රණය කරන්න ගත වෙන කාලයම බ්‍රේල් බයිබල් දෙකක් එම්බොස් කරන්න ගත වෙනවා. දෙවෙනි ශ්‍රේණියේ ඉංග්‍රීසි බ්‍රේල් බයිබලය තියෙන්නේ වෙළුම් 25ක් විදිහට. එක බයිබලයක් හදන්න සාමාන්‍ය බයිබල් 123ක් හදන්න යන වියදම යනවා. a වෙළුම් 25ටම ඕන කවර හදන්න විතරක් රුපියල් 30,000ක් (ඇමරිකානු ඩොලර් 150ක්) විතර වියදම් වෙනවා.

2වෙනි ශ්‍රේණියේ ඉංග්‍රීසි බ්‍රේල් ‘නව ලොව පරිවර්තනය’ තියෙන්නේ වෙළුම් 25ක් විදිහට

 බ්‍රේල් ප්‍රකාශන හදන වැඩේට හවුල් වෙන අයට ඒ ගැන හැඟෙන්නේ කොහොමද? දකුණු අප්‍රිකාවේ ශාඛා කාර්යාලයේ සේවය කරන නාඩියා මෙහෙම කියනවා. “අන්ධ, පෙනීමේ දුර්වලතා තියෙන සහෝදර සහෝදරියන්ට එයාලගේ වැඩ පළ කරගන්න ලේසි නෑ. ඉතින් ඒ වගේ අයට උදව් කරන්න ලැබුණ එක මං දකින්නේ ආශීර්වාදයක් විදිහට. මේ බ්‍රේල් පොත් පත්වලින්ම තේරෙනවා යෙහෝවා එයාලට කොච්චර ආදරේද කියලා.”

බ්‍රේල් කියවන්න ඉගෙනගන්න

 අන්ධ කෙනෙක්ට බ්‍රේල් කියවන්න බැරි නම් මොකද කරන්නේ? අවුරුදු කීපයකට කලින් බ්‍රේල් ඉගෙනගන්න උදව් වෙන වැඩපොතක් නිකුත් කළා. (Learn to Read Braille) ඒ සඟරාවේ තොරතුරු ඉංග්‍රීසිවලිනුත් බ්‍රේල්වලිනුත් තියෙනවා. ඒක හදලා තියෙන්නේ ඇස් පේන කෙනෙක්ගේ උදව්වෙන් අන්ධ කෙනෙක්ට බ්‍රේල් ඉගෙනගන්න පුළුවන් විදිහට. ඒකත් එක්කම බ්‍රේල් අකුරු ලියන්න උදව් වෙන උපකරණ කට්ටලයකුත් ලැබෙනවා. බ්‍රේල් ඉගෙනගන්න කෙනාට පුළුවන් ඒවා පාවිච්චි කරලා බ්‍රේල් අකුරු එම්බොස් කරගන්න. එයාම බ්‍රේල් අකුරු එම්බොස් කරගද්දී අකුරු ඉක්මනින්ම මතක තියාගන්නත් ඇඟිලි තුඩුවලින් අල්ලලා ඒවා ලේසියෙන්ම අඳුරගන්නත් එයාට පුළුවන්.

“මං ඒවාට ඇබ්බැහි වෙලා වගේ”

 අන්ධ, පෙනීමේ දුර්වලතා තියෙන සහෝදර සහෝදරියන් මේ ප්‍රකාශනවලින් ප්‍රයෝජන ලබලා තියෙන්නේ කොහොමද? හයිටිවල ජීවත් වෙන අර්න්ස්ට්ගේ අද්දැකීම බලන්න. එයා රැස්වීම්වලට සහභාගි වුණත් එයා ළඟ බ්‍රේල් ප්‍රකාශන තිබුණේ නැහැ. ඒ නිසා ශිෂ්‍ය පැවරුම් කරද්දී, රැස්වීම්වල උත්තර දෙද්දී එයාට ඒ හැම දේම මතක තියාගන්න වුණා. එයා මෙහෙම කියනවා. “දැන් ඕනම වෙලාවක අත උස්සලා උත්තර දෙන්න මට පුළුවන්. යෙහෝවා එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න ඕන පෝෂණය අනිත් සහෝදරයන්ට වගේ දැන් මටත් ලැබෙනවා.”

 ඔස්ට්‍රියාවේ ජීවත් වෙන යාන් පෙනීමේ දුර්වලතාවයක් තියෙන වැඩිමහල්ලෙක්. එයා ‘මුරටැඹ’ සාකච්ඡාව සහ සභා බයිබල් පාඩම මෙහෙයවනවා. එයා මෙහෙම කියනවා. “මං කියවලා තියෙන අනිත් බ්‍රේල් පොත්වලට වඩා අපේ බ්‍රේල් පොත් හරිම පැහැදිලියි. අපේ පොත්වල පිටු අංක තියෙනවා, පාදසටහන් ලේසියෙන්ම හොයාගන්න පුළුවන්, පින්තූරවල අදහසුත් තියෙනවා.”

 සෙයොනෝක් දකුණු කොරියාවේ ජීවත් වෙන පුරෝගාමියෙක්. එයා අන්ධ, බිහිරි කෙනෙක්. ඉස්සර එයා රැස්වීම්වලින් ප්‍රයෝජන ගත්තේ අතින් අල්ලලා කරන සංඥා භාෂාවෙන්. හැබැයි දැන් එයාට පුළුවන් බයිබලය තේරුම්ගන්න උදව් වෙන තොරතුරු බ්‍රේල්වලින්ම කියවන්න. එයා මෙහෙම කියනවා. “අනිත් බ්‍රේල් පොත් කියවන එක ලේසි නෑ. මොකද සමහර ඒවාවල තිත් නෑ, පේළි ඇදයි, සමහර පිටුත් හරිම තුනියි. හැබැයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනවල ඒ කිසිම අඩුවක් නෑ. ඉස්සර මං අපේ පොත් පත් අධ්‍යයනය කෙරුවේ තව කෙනෙක්ගේ උදව්වෙන්. හැබැයි දැන් මට ඒක තනියම කරගන්න පුළුවන්. රැස්වීම්වලට හොඳට ලෑස්ති වෙන්න විතරක් නෙවෙයි ඒවාට හොඳට සහභාගි වෙන්නත් දැන් මට පුළුවන්. මං අපේ හැම බ්‍රේල් ප්‍රකාශනයක්ම කියවනවා. ඇත්තටම කිව්වොත් දැන් මං ඒවාට ඇබ්බැහි වෙලා වගේ.”

 අපේ මුද්‍රිත ප්‍රකාශනවල වගේම බ්‍රේල් ප්‍රකාශනවලත් මෙහෙම සඳහන් වෙනවා. “මෙම ප්‍රකාශනය විකිණීම සඳහා නොවෙයි. මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලෝක ව්‍යාප්තව කරගෙන යන බයිබල් අධ්‍යාපනික සේවයේ එක් අංගයකි.” donate.dan124.com වෙබ් අඩවිය හරහා විවිධ ක්‍රමවලින් ඔයාලා කැමැත්තෙන්ම දෙන සම්මාදම්වලට ගොඩක් ස්තුතියි! අන්ධ සහ පෙනීමේ දුර්වලතා තියෙන අයටත් අනිත් හැමෝටමත් යෙහෝවා දෙවියන් දෙන පෝෂණය දිගටම ලබා දෙන්න ඔයාලා දෙන සම්මාදම් ගොඩක් උදව් වෙනවා.

a සමහර බ්‍රේල් ප්‍රකාශනවල ඉඩ ඉතුරු කරගන්න ඕන නිසා වචන කෙටියෙන් දාලා තියෙනවා. උදාහරණෙකට නිතර පාවිච්චි වෙන වචන ලියන්න 2වෙනි ශ්‍රේණියේ බ්‍රේල්වලින් පාවිච්චි කරන්නේ එක අකුරක් නැත්නම් දෙකක්. ඒ නිසා 1වෙනි ශ්‍රේණියේ බ්‍රේල් ප්‍රකාශනවලට වඩා 2වෙනි ශ්‍රේණියේ බ්‍රේල් ප්‍රකාශන ප්‍රමාණයෙන් පොඩියි.